කාන්තා විමුක්තිය!

අන්තර්ජාතික කාන්තා දිනය අදට යෙදී තිබේ. ලෝකය පුරා විවිධ රටවල මේ දිනය මහත් ඉහළින් සමරනු ලැබේ. මෙහි අර්ථය වන්නේ පුරුෂයා සමඟ සටන් වැදීම සඳහා ස්ත්‍රියට උත්තේජනයක් සැපයීම නොවේ. එහෙත් බොහෝ දෙනකුගේ අපේක්ෂාව වන්නේ ස්ත්‍රියට සම තැන ලබා ගැනීම සඳහා මේ දිනය යොදාගත යුතු බව ය. සමතැන යන සංකල්පයෙහි වැදගත්කමක් තිබේ. එක අතෙකින් ස්ත්‍රිය කුණු මුල්ලට විසිවී ඇති බවක් ඉන් කියැවේ. තව අතෙකින් ස්ත්‍රියට අයුක්තියක් සිදු වී ඇති බවද ඉන් කියැවේ. ලෝකයේ කුමන රටක අත්දැකීම් ගෙන බැලුව ද ඉහත සාධක දෙක ම ඇත්ත බව පෙනී යනු ඇත.

අපේ කාටුන් ශිල්පියෙක් මේ විෂයයට අදාළ අපූරු නිර්මාණයක් ඊයේ පුවත්පතක පළකර තිබිණි. ඒ නිර්මාණයට අනුව ශ්‍රී ලංකාව ස්ත්‍රීන් අපනයනය කරයි.ඒ ගෘහ සේවිකාවන් වශයෙන් ය. ඊළඟට ශ්‍රී ලංකාව සැප වාහන ඇතුළු සුඛෝප‍භෝගී භාණ්ඩ ආනයනය කරයි. රට යන කාන්තාවන්ගේ පවුලේ සාමාජිකයෝ තරු විසිවෙමින් බලා සිටිති. ඒ අතර දේශපාලකයෝ ඇතුළු ධනවත්හු සැප - කාර් හා සැප බඩු මහත් සතුටින් පරිහරණය කරති. සත්‍ය ලෙස ම අපට දකින්නට ලැබෙන සිදුවීම් කාටුන් ශිල්පියාගේ විමර්ශනයට ලක් වී ඇත. අපට විදේශ විනිමය උපයා දෙන්නෝ අහිංසක කාන්තාවෝ ය. එහෙත් ඉන් ප්‍රයෝජන ලබන්නෝ රටේ බලවන්තයෝ ය.

රටේ ජාතික ආදායම, දළ ජාතික නිෂ්පාදිතය, විදේශ විනිමය, ආර්ථික වෘද්ධිය යන ක්ෂේත්‍රවලදී ස්ත්‍රි‍යගේ දායකත්වය කිසිවිටෙක පුරුෂ පාර්ශ්වයට පහළින් සිටින්නේ නැත. විදේශ විනිමය ඉපැයීමේදී ස්ත්‍රීන්ගේ ශ්‍රම දායකත්වය පුරුෂ පාර්ශ්වය අභිභවා සිටී. ඇඟලුම් කර්මාන්තය, විදේශීය ගෘහ සේවය, තේ හා රබර් කර්මාන්තය ගත් විට මේ තත්ත්වය පැහැදිලි වනු ඇත. මෙරට ගුරු සේවය ගතහොත් එය සැලැකිය හැක්කේ ආර්ථික සංවර්ධනයට හා අනාගත ආයෝජනයට සම්බන්ධ වෘත්තියක් හැටියට ය. අද ගුරු සේවයේ වැඩියෙන් ම නියුතු පිරිස කාන්තාවෝ වෙති. මේ හැරෙන්නට ස්ත්‍රිය ගෘහස්ථ කර්මාන්ත ආශ්‍රයෙන් කරන ඉපැයීම බොහෝවිට සංඛ්‍යා ලේඛන හා දත්ත ආශ්‍රයෙන් හෙළිදරව් වන්නේ නැත.

