සතියක තහනම! | දිනමිණ

සතියක තහනම!

පාර්ලිමේන්තුව මෑතක සිට වැඩියෙන් ම කතාබහට ලක් වන ස්ථානයක් බවට පත් ව තිබේ. විශේෂයෙන් මහජනයාගේත්, ජනමාධ්‍යවලත් දැඩි අවධානය ඒ දෙසට යොමු වී ඇත. හේතුව; එහි පැවැත්වෙන සාරගර්භ වාද - විවාද නොවේ. එහි සම්මත කරනු ලබන අණ - පනත් ද නොවේ. එබඳු සාධනීය ලක්ෂණ අපේ පාර්ලිමේන්තුව වෙතින් ප්‍රකාශයට පත් වන්නේ නම්; රටේ දේශපාලනය ගැන මහජනයාට ගෞරවණීය ලෙස සිහිපත් කරන්නට පුළුවන. සිදු වී ඇත්තේ එහි අනෙක් පැත්ත ය. මේ උත්තරීතර ආයතනය තුළ දැන් දකින්නට ඇත්තේ මාළු කඩයක ස්වරූපය යැයි සමහරු කියති. ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අසම්මත හැසිරීම්, අසභ්‍ය වචන, ගාලගෝට්ටි හා කඩාකප්පල්කාරී ක්‍රියා නිසා පාර්ලිමේන්තුව දැඩි දෝෂ දර්ශනයට ලක්වන්නට පටන්ගෙන තිබේ.

පෙරේදා පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධියෙන් පෙනී යන්නේ පරිණත යැයි කියන පක්ෂ නායකයන් පවා සභාවේ වැදගත් ලෙස හැසිරීමට නො දන්නා බව ය. ඒකාබද්ධ විපක්ෂයේ නායක හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කෙළින් ම මේ චෝදනාවට හසු වෙයි. ඔහු පාර්ලිමේන්තුවේ ශිෂ්ට සම්මතය බිඳ දමමින් කථානායකවරයාට බාධා කළේ ය. කථානායකගේ අණ නොතකා ක්‍රියා කළේ ය. මේ හේතුව නිසා සභාව තෙවරක් කල් තැබීමට සිදු විය. කථානායකවරයාගේ අණට අනුව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සභාවෙන් ඉවත් විය යුතු වුව; ඔහු එසේ කළේ නැත. ඒ වෙනුවට සභාව මධ්‍යයට පැමිණි පිරිස පාර්ලිමේන්තු කටයුතුවලට මුළුමනින් ම බාධා කළහ. මෙය සැලැකිය හැක්කේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් හැටියට ය. පෙ‍රේදා පාර්ලිමේන්තුව දෙස බලන විට අපට ඇති වූයේ බලවත් කනගාටුවකි.

අපේ ‍පාර්ලිමේන්තුවට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර එය දකුණු ආසියාවේ පැරණිම පාර්ලිමේන්තුවක් ලෙස ද සැලකේ. එලෙස ම අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ලෝක දේශපාලකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ අවස්ථා ද තිබේ. ඉන්දියාව පවා අපේ පාර්ලිමේන්තුවෙන් ආදර්ශ ලබා ගත් අවස්ථා තිබේ. ඉන්දීය දේශපාලකයකු වූ ඉන්ද්‍ර කුමාර් ගුජ්රාල් මහතා වරක් කියා සිටියේ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් අඛණ්ඩව ආරක්ෂා කරගත යුතු බව ය. පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා එහි සම්මුතිවලට පහර වැදීමෙන් රටේ දේශපාලනය පමණක් නොව රාජ්‍ය ව්‍යූහය, පරිපාලනය හා තවත් බොහෝ දේවල් විකෘති විය හැකි ය. දැන් සිදුවෙමින් පවතින්නේ එය දැයි සැකයක් මතු වේ. දේශපාලන ඉතිහාසය තුළ පාර්ලිමේන්තුව මේ තරමින් ගර්හාවට ලක් වූ වෙනත් අවස්ථාවක් නැතැ’යි සිතන්නට පුළුවන.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ හැසිරීම කොයි අතකින් ගත්ත ද දැඩි විවේචනයට හසු වෙයි. ඔහුගේ හැසිරීමෙන් පෙනී යන්නේ කථානායකවරයාට අභියෝග කරන විලාසයකි. ගරු සභාව හසුරවන තැනැත්තා මෙන් ම එහි නායකයා ද වන්නේ කථානායකවරයා ය. වාද - විවාද - රීති ප්‍රශ්න හා තර්ක ඉදිරිපත් කළ හැකි’මුත් කථානායකවරයාට අවනත නොවීම නොසිදුවිය යුත්තකි. දිනේෂ් මන්ත්‍රීවරයා සභාවෙන් ඉවත් කිරීම සඳහා පොලීසියේ සහයෝගය පවා ගැනීමට සිදු විය. ඔහු සභාවෙන් ඉවත් වන්නේ පාර්ලිමේන්තු තහනමක් සම්මත වූ පසු ය. යෝජනාව සභානායකවරයා ඉදිරිපත් කළ අතර පක්ෂව ඡන්ද 85ක් ද විපක්ෂව ඡන්ද 22ක් ද ලැබිණි. පාර්ලිමේන්තුවේ බහුතරය දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය අනුමත නොකරන බව එයින් ද පැහැදිලි වේ.

