සැමියා බිරියගේ යක්ෂයා ය...!

 සැමියා බිරියගේ දෙවියා යැයි පරණ කතාවක් තිබේ. මේ ගැන චිත්‍රපට පවා නිර්මාණය වී ඇත. එම චිත්‍රපටවලට අදටත් ඉල්ලුමක් තිබේ. අතීතයට ඒ කතාව හරි යන්නට පුළුවන. එහෙත් අදට නම් එය තුට්ටුවකට නොවටිනා අලි බේගලයකි. මන් ද? අප දන්නා හැටියට මේ ධර්මද්වී‍පයේ කිසිදු සැමියකු දෙවියකු ලෙස නො හැසිරෙන බැවිනි. දෙවියකු ලෙස නො ව; මනුෂ්‍යයකු ලෙස හැසිරෙන්නේ නම්; එය හොඳට ම ප්‍රමාණවත් ය. එහෙත් විවාහක පුරුෂ පාර්ශ්වය වෙතින් නියම මනුෂ්‍යයකුගේ හැසිරීම මතුවන්නේ ද කලාතුරෙකින් ය. බහුල ලෙස දකින්නට - අසන්නට ලැබෙන්නේ තිරිසන් හැසිරීම් ය. එබැවින් අදට ගැළපෙන්නේ සැමියා බිරියගේ යක්ෂයා ය යන කියමන යැයි අපට සිතේ.

අපට මේ පූර්විකාව ලියා තබන්නට සිදු වූයේ ඊයේ පුවත්පත් වාර්තාකර තිබූ අතිශය සංවේදී සිදුවීම් දෙකක් කෙරෙහි අවධානය යොමු කරන විට ය. එක සිද්ධියක් මෙසේ ය. බිරියගේ ජංගම දුරකථනයට “මිස් කෝල්” දෙකක් පැමිණ තිබේ. මේ ගැන උරණ වූ සැමියා ඇයගේ කෙස්වැටිය කපා; ඇය නිරුවත්කොට පහර දී අවසානයේ පොරවකින් ද කොටා තිබේ. මේ සැමියා තිරිසනකුටත් අන්ත යැයි කියන්නට පුළුවන. අනෙක් සිද්ධිය මෙසේය. තරුණ බිරියක් අලුත් ඇඳුමක් මිලටගෙන එහි හැඩ බලා ඇත. මෙයින් උරණ වූ සැමියා බිරියටත් - ඇඳුමටත් යන දෙකට ම භූමිතෙල් දමා ගිනි තබා ඇත. මේ සැමියා මේ තරම්ම අමනද?

පළමු සිද්ධිය වාර්තා වන්නේ ගම්පොල ප්‍රදේශයෙන් ය. එම බිරියගේ වයස අවුරුදු හතළිස් හතක් බව ද, ඇය බෙහෙවින් රූමත් බව ද ප්‍රවෘත්තියේ සඳහන් ය. සැමියාගේ වයස අවුරුදු පනස් එකකි. ඔහු පෙදරේරුවකු වන අතර තුනටියේ ආබාධයකින් පෙළෙන බව ද සඳහන් ය. කුමක් වුව සිදු වී ඇත්තේ අපරාධයකි. මීට හේතුව සැකය යැයි කියන්නට පුළුවන. සැමියා රෝග ගණනාවකින් පෙළෙන බවද පෙනෙන්නට තිබේ. ඔහු කළ යුතුව තිබුණේ තම රෝගවලට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම මිස බිරියගෙන් පලිගැනීම නොවේ. මෙබඳු පුරුෂයන් නිසා ගැහැනු අනන්තවත් දුක් විඳිති. පවුල් අවුල් වෙති. දරුවෝ ද මාපියනට එරෙහි වෙති.

දෙවන සිද්ධියේ බිරියගේ වයස අවුරුදු 21ක් ලෙස සටහන් වී ඇත. එවැනි තරුණ කාන්තාවක් ඇඳුම්වලට ආකර්ෂණය වීම අමුතු දෙයක් නොවේ. සැමියා ද අවුරුදු තිස් ගණනක තැනැත්තකු බව සඳහන්ය. ඒ මෝඩ සැමියාට තම බිරියගේ හැඟීම් හා දැනීම් තේරුම් ගැනීමට බැරි වී ඇත. මෙහි ඇත්තේ ඊර්ෂ්‍යාව යැයි කියන්නට පුළුවන. වඩාත් නිවැරැදිව කියන්නේ නම්; එය කාම ඊර්ෂ්‍යාව ලෙස පෙන්වා දෙන්නට පුළුවන. ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් ලෙස හැඳින් වුව මිනිසුන්ගේ චිත්ත - සන්තාන තව ම ඇත්තේ ප්‍රාථමික තැනක ය. පුරුෂයෝ ස්ත්‍රීන් භාණ්ඩ ලෙස සලකා පාවිච්චි කරති. අවම ලෙස ස්ත්‍රිය යනු දුක දැනෙන ප්‍රාණියකු යන්නවත් ඔවුන්ගේ සැලැකිල්ලට ලක් වන්නේ නැත.

මෑත භාගයේ සිට ශ්‍රී ලංකාවේ දික්කසාද ඉහළ යමින් පවතින බව සමීක්ෂණ වාර්තාවලින් පෙනී යයි. එලෙස ම පවුල් - අවුල් ශීඝ්‍රයෙන් වර්ධනය වන බව ද වාර්තා වී ඇත. දික්කසාදයකින් පසු ගැටුම් නවතින්නේ යැයි සිතන්නට පුළුවන. එහෙත් නොගැළපීම් මත තවදුරටත් පවුල් සංස්ථාවේ රැඳී සිටීම නිසා ගැටුම් උත්සන්න වෙයි. ප්‍රචණ්ඩ ක්‍රියා ද සිදු වෙයි. මේ පසුබිම තුළ වඩාත් දුක්ඛිත තත්ත්වයට පත්වන්නේ ස්ත්‍රිය යැයි කියන්නට පුළුවන. ඩෙනිම් කලිසමක් මිලට ගත් නිසා; සැමියාගේ අමානුෂික පහරදීමකට ලක් වූ කාන්තාවක පිළිබඳ ප්‍රවෘත්තියක් පළ වූයේ මීට සති කිහිපයකට පෙර ය. ජංගම දුරකථන නිසා විවාහක කාන්තාවන්ට සිදු වන හිරිහැර ගැන දිනපතා ම අසන්නට ලැබේ.

මෙබඳු සිදුවීම් පසුපස ඇති ඇත්ත හේතු - සාධක විමසා බැලීම ඉතා වැදගත්ය. එහෙත් එවැන්නක් සිදුවන්නේ නැත. පොලීසිය ගැටුමේ පාර්ශ්ව දෙකෙහිම කතාවට ඇහුම්කන් දෙන්නේ යැයි සිතන්නට බැරි ය. අධිකරණය පවා මේ සිදුවීම්වලට අදාළ සියලු හේතු - සාධක විමර්ශනය කරන්නේ යැයි පිළිගත නො හැකි ය. මෙබඳු ගැටුම් පිළිබඳ සාධාරණ විමර්ශනයක යෙදෙන්නේ සමථ -මණ්ඩලය වැනි ආයතන බව පෙනී යයි. එහෙත් අපේ රටේ එම ආයතන දියුණු නැත. පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම, විද්‍යානුකූල ලෙස ගැටුම් නිරීක්ෂණය කිරීම වැනි සාධකවල දී ඉහත ආයතන බෙහෙවින් දුප්පත් ය. නවීන ක්‍රමවේද ඔවුන් ළඟ නැත.

නූතන සමාජය පිළිබඳ සියුම් නිරීක්ෂණයක යෙදුණහොත්; අශිෂ්ටත්වය හා නො දියුණු බව එහි කැපී පෙනෙන ලක්ෂණ බවට පත් ව තිබේ. අනෙකාට ගෞරව කරන ස්වභාවයක් අපේ සමාජය තුළ නැත. දේශපාලකයන්ගේ කතා සියයක් ගතහොත් එයින් අනූවක පමණ ඇත්තේ විරුද්ධවාදියාට එල්ල කරනු ලබන ප්‍රහාරයන් ය. ඒවා මඩ ප්‍රහාර ලෙස හැඳින්වුව වරදක් නැත. පාර්ලිමේන්තුවේ ඇතැම් විවාද අසන්නට බැරි තරම් අශික්ෂිත ය. උගතුන් අතර ඇත්තේ ද මාරාන්තික මල්ලව පොරයකි. ප්‍රභූ සමාජය එකිනෙක පාර්ශ්වවලට බෙදී ගහ - මරා ගනිති. ඇතැම් විට පාසල් අතර ගැටුම් ඇති වන්නේ ක්‍රිකට් තරගවලින් ය. මිත්‍රත්වය ආරම්භ කරන තැන ම ප්‍රචණ්ඩත්වය ද පවතී. මේ සියල්ල දෙස බලනවිට පෙනී යන්නේ අපේ සමාජය මුළුමනින් ම කණපිට පෙරළා නැවත සකස් කළ යුතු බව ය.

ස්ත්‍රී හිංසනය ගත්ත ද අපේ රට ඒ අතින් ඉතා ප්‍රසිද්ධ ය. මේ පිළබඳ සැබෑ තත්ත්වය ගතහොත් ගෘහස්ත ස්ත්‍රී හිංසනය ඉතා ඉහළ ය. එහෙත් එම සිදුවීම් හෙළිදරව් වන්නේ කලාතුරෙකින් ය. නිතිපතා ම සිය සැමියාගෙන් ගුටිකන බිරියෝ අපේ රටේ සිටිති. එය නොවිය යුත්තකි. ස්ත්‍රිය සිය දරුවන් වෙනුවෙන් කරන කැපවීම, කුටුම්භ සංරක්ෂණය සඳහා දරන දායකත්වය ගෙන බලන විට පිරිමියා අභිභවා සිටී. එහෙත් පවුල වෙනුවෙන් තීන්දු - තීරණ ගැනීමේ දී ඇයට සුදුසු ම තැන ලැබෙන්නේ නැත. මෙය බලවත් අයුක්තියකි. කාන්තා ගැටලු ගැන සොයා බලන ආයතන කිහිපයක් ඇතත්; කාන්තාවට අදාළ ගැටලු සියුම් ලෙස වටහාගෙන ඇති බවක් පෙනෙන්නට නැත. එය ද බලවත් අඩුවකි. සත්‍ය තත්ත්වය මෙසේ වන්නා සේම පුරුෂ පක්ෂයේ ඇතැමුන්ට කාන්තා පාර්ශ්වයෙන්ද තාඩන පීඩන සිදුවන අවස්ථා නැතුවා නොවේ.

ශ්‍රී ලංකාව යනු මුළුමනින් ම පාහේ පුරුෂාධිපත්‍යය මත සමාජ ක්‍රියාකාරකම් සිදුවන රාජ්‍යයෙකි. ප්‍රාදේශීය දේශපාලනය සඳහා 25%ක කාන්තා නියෝජනයක් තිබිය යුතු යැයි යෝජනාවක් තිබුණ ද එය වැඩි දෙනකුගේ සැලැකිල්ලට ලක් වී නැත. ඇතැම් දේශපාලකයෝ එම නියෝජනය 5% දක්වා අඩු කිරීමට උත්සාහ කරති. ස්ත්‍රියට සමතැන ලබාදිය යුතුය යන්න නිකම්ම සටන් පාඨයක් නොවේ. හැබෑවට ම ඊට පණ දිය යුතුය. ස්ත්‍රී හිංසනය අඩු කිරීමට නම් ඇයට නිසිතැන ලබා දීමට උත්සුක විය යුතුය. එහෙත් අපේ සමාජය ඊට ඉඩ ලබා දෙත් ද යනු ගැටලුවකි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...