නිෂ්පාදන ක්‍රියාවලියේදීත්, කුටුම්භ සංරක්ෂණයේදීත් ස්ත්‍රියගේ දායකත්වය ඉතා ඉහළින් පවතින නමුදු රටේ තීන්දු - තීරණ ගැනීම, අනාගතය සැලැසුම් කිරීම ආදී වැදගත් කටයුතුවලදී ස්ත්‍රියගේ දායකත්වය ලබා නොගන්නා තරම් ය. පාර්ලිමේන්තුව ගතහොත් කාන්තා නියෝජනය ඉතා අඩු ය. ප්‍රාදේශීය දේශපාලනයේදී එම තත්ත්වය ඊටත් වඩා අඩු ය. ආයතන ප්‍රධානීන් හැටියට කාන්තාවන් පත්කරන්නේ ද කලාතුරෙකින් ය. මේ අනුව ස්ත්‍රියට යම් අයුක්තියක් සිදු වී ඇතැ’යි තර්ක කරන්නට පුළුවන. ජගත් කාන්තා දිනයේදී මේ ගැටලුව ඉතා හොඳින් ඉස්මතු වෙයි. එය ම පෙරළා සටන් පාඨයක් ලෙස භාවිත වන බවක් ද පෙනෙන්නට තිබේ. කාන්තාවට දේශපාලන ක්ෂේත්‍රයේ සාර්ථක නියෝජනයක් තිබිය යුතුය.

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවෙන් බිහි වී ඇත ද, ජනාධිපතිනියක් බිහි වී ඇත ද කාන්තා පාර්ශ්වය ප්‍රමාණවත් අයුරින් දේශපාලනයට ප්‍රවේශ වූයේ නැත. ඒ සඳහා තහංචි ගණනාවක් ක්‍රියාත්මක වූ බව විශ්වාස කළ හැකි ය. සිරිමාවෝ මැතිනිය මෙන් ම චන්ද්‍රිකා මැතිනිය ද රටේ නායකත්වයට පත්වන්නේ සුවිශේෂ තත්ත්වයන් යටතේ ය. පවුල් පසුබිම, දේශපාලන පක්ෂවල තීරණ ආදිය ඊට බලපෑවේ ය. කාන්තාවට දේශපාලනයේ දොර තවම විවෘත වී නැතැ’යි කීම සාධාරණ ය. ප්‍රාදේශීය දේශපාලනයේදී කාන්තා නියෝජනය 25%ක් විය යුතු යැයි යෝජනාවක් තිබේ. එහෙත් එය ක්‍රියාත්මක වේද යනු සැකයෙකි. මේ වනවිටත් ඊට එරෙහි දේශපාලන බලවේග ක්‍රියාත්මක ය. ඔවුන්ගේ එක් තර්කයක් වන්නේ දේශපාලනයේ කාන්තා නියෝජනය 5%ක් වීම හොඳට ම ප්‍රමාණවත් බව ය.

අපේ කාන්තාවට තීන්දු - තීරණ ගැනීමේ හැකියාවක් නැත. ඇය බුද්ධිමත් නැත. ඇයට ප්‍රායෝගික දැනුමක් නැත. ඇයට කළමනාකරණ හැකියා නැත. පිරිස් පාලනය අපහසුය වැනි මතවාද ගණනාවක් සමාජය තුළ මුල් බැසගෙන තිබේ. මාර්ටින් වික්‍රමසිංහ මීට දසක කිහිපයකට පෙර මේවා බමුණුමත ලෙස බැහැර කළේ ය. එහෙත් සමාජයේ පොදු මතය ගත් කල තව ම එය ස්ත්‍රියට අවාසි සහගත ය. පුදුමයකට මෙන් ස්ත්‍රිය විෂයයෙහි අසුබවාදී අදහස් දරන ප්‍රභූ කාන්තාවෝ ද අපේ රටේ සිටිති. මේ පසුගාමී හා ප්‍රතිගාමී මතය බිඳ දැමිය යුතු යැයි අපට සිතේ. එම මතය පිළිගන්නා තාක්; අපේ කාන්තාවට ඉදිරියට යෑමේ හැකියාවක් නැත.

දිනපතා ජනමාධ්‍ය ඇසුරු කරන කෙනකුට ශ්‍රී ලංකාවේ කාන්තාවගේ තත්ත්වය හොඳින් නිරීක්ෂණය කළ හැකි ය. දිනපතා ම ස්ත්‍රී දූෂණ සිදු වේ. දිනපතාම ස්ත්‍රියට කරන අමානුෂික පහරදීම් වාර්තා වේ. ඇතැම් පුරුෂ සමාජ ස්ත්‍රිය කෙළි බඩුවක් සේ සලකා කටයුතු කරනු දක්නට ලැබේ. ඇයට හුදෙකලාවේ සිටීම අමාරු ය. තනිව ගමනක් යෑම අසීරු ය. තමන් කැමැති දෙයක නිරතවීමේ හැකියාව පවා අපේ කාන්තාවට නැත. පුරුෂ සමාජය බලා සිටින්නේ සුළු - දෝෂයක් දුටු සැණෙන් ස්ත්‍රිය දැඩි ලෙස විවේචනය කරන තැනක ය. ඇතැම් පුරුෂයෝ විවේචනයෙන් ඔබ්බට ගොස් ස්ත්‍රියට දඬුවම් කරති. නඩුත් හාමුදුරුවන්ගේ ය බඩුත් හාමුදුරුවන්ගේ ය කියූ වා සේ ස්ත්‍රියට කිසිදු අවස්ථාවක් ලබා දෙන්නට මේ සමාජ ක්‍රමය ඉඩ දී නැත.

දැනට පවතින තත්ත්වයට අනුව කාන්තාව විෂ‍යයෙහි තහවුරු කරගත යුතු සාධක කිහිපයක් තිබේ. එක; කාන්තාවට හිමි විය යුතු සියලු අයිතිවාසිකම් නීතියෙන් තහවුරු කරන තැනකට අප යා යුතු ය. දෙක; කාන්තා හිංසනය මුළුමනින් ම වැළැක්විය යුතුය. ශ්‍රී ලංකාවේ දැනට ජීවත්වන එක ම ඔලිම්පික් පදක්කම්ලාභිනිය වන සුසන්තිකා ජයසිංහ පවා ගෘහස්ථ හිංසනයට ලක් වූ බව අප අමතක නොකළ යුතු ය. තුන; රටේ රාජ්‍ය පාලනයේදී හා දේශපාලනයේදී මීට වැඩි නියෝජකත්වයක් කාන්තාවට ලබාදිය යුතුය. හතර; ස්ත්‍රියගේ ස්වාධීනතාව හා නිදහස තහවුරු කළ යුතුය. අවම වශයෙන් මේ ටිකවත් ලබාදිය හැකි නම්; ශිෂ්ට හා දියුණු සමාජ සංස්කෘතියක් අපට ස්ථාපනය කළ හැකි ය.

ස්ත්‍රී - පක්ෂයට ද මේ මොහොතේ යම් උපදේශනයක් ලබාදීම වැදගත් යැයි සිතේ. කාන්තා දිනයේදී රූපලාවණ්‍ය වැඩමුළු පැවැත්වීමෙන්, මැහුම් - ගෙතුම් තරග පැවැත්වීමෙන් පමණක් කාන්තා විමුක්තිය උදාකරගත නොහැකි ය. අපේ කාන්තාව ඊට වඩා බුද්ධිමත් හා හරවත් වැඩසටහන් වෙත යා යුතුය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...