පාසල් දැරි­ය­ක­ගෙන් එලන් මස්ක්ට ව්‍යාපා­රික උප­දෙ­සක් | දිනමිණ

පාසල් දැරි­ය­ක­ගෙන් එලන් මස්ක්ට ව්‍යාපා­රික උප­දෙ­සක්

අමෙරිකා එක්සත් ජනපදයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් ලෝ ප්‍රකට ව්‍යාපාරිකයකු වන එලන් මස්ක් හට ව්‍යාපාරික උපදෙසක් ලබා දුන්නාය. ‘හිතවත් එලන් මස්ක්’ ලෙස ආරම්භ කර තිබූ එම ලිපිය ඇගේ පියා විසින් ට්විටර්හි පළ කර ඇත.

‘ඔබ ටෙස්ලා සන්නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැහැ. නමුත් ටෙස්ලා වෙනුවෙන් නිවෙස්වල සිටින පිරිස් දැන්වීම් සකස් කරනවා. ඒවා මා දැක තිබෙනවා. ඉන් බොහොමයක් ඉතාම උසස් මට්ටමක පවතිනවා. ඔවුන් වෙනුවෙන් තරගාවලියක් සංවිධානය කර, හොඳම දැන්වීම් ප්‍රචාරය කිරීමට අවධානය යොමු කරන මෙන් මා ඉල්ලා සිටිනවා. කිසිම මුදලක් හෝ කාලයක් වැය නොකර දැන්වීම් සකස් කර ගන්න මේක ඔබට හොඳ අවස්ථාවක් වෙයි’ ඇය සිය ලිපියේ සඳහන් කර තිබුණාය.

ලිපිය ලියූ බ්‍රියා මෙන්ම සමස්ත ලෝකවාසීන් ද මවිතයට පත් කරමින් එලන් මස්ක් ඇගේ ලිපියට පිළිතුරක් ලබා දී තිබිණ,

‘මේ අපූරු ලිපියට ස්තූතියි. ඔබේ යෝජනාව ඉතාම විශිෂ්ට යෝජනාවක් බව පේනවා. අපි එය ක්‍රියාත්මක කරනවා’ යි ඔහු ට්විටර් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කර තිබිණ.

මීට මාස කිහිපයකට පෙර තවත් පාසල් දැරියක් ගූගල් ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පීවයි වෙත තමන් ගූගල් සමාගමේ සේවයට බඳවා ගන්නා ලෙසට ඉල්ලීමක් කරමින් ලිපියක් යොමු කර තිබුණාය. ඊට පුද්ගලිකව සිය අත්සන යොමු කරමින් පිළිතුරක් යොමු කළ ඔහු ‘පාසල් ගමන අවසන් වූ වහාම අයදුම්පත්‍රයක් යොමු කරන්න’ යි ඇයට දන්වා සිටියේය.

හසිත කැකුලාවල මූලාශ්‍රය : THE SUN 

නව අදහස දක්වන්න