'ෂූට් එකෙන් පස්සේ ෆෝන් එක ඕෆ්' - ස්වර්ණලතා රණසිංහ

මට ලැබුණු චරිත වැඩි ප්‍රමාණයක් ගැමි චරිත තමයි. ඒ නිසා සාමාන්‍ය ජීවිතයේ මා හඳුනාගන්නත් අපහසුයි. නමුත් කාලයකට පසුව ඒක වෙනස් වුණේ ‘ද්විත්ව’ ටෙලි නාට්‍යයෙන්. එහිදී මට පණ දෙන්න වුණේ බටහිර පන්නයට ළැදි චරිතයකට.

 

කෝරළේ මහත්තයා ටෙලි නාට්‍යයේ සෙලෙස්තිනා කිව්වොත් නොදන්නා කෙනෙක් නැහැ. හැබැයි ඉතින් සෙලෙස්තිනා සාමාන්‍ය ජීවිතයේදී ඇතැම් අයට ඇය හඳුනා ගන්නත් බැරිලු. සෙලෙස්තිනා සැබෑ ජීවිතයේදී ස්වර්ණලතා රණසිංහ. ‘වසූදා’ ටෙලි නාට්‍යයේ ඇය කළ රංගනයෙන් පසුව පාරේ බැහැලා යන්නත් බැරි තත්ත්වයක් ඇති වෙලා. ජීවිතය ලස්සනයි’, ‘කෝරළේ මහත්තයා’, ‘මුහන්දිරම් වළව්ව’, ‘මොණර කඩදාසි’, ‘කළු අරලිය’ වැනි ටෙලි නාට්‍ය රැසකට රංගන දායකත්වය ලබා දුන් ඇය පැමිණි ගමන දෙස බලන්නේ සැබෑම සතුටකින්.

රංගනයට ආසා කළේ පුංචි කාලයේ පටන් වෙන්න ඇති?

ඇත්තටම පුංචි කාලයේ පටන් දැක්ක හීනයක් තමයි අද වන විට මේ හැබෑ වෙලා තියෙන්නේ. පුංචි කාලයේදී කැමැති වුණත් ක්ෂේත්‍රයට එන්න අවසරය නම් ලැබුණේ නැහැ. මං හැදුණේ මගේ ආච්චි අම්මා සහ සීයා ළඟ. රංගනයට එනවාට ඒ දෙන්නාගෙන්ම පොඩි කැමැත්තක්වත් තිබුණේ නැහැ. කොහොම වුණත් වේදිකා නාට්‍යවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ‘පතිනි’ වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් මට හොඳම නිළියට හිමි සම්මානය ලැබෙනකොට මගේ වයස අවුරුදු දහහරක්. ඒ සම්මානය නිළියක් ලෙසින් තව තවත් ඉදිරියට යන්න මට ලොකු ධෛර්යයක් වුණා.

ඒ වුණත් රංගනයට යොමු වෙන්න ගෙදරින් අවසරය ලැබුණේ නැහැ. මට උඩරට නර්තන හැකියාව තියෙනවා. ඒ වගේම හොඳට බෙර ගහන්න පුළුවන්. ලියන්නත් පුළුවන්. කාලයක් ගත වෙලා මට ‘අකරදාරුව’, ‘ඉටිපහන් 2’ වැනි ටෙලි නාට්‍යවල පුංචි පුංචි චරිත ලැබුණා. මම වෘත්තිය නිළියක් ලෙසින් රංගනයට පිවිසියේ 2005 වසරේදීයි. එදා සිට අද දක්වා එන ගමන තමයි මේ.

කාන්තාවක් විදියට රංගන ජිවිතය කටුක වුණ අවස්ථා එහෙමත් ඇති?

මං හිතන්නේ මොළය පාවිච්චි කරනවා නම් ඕනෑම තැනක ඕනෑම අභියෝගයක් ජය ගන්න එක අපහසු නැහැ. ජීවිතෙත් එහෙමයි. අද නම් බොහොමයක් මවුපියන් ළමයින් කලා ක්ෂේත්‍රයට යොමු කරලා ඔවුන්ගේ පිටුපසින් ධෛර්ය වෙමින් සිටින අයුරු දකින්න පුළුවන්. ඇත්තටම මට එහෙම අත්දැකීමක් නැහැ. නමුත් මටත් මගේ ගමන සාර්ථකව එන්න හිතට ලොකු ධෛර්යයක් ලැබුණා.

ඇතැම් අවස්ථාවල රංගනයෙන් පසු මුදල් ලබාගන්න ලොකු දුකක් විඳින්න වුණ අවස්ථා තියෙනවා. මොකද රූගත කිරීම් අවසන් වූ පසුව ඇතැම් නිර්මාණකරුවන්ගේ දුරකථන අංක අක්‍රිය වෙනවා. ඩීවිඩී චිත්‍රපටවලට දායක විම ගැන නම් හිතේ තියෙන්නේ ලොකු කනගාටුවක්. මොකද බොහොමයක් ඩීවිඩී චිත්‍රපටවලට නිසා පිටපතක් නැති නිර්මාණ කටයුත්තේදී අපට අදාළ කොටසින් පසුව කෙරෙන රූගත කිරීම් ගැන අපි දැනුම්වත් නැහැ. එහිදී අපේ රංගන දායකත්වයෙන් පසුව වෙනත් අසැබි දර්ශන පවා ඒවාට ඇතුළත් කරනවා. නමුත් එහි සැබෑ අධ්‍යක්ෂකගේ නම නැහැ. තියෙන්නේ වෙනත් බොරු නමක්. ඒවගේ කැත වැඩ කරන නිර්මාණකරුවොත් ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ ගැන නම් තියෙන්නේ ලොකු කලකිරීමක්.

ස්වර්ණලතාගේ කැමැත්ත පුංචි තිරයට විතරමද?

මගේ රංගන ගමනේ ආරම්භය සනිටුහන් කරන්නේ වේදිකාව. කවදාවත් ඒක අමතක කරලා තවත් තැනකට යන්න මට බැහැ. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රධානව දායක වුණත් වේදිකාව වෙනුවෙනුත් මගේ කාලය වෙන් කෙරෙනවා. මම දායක වූ මුල්ම සිනමා නිර්මාණය සෝමරත්න රාමනායක අධ්‍යක්ණය කළ ‘සතියකට මට රට භාර දෙන්න’ චිත්‍රපටය යි. ‘සුභා’, ‘සිහිනය දිගේ එන්න’ වැනි චිත්‍රපටවලට දායක වුණා. ඊට අමතරව ‘සඳලුතලේ කුමාරියෝ’, ‘ජය ශ්‍රී ඇමති’ වැනි චිත්‍රපට ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි. ‘ජය ශ්‍රී ඇමති’ චිත්‍රපටයේ මගේ චරිතය මාළු පියසීලි. ඒක කටකාර චරිතයක්.

සාමාන්‍ය ජීවිතයේදීත් කටකාරයි ද?

අවස්ථානූකූලව කටකාරයි. එහෙම නැත්නම් බොහොම නිහඬයි. තනිව ජීවිත් වෙන කෙනෙක් විදියට කටකාර වෙන්නෙ නැතුවත් බැහැ. මොකද වස තැනදි මම වසයි. හොඳ තැනදි මම හරිම හොඳයි. නිහඬයි.

රංගනයේදී ඔබ ගැමි චරිතවලටම කොටු වෙලා කියලා හිතෙන්නේ නැතිද?

මට ලැබුණු චරිත වැඩි ප්‍රමාණයක් ගැමි චරිත තමයි. ඒ නිසා සාමාන්‍ය ජීවිතයේ මා හඳුනාගන්නත් අපහසුයි. නමුත් කාලයකට පසුව ඒක වෙනස් වුණේ ‘ද්විත්ව’ ටෙලි නාට්‍යයෙන්. එහිදී මට පණ දෙන්න වුණේ බටහිර පන්නයට ළැදි චරිතයකට. නර්තන ගුරුවරියකගේ චරිතයක් වගේම මෙහෙණින් වහන්සේ නමකගේ චරිතයකටත් පණ දෙන්න ආසයි.

රංගන ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් සිහිපත් කළොත්?

පසුගිය කාලයේ කළ ‘ද්විත්ව’ ටෙලි නාට්‍යය විශේෂයි. ‘ද්විත්ව’ ටෙලි නාට්‍යයේ විජය නන්දසිරි අයියා සමඟින් කළ රංගනය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද මගේ රංගන ජීවිතයෙ ඔහු සමඟින් කළ පළමු රංගනය වගේම අවසාන රංගනයත් එය යි.

පවුලේ විස්තරත් කිව්වොත්?

මම විවාහ වෙලා මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. තුන් දෙනාම පුත්තු. මේ වනවිට මගේ මහත්තයා ජීවිතයෙන් සමු අරන්. පුතාලා පුංචි කාලයේ එක දිගටම මට රංගන කටයුතුවලට දායක වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. මට කාලය වෙන් කරන්න හැකි හැම වෙලාවකම මම රංගනයට දායක වුණා. මගේ ආසාව වෙනුවෙන් පූර්ණ කාලීනව රංගනයට දායක වෙන්න දැන් මගේ පුතාලා තුන්දෙනාම මට ආශිර්වාද කරනවා.

ඉදිරියේදි නිර්මාණකරණයට එන්නත් අදහසක් ඇති?

මට හොඳට ලියන්න පුළුවන්. දැන් නාලිකාවල විකාශය කෙරෙන රටාව අනුව ටෙලි නාට්‍ය පිටපත් රචනා කළොත් ඒවා ගොඩගහගෙන තියා ගෙන ඉන්න තමයි වෙන්නේ. නමුත් මම ඒකාංගික පෝය ටෙලි නාට්‍ය, ඩීවීඩි චිත්‍රපටවලට පිටපත් රචනා කරනවා. දීර්ග ටෙලි පිටපත් දෙකක් මම දැනට ලියලා තියෙනවා. හොඳ වෙලාව එනතෙක් ඒවා සුරක්ෂිතව මා ළඟ තියෙනවා.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...