කථා නායකවරයාගේ නිර්දේශ නොසලකා හැරීම හා ඔහුට අවනත නොවීම සැලැකිය හැක්කේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් හැටියට ය. කථානායකවරයාගේ නිර්දේශ නොපිළිගන්නේ නම්; ඊට එරෙහිව යා හැකි සම්මත ක්‍රම ගණනාවක් තිබේ. ඒවා ඉවත දමා පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කිරීම දේශපාලනයට ලබා දෙන නරක ආදර්ශයක් සේ පෙන්වා දිය හැකි ය. විශේෂයෙන් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම බලවත් වරදකි. කථානායකවරයා කිහිපවරක් ම දිනේෂ් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියේ සභාවේ කටයුතු කරගෙන යෑමට ඉඩ දෙන ලෙසය. එහෙත් මන්ත්‍රීවරයා එය සැලැකිල්ලට ගත්තේ නැත. මෙයින් පෙනී යන්නේ හිතාමතාම පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කළ බව ය. දිනේෂ් මන්ත්‍රීවරයා රටේ පිළිගත් දේශපාලන පවුලකින් පැවැත එන කීර්තිමත් පුද්ගලයෙකි. ඔහු වැනි කෙනකු අතින් මෙවැන්නක් නොසිදුවිය යුතුව තිබිණි.

තව අතෙකින් බලන විට කාලය හා වියදම පිළිබඳ ගැටලුවක් ද මෙහි තිබේ. පාර්ලිමේන්තු කටයුතු සඳහා කාලය ඉතා වැදගත් ය. රටේ වැදගත් ම හා ප්‍රධානතම ගැටලු හා අර්බුද ගැන සාකච්ඡා කිරීමට හා වාද කිරීමට ඇති කාලය මේ මගින් ඇහිරී යනු ඇත. පාර්ලිමේන්තු වාරයක් පැවැත්වීම සඳහා රජය දරනු ලබනු වැය ප්‍රමාණය ද ඉහළ ය. මේවා මහජන මුදල් බව ද කථානායකවරයා කිහිප වරක් සඳහන් කළේ ය. මහජන මුදල් වැය කළ යුත්තේ ප්‍රයෝජනවත් දෙයකට ය. මේ කලබැගෑනිය ඇති වූයේ මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණෙහි කණ්ඩායම සන්ධානයෙන් වෙන් වී ස්වාධීන ලෙස කටයුතු කිරීමට ඉල්ලීමේ යෝජනාවක් මුල්කරගෙන ය. එසේ ක්‍රියා කළ නොහැකි බව කථානායකවරයා සිය නිර්දේශයෙහි සඳහන් කර ඇත්තේ අදාළ සාක්ෂි හා වගන්ති ද පෙන්වා දෙමින් ය.

මෙය රටට වැදගත් ප්‍රශ්නයක් ද යන්න වෙන ම සලකා බැලිය යුතු ය. විමල් වීරවංශ මහතාගේ දේශපාලනය ඔහුට මෙන්ම ඔහුගේ කණ්ඩායමට ද වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් එම දේශපාලනය සිදු විය යුත්තේ පිළිගත් සම්ප්‍රදායට හා පිළිගත් නීතියට අනුව ය. කලහකාරී ලෙස හැසිරුණු අය නීතිය හා සම්ප්‍රදාය නොදන්නේ යැයි කිව නො හැකි ය. ඔවුන් සිදු කර ඇත්තේ දැන - දැනම හිතුවක්කාරී ලෙස කටයුතු කිරීම ය. කුමන දේශපාලකයකු සිදු කළ ද මෙය වැරැදි ය. මේ නිසා සමාජය බරපතළ විවේචනයකට ගොස් තිබේ. එයින් සිදුවන්නේ පාර්ලිමේන්තුව කෙරෙහි මහජනයා තබා ඇති විශ්වාසය හා ගෞරවය කෙලෙසී යාම ය. අපට හොඳ පාර්ලිමේන්තුවක් හා පාර්ලිමේන්තු සම්ප්‍රදායයක් ද ඇතැ’යි උදම් අනන්නේ වුව මෙබඳු සිදුවීම් නිසා මුළු පාර්ලිමේන්තු ක්‍රමය ම පිරිහීමට ලක්වනු ඇත.

මෑතක සිට අපේ පාර්ලිමේන්තුව දිගින් - දිගටම පිරිහෙන්නේ මන්දැ’යි සොයා බැලීම ඉතා වැදගත් ය. මීට වසර දෙකකට පෙර සිවිල් සංවිධාන පෙන්වා දුන්නේ මහජන නියෝජිතයන් සඳහා උගත් හා බුද්ධිමත් පුද්ගලයන් පමණක් තෝරා පත්කර ගත යුතු බව ය. එහෙත් දැන් සිදුවන්නේ උගත් හා පරිණත යැයි සලකනු ලබන අයම පෙරළා තමන්ගේ මෝඩකම් ප්‍රදර්ශනය කිරීම ය. සමහරුන් විවාද කරන්නට දන්නේ නැත. සමහරු සිය දේශපාලන ප්‍රතිමල්ලවයා ට ගොනා, බූරුවා, හරකා කියා බණිති. ඒ හැරෙන්නට කුණු හරුප කියන අයත් සිටිති. සමහරු පාර්ලිමේන්තුවේ ගුටි - බැට හුවමාරු කර ගනිති. මේ අනුව දූ දරුවන්ට පාර්ලිමේන්තුව තහනම් කළ යුතු යැයි සිතේ. මන්ද දිනේෂ්ලා වැනි අය තවදුරටත් මේ සභාවට හිසරදයක් වන බැවිනි. 

නව අදහස දක්වන්න