පාතාලයේ සමයංට වෙඩි, ඔහුත් සමඟ හතක් මරුට | දිනමිණ

පාතාලයේ සමයංට වෙඩි, ඔහුත් සමඟ හතක් මරුට

විජයානි එදිරිසිංහ, බුද්ධිකා ඉඹුලාන, රෝෂන් තුෂාර, 
කළුතර මධ්‍යම සමූහ, මතුගම සංචාරක සහ කළුතර දිස්ත්‍රික් සංචාරක

කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණය වෙත රැඳවියන් රැගෙන එමින් තිබූ බන්ධනාගාර බස් රථයකට කළුතර එතනමඬල ප්‍රදේශයේ දී ඊයේ (27) උදෑසන 8.30 ට පමණ සිදු කළ වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයකු වූ එන්.පී.අරුණ දමින්ත උදයන්ත මෙත් අරුණ උදයශාන්ත හෙවත් ‘සමයං’ නැමැත්තා ඇතුළු හත් දෙනකු මියගොස් තිබේ.

කැබ් රථයකින් ලුහු බැඳි පොලිස් ඇඳුමට සමාන ඇදුමින් සැරසුණු 15ක් පමණ පිරිසක් බන්ධනාගාර බස්රථය හරස් කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

මියගිය හත්දෙනාගෙන් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන් වන අතර පස් දෙනෙක්ම රැඳවියන් වෙති.

ඊයේ (27) උදැසන කඩුවෙල අධිකරණය වෙත පැමිණෙමින් තිබු මේ බන්ධනාගාර බස් රථය සහ පසුපසින් රැදවියන් ගේ ආරක්ෂාවට පැමිණි බන්ධනාගාර නිලධාරීන් රැගත් තවත් බන්ධනාගාර බස් රථයක් කැබ් රථයකින් ලුහු බැඳි පොලිස් ඇඳුමට සමාන ඇදුමින් සැරසුණු 15ක් පමණ පිරිසක් බන්ධනාගාර බස්රථය හරස් කර මේ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා කියයි.

සිද්ධියෙන් මියගිය අනෙකුත් රැදවියන් වන්නේ කේ.අමිල ප්‍රසංග සම්පත්, ජේ.තිලක් මල්ලිකාගේ, වාද්දුව පතිරණගේ කැළුම් ප්‍රියංකර, සී.ඩී.එල්.ප්‍රසංග කුමාර යන අයයි.

සිද්ධියෙන් මිය ගිය අය අතර බන්ධනාගාර ජේලර්වරයකු වන එස්. ආර්.විජේසිංහ, ගාඩ්වරයකු වූ එස්.තාර්මිකන් මහත්වරු වෙති. බුද්ධික නැමැති බන්ධනාගාර ගාඩ්වරයා බරපතල තුවාල ලබා ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහල වෙත රැගෙන විත් ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ තවත් බන්ධනාගාර නිලධාරින් සිවු දෙනකු කළුතර නාගොඩ රොහලට ඇතුළත් කර ඇති අතර තිදෙනකුගේ තත්ත්වය බරපතළය. මේ බන්ධනාගාර බස් රථයේ බන්ධනාගාර නිලධාරින් 08 දෙනකු රැඳවියන් සමග ගමන් කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක වරයා පවසයි.

අරුණ උදයන්ත හෙවත් ‘සමයං’ නමැති පාතාල සාමාජිකයා නවගමුව ප්‍රදේශයේ සහ තවත් ප්‍රදේශ කිහිපයක මිනී මැරුම් තුනක් සහ ඝාතන දෙකක් සිදු කිරීමේ සිද්ධියක් මෙන්ම ටී 56 ගිනි අවියක් ළඟ තබාගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි.

මියගිය සමයං නමැත්තා 30 හැවිරිදී වියේ පසුවූ අතර ඔහු රනාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසන්නේ තවත් පාතාල කල්ලි නායකයකු වූ 'අංගොඩ ලොක්කාගේ' කල්ලිය විසින් සිදු කරන ලද්දක් යැයි සැකකරන බවයි. ටී 56 වර්ගයේ ගිනි අවි සහ මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවිවලින් මේ වෙඩි තැබීම සිදු කර ඇතැයිද පවසන නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වෙඩි තැබීම සඳහා පැමිණි පාතාල කල්ලිය පැමිණි රථයේ අංකය ව්‍යාජ එකක් බවද සිදු කළ පරික්ෂණවලදී හෙළි වී ඇතැයි කියයි.

'අංගොඩ ලොක්කාගේ 'කල්ලියේ පිරිස පැමිණි කැබ් රථය එතනමඩලදී බන්ධනාගාර බස් රථය හරස් කර නවත්වා එම බස්රථ වට කර වෙඩි තබා ඇති අතර එහි දොරටුව අසල සිටි බන්ධනාගාර නිලධාරියාටද වෙඩි තබමින් දොරටුව විවෘත කර ඇතුල්වී සමයං අසලටම ගොස් ඔහු මියයන තෙක්ම වෙඩි තබා ඇත.

බන්ධනාගාර බස්රථයේ රියැදුරු එම බස්රථය ඉදිරියට ධාවනයට කිරීමට උත්සහ කළද සමයන් මියයන තෙක්ම වෙඩි තැබීම සිදු කර ඇත. සමයන් ඇතුළු ඔහුගේ ගෝලයන් ඊයේ (27) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණ තීන්දුවක් ලබා දී තිබුණු අතර මේ අය ඊයේ