අයි.ටී.එන් රියැලිටිය !

මේ මොහොතේ පෘතුවිය මත ඇති වටිනාම සම්පත කුමක්ද? නිවැරැදි පිළිතුර වන්නේ මානව සම්පත යන්න ය. මේ බව හොඳින් ම වටහාගත් දියුණු රටවල් මානව සම්පත් සංවර්ධනය නම් විෂයයක් ව්‍යාප්ත කරමින් සිටී. රටවල්වල දියුණුව හා අනාගත ස්ථාවරත්වය රැඳී ඇත්තේ මානව සම්පත සංවර්ධනය මත ය. ඒ පිළිබඳ විවාදයක් තිබිය නොහැකි ය.

චීනය ලෝකයේ දෙවන ශක්තිමත් ම ආර්ථිකය හිමි කරගත්තේ මානව සම්පත් සංවර්ධනය කෙරෙහි විශේෂ උනන්දුවකින් කටයුතු කළ නිසා ය. මේ සඳහා වූ ව්‍යාපෘති සභාපති මාඕ සේතුංගේ කාලයේ පටන් ක්‍රියාත්මක විය. ජපානය ලෝකයේ තෙවන ශක්තිමත්ම ආර්ථිකය හිමි කර ගත්තේ ද මානව සම්පත් සංවර්ධනයට යොමුවූ නිසා ය. එහි අධ්‍යාපනය සැලැසුම් වී ඇත්තේ ද මානව සම්පතින් උපරිම ඵල නෙළාගන්නා අන්දමට ය.

ශ්‍රී ලංකාව කාලයක් තිස්සේ ම මානව සම්පත් සංවර්ධනය ගැන උනන්දුවක් දක්වා නැත. එය පිළිගත් යුතු සත්‍යයෙකි. අප දීර්ඝ කාලයක සිට අත්දැක ඇත්තේ සැබෑ දක්ෂයා යට යන හා අදක්ෂයා උඩට මතු වන ක්‍රමවේදයකි. මේ නිසා ම අසාර්ථක රාජ්‍යය, අකාර්යක්ෂම රාජ්‍යය යන ලේබල අපට වැදී තිබිණි. ඒ පමණක් නොව; ආර්ථිකය පිරිහීමට ආයතන කඩා වැටීමට, දූෂණ හා අක්‍රමිකතා වැඩිවීමට මෙන් ම දේශපාලන ක්‍රමය අවුල්වීමට ද එය බලපෑවේ ය.

ශ්‍රී ලංකාව යනු තරුණ අරගල තුනකට මුහුණ දුන් රාජ්‍යයක් බව අමතක නොකළ යුතු ය. උතුරේ යුද්ධයක් හා දකුණේ තරුණ නැඟිටීම් දෙකක් වශයෙනි. මේවා පසුපස ඇති ප්‍රධාන හේතුවක් වන්නේ තරුණ පරම්පරාවේ හැකියාවන් සඳහා වේදිකාවක් නොපැවතීම ය. තරුණ පරම්පරාව පිළිබඳ විමර්ශනය කළ කොමිසන් සභා වාර්තාවල ද එය සඳහන් වේ.

ඉහත පූර්විකාව ලියා තැබුයේ රටේ ආයතන දෙකක් ඒකාබද්ධව තරුණ පරම්පරාව උදෙසා නිර්මාණය කළ අගනා වැඩසටහනක් ගැන පසුවිපරමක් කරන්නට ය. ආයතන දෙක වන්නේ ස්වාධීන රූපවාහිනිය හා ජාතික තරුණ සේවා සභාවයි. වැඩසටහන වන්නේ “යූත් විත් ටැලන්ට්” නම් රියැලිටි තරගය යි. එහි අවසන් හා ජයග්‍රාහී වටය පෙරේදා පැවැත්විණි.

මේ වැඩසටහන හැඳින්විය හැක්කේ රටේ තරුණ ජවය හා විශේෂ කුසලතා එකම වේදිකාවක් මතට ගෙන ආ අවස්ථාවක් හැටියට ය. ඇතැම් තරගකරුවන්ගේ විස්මිත හැකියාවන් දුටු සමහරු පුදුම වූහ. අපේ රටේ මෙබඳු දක්ෂයන් සිටිත්දැ’යි තව සමහරු ප්‍රශ්න කළහ. මේ අය මෙතෙක් කල් සිටියේ කොතනදැ’යි තවත් සමහරු මවිතය පළ කළහ. මේ සියල්ලෙන් පෙනී යන්නේ රියැලිටි වැඩසටහන් කලාවට නව අර්ථකථනයක් දීමට මේ ආයතන දෙක සමත් වී ඇති බවය.

නූතන රියැලිටි කලාව ලෝකය පුරා ජනප්‍රිය කළේ අමෙරිකාව, ඉන්දියාව වැනි රටවල් යැයි කියන්නට පුළුවන. ජනප්‍රියත්ව සංකල්පය හා ව්‍යාපාරික චින්තනය එහි ප්‍රමුඛ ලක්ෂණය බවට පත් ව තිබිණි. මේ තත්ත්වය අනුකරණය කළ ඇතැම් පෞද්ගලික ආයතන ශ්‍රී ලංකාව තුළද රියැලිටි කලාව ස්ථාපනය කළේය. මේ ආයතනවල ප්‍රමුඛ කාර්යය වූයේ ව්‍යාපාර තහවුරු කරගැනීම මිස ; තරුණ ප්‍රජාවගේ කුසලතා වර්ධනය නො වේ.

ඔව්හු තරු බිහි කළ අතර පුද්ගලයාගේ පෞරුෂ වර්ධනය හා මනුෂ්‍යත්වය අමතක කළහ. පසුකාලයේ දී මේ රියැලිටි වැඩසටහන් දැඩි විවේචනයට ලක් විය. රියැලිටි වැඩසටහන් ඔස්සේ ගායක - ගායිකාවන් හා නැටුම් ශිල්පීන් බිහි වී තිබිණි. ඔවුන් රටට හා සමාජයට කරන මෙහෙය කුමක්දැ’යි ප්‍රශ්න කරන්නට පටන් ගැනිණි. ඉහත ආයතන දෙක තවත් රියැලිටි වැඩසටහනක් ආරම්භ කරන්නේ මෙබඳු පසුබිමක් තුළ ය.

අලුත් වැඩසටහන තුළ ප්‍රධාන අංශ දෙකක් දක්නට ලැබිණි. පළමුවන්න ගමේ සංවර්ධනය සඳහා තරුණ දායකත්වය ලබා ගැනීම ය. දෙවන්න තරුණ පරම්පරාව අතරින් සුවිශේෂ චරිත බිහි කිරීම ය. මේ අංශ දෙකම රටේ ඉදිරි ගමනට බෙහෙවින් වැදගත් ය. ගමේ සංවර්ධනයට තරුණ දායකත්වය ලබා ගැනීමේ දී අපූරු අත්දැකීම් රැසක් දැකගන්නට ලැබිණි.

සමහර තරුණ කණ්ඩායම් වැව් තනා ගමේ කෘෂිකර්මය දියුණු කළහ. තව තරුණ කණ්ඩායම් ගමට අවශ්‍ය පාරවල් හා පාලම් ඉදි කළහ. තවත් තරුණ කණ්ඩායම් ගොවිපොළවල් තැනූහ. මුළුමනින් ම ගත් කල මෙය ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ නව අත්හදාබැලීමකි. රියැලිටි වැඩසටහනක් ඔස්සේ රටට වැදගත් දේවල් කළ හැකි බව මේ වැඩසටහන සාක්ෂි සහිතව සනාථ කර තිබේ.

ස්වාධීන රූපවාහිනී ආයතනය මේ වැඩසටහන සැලැසුම් කළ ආකාරය, ඉදිරිපත් කළ ආකාරය මෙන්ම විනිශ්චය කළ ආකාරය ද ආදර්ශවත් ය. එය මුලසිටම පැවැතියේ ජනතාව‍ගේ දැඩි ආකර්ෂණය දිනාගත් වැඩසටහනක් හැටියට ය. මේ නිසාම රට පුරා සිටි විවිධ දක්ෂතා ඇති යෞවන - යෞවනියෝ විශ්වාසයකින් යුතුව තරගයට එක්වූහ. අධිෂ්ඨානය ජයග්‍රහණය නම්; හැකියාව විස්මිත විය යුතුය යන තේමා පාඨය තරගය පුරාවට ම පැවැතිණි.

ජීවත්වීම සඳහා තම හැකියාවන් සමඟ බරපතළ අරගලයක යෙදෙන තරුණ - තරුණියෝ රැසක් එකම වේදිකාවක තම විස්මිත හැකියාවන් ප්‍රදර්ශනය කළහ. එම හැකියාවලට අභියෝග කළ හැකි අයට ද නැවත අවස්ථාව ලැබිණි. තරගකරුවන් 53, 657ක් අතුරින් අවසන් වටය සඳහා කණ්ඩායම් හා පුද්ගලයන් 11 ක් තෝරාගෙන තිබිණි.

රියැලිටි වැඩසටහනෙහි අවසන් ජයග්‍රාහකයා බවට පත්වූයේ ඉතා දුෂ්කර ජීවිතයක් ගෙවන දිලීප දිනූෂ නම් තරුණයෙකි. ඔහු සර්කස් කණ්ඩායමක ක්‍රීඩකයකු වන අතර අවසන් සංදර්ශනය සඳහා සියල්ලන් ම මවිතයට පත් කරන අංග කිහිපයක් ඉදිරිපත් කළේ ය. චීනයට නොදෙවෙනි ලෙස ශ්‍රී ලංකාවට සර්කස් පෙන්විය හැකි බව දිලීප සනාථ කළේය. ඔහු ගනු ලබන ජීවිත අවදානම පුදුම සහගත ය. ඔහුගේ සමබරතාව හා චිත්ත ඒකාග්‍රතාව අප විස්මයට පත් කරන සුලුය. මෙබඳු තරුණයකුට ජාතික මට්ටමේ ජයග්‍රහණයක් ලැබුණු පළමු අවස්ථාව මෙය විය හැකිය. මෙබඳු තරුණයන්ට අවශ්‍ය පහසුකම් හා පුහුණුව ලබා දීමට රජය ඉදිරිපත් විය යුතු ය.

ස්වාධීන රූපවාහිනී සේවය හා ජාතික තරුණසේවා සභාව රියැලිටි කලාව උඩු - යටිකුරු කළේ යැයි සිතන්නට පුළුවන. එක අතෙකින් මේ ආයතන දෙක අනෙකුත් රාජ්‍ය - ආයතනවලට මහඟු ආදර්ශයක් සපයා තිබේ. ඒ දැවැන්ත නිෂ්පාදනයක් මනා නිමාවකින් යුතුව පරිසමාප්තියට පත් කිරීමෙන් ය. ර‍ටේ සමස්ත තරුණ පරම්පරාවේ ආකර්ෂණය හා අවධානය මේ ආයතන දෙක විසින් දිනාගනු ලැබ තිබේ. එය ජයග්‍රහණයකි. අපට දක්ෂයෝ සිටිති. ඔවුන් වෙත අවකාශය හා ඉඩ හසර ලබා දෙන්නේ නම්; ශ්‍රී ලංකාව මීට වඩා දියුණු රාජ්‍යයෙකි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...