පෙළපාළි කොයිබට ද?

උද්ඝෝෂණ, විරෝධතා, පෙළපාළි හා වැඩ වර්ජන නිසා රට නැත්තට ම නැතිවේදැ’යි කෙනෙක් ප්‍රශ්න කරයි. කොළඹ නගරයට ඕනෑ ම දවසක එන ඕනෑම කෙනකුට විරෝධතාවක් දැකගත හැකි ය. මහාමාර්ග අවහිරවීමක් දැකගත හැකි ය. ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන රාජකාරිය විරෝධතා පැවැත්වීම යැයි කොළඹට එන විදේශ සංචාරකයකු සිතන්නට පුළුවන.

විරෝධතා දැක්වීම කෙතරම් ප්‍රචලිත ද යත්; සමහරු පාරවල් ඉල්ලමින් පාරවල් අවහිර කරති. තව සමහරු පාලම් ඉල්ලමින් පාරවල් අවහිර කරති. තවත් සමරු කුණු - කසළ ප්‍රශ්නය මුල්කොට පාරවල් අවහිර කරති. විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ මහපාරය, මහ පාර අවහිර කළ විට එය ආණ්ඩුවට දැනෙන්නේ යැයි හැඟීමක් විරෝධතාකරුවන් ළඟ තිබේ.

ඇමැති පාඨලී චම්පික මහතා මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ. එම විග්‍රහයෙන් පැහැදිලි වන්නේ විරෝධතා නිසා රටට සිදුවන බලවත් පාඩුවයි. පාරවල් අවහිර වීම නිසා වැඩකරන මිනිස් පැයගණන අඩු වෙයි. රස්තියාදුව වැඩි වෙයි. ඇතැම් කාර්යාලවල වැඩ නවතී. ආයෝජකයෝ ආපසු හැරී යති. කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පහළ බසී. වෙළෙඳාම් අඩුවෙයි. නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වෙයි. වේගවත් සංවර්ධනයක් අපේක්ෂා කරන රටකට මේ සියල්ල මහත්ම බාධාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. ලැබී ඇති නිදහස භාවිත වන්නේ මේ අයුරට නම්; එම නිදහස ගැන දෙවරක් කල්පනා කරන්නට සිදු වේ.

මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ උද්ඝෝෂණ පැවැතුණේ අඩුවෙන් ය. එහි අවසන් කාර්තුව තුළ උද්ඝෝෂණ තිබුණේ නැති තරම් ය. විරෝධතා නවත්වන වෙනත් ක්‍රම එදා පාලකයන් ළඟ තිබිණි. වෘත්තීය සමිති නායකයන් සාකච්ඡා සඳහා අරලියගහ මන්දිරයට කැඳවන අතර වෘත්තීය සමිති ක්‍රියාධරයන් ඉන් පිට වී යන්නේ නැවත විරෝධතා නොදක්වන ආස්ථානයක පිහිටා ය.

ඇතැම් වෘත්තීය සමිති නායකයන්ට තර්ජනය කර ඇති බව ද, ඇතැම් වෘත්තීය සමිති නායකයන්ට පහර දී ඇති බවද පසුව කියැවිණි. සුදු වෑන් සංස්කෘතියක් පිළිබඳ බියක් ද එදා රටතුළ පැවැතිණි. අවශ්‍ය නම්; බලහත්කාරයෙන්ද විරෝධතා නැවැත්විය හැකි ය. එහෙත් එය මිනිසාගේ මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කිරීමකි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මර්දනය කිරීම කෙරෙහි නොව; එහි යම් පාලනයක් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් වූ යෝජනා කිහිපයක් දැනට ම ඉදිරිපත් වී ඇත. එක යෝජනාවකින් කියැවෙන්නේ විරෝධතා කරුවන් සඳහා කොළඹ වෙන ම ස්ථානයක් සකස් කර දිය යුතු බව ය. තව යෝජනාවකින් කියැවෙන්නේ කොළඹ දී සතියකට එක විරෝධතාවකට පමණක් නීතිමය අවසරය ලබාදිය යුතු බව ය.

තවත් යෝජනාවකින් කියැවෙන්නේ මහජනයාට අවහිර වන සියලු විරෝධතා නීතියෙන් තහනම් කළ යතු බව ය. යෝජනා නරක නැත. එහෙත් වැඩකරන ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම්වල ට පහරක් වදින්නේ නම්; මේ යෝජනා නැවත සලකා බැලීමකට යටත් කළ යුතු ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක කම්කරු සංවිධානය ඇතුළු අන්තර්ජාතික සංවිධාන ගණනාවක් කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටී. ඒ සඳහා වූ ප්‍රඥප්ති ගණනාවක් ඇති අතර ඒවාට ශ්‍රී ලංකාව ද අස්සන් කොට එකඟතාවකට පැමිණ තිබේ. උද්ඝෝෂණ, විරෝධතා, පෙළපාළි පමණක් නොව; වර්ජනවලට පවා ඒවායින් ඉඩ ලබා දී තිබේ. වර්ජනය හා විරෝධතාව වැඩ කරන ජනතාවගේ මූලික අයිතියකි.

මේ මගින් සිදු කෙරෙන්නේ වැඩ කරන පන්තියේ සාධාරණ ඉල්ලීම් පාලකයන් වෙතින් ලබා ගැනීම ය. ඕනෑම රජයක් ඊට ඉඩ ලබාදිය යුතු ය. ඊට එරෙහි වන ආණ්ඩු හා ඒවා මර්දනය කරන ආණ්ඩු ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩු ලෙස සැලැකිය හැකි ය. ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ගැන ඉහළින් සලකන ආණ්ඩුවක් ලෙස ප්‍රකට ය. එලෙස ම යහපාලනය එහි කැපී පෙනෙන ලක්ෂණය ලෙස පවතී. ඒ අනුව කම්කරු සටන් මර්දනය කිරීමේ හැකියාවක් මේ ආණ්ඩුවට නැත.

සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවා ඇත්තේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි එකඟතාවෙන් ය. මේ පක්ෂ දෙකෙහි ම නියෝජිතයෝ දැන් විරෝධතා ගැන කතා කරති. දෙපාර්ශ්වයේ ම නියෝජිතයන් අගමැතිවරයා මුණගැසී ඇති අතර විරෝධතා සම්බන්ධයෙන් කතා කර තිබේ. ඔවුන්ගේ අදහස වී ඇත්තේ රටට සිදුවන බලවත් ආර්ථික පාඩුව ගැන සලකා බලා විරෝධතා සම්බන්ධයෙන් යම් පියවරක් ගත යුතු බව ය.

රටේ ප්‍රධාන වෙළෙඳ නගරය වන කොළඹ මෙහි දී ප්‍රධාන වෙයි. වැඩිම විරෝධතා ප්‍රමාණයක් කොළඹ දී සිදු කැරෙන අතර මේ සෑම විරෝධතාවකින්ම බලවත් ආර්ථික අලාභයක් සිදුවෙයි. ඒ හැරෙන්නට විරෝධතා නිසා මහජනයාට සිදුවන හිරිහැරය ගණනයට ලක් වන්නේ නැත. අවම වශයෙන් කොළඹ නගරයේ පමණක්වත් විරෝධතා සීමා කළ යුතු ය.

ශ්‍රී ලංකාවේ එදා වමේ ව්‍යාපාර උද්ඝෝෂණ, හර්තාල් වැඩ වර්ජන හා පෙළපාළි පැවැත්වූයේ යම් සදාචාරාත්මක රාමුවක් යටතේ පිළිවෙළකට ය. වර්ජනය ඔවුන්ගේ අවසන් ක්‍රියාමාර්ගය වූ අතර ඒවා බොහෝ කොට අවසන් වූයේ ඉල්ලීම් දිනා ගැනීමෙන් ය. අද වෘත්තීය සමිතිවල පළමු සටන් ක්‍රියා මාර්ගය වර්ජනය වන අතර ඒවා බොහෝ විට අසාර්ථක බව ද පෙනෙන්නට තිබේ. වර්ජන මෙන් ම විරෝධතා ද විහිළුවක් වන තරමට ඒවා අයාලේ ගොස් තිබේ.

බොහෝ රටවල වෛද්‍ය සේවය වර්ජනවලට යොමු නො වන අතර අපේ රටේ වැඩියෙන්ම වර්ජනවලට පෙලැඹෙන්නේ සෞඛ්‍ය සේවය යැයි කියන්නට පුළුවන. මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රධාන රාජකාරිය වී ඇත්තේ රටේ පොදු ප්‍රශ්න වෙනුවෙන් විරෝධතා දැක්වීම ය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට ඉගෙනීමට වෙලාවක් නැත.

සමස්තය දෙස බලන විට පෙනී යන්නේ විරෝධතා හා පෙළපාළි සඳහා කිසියම් නීතිමය රාමුවක් ඇතිකළ යුතු බව ය. එය වැඩකරන ජනතාවට අයුක්තියක් නොවන එකක් විය යුතු අතර ම රටට යහපතක් වන ලෙස සිදුවිය යුතු බව ද මතක් කළ යුතු ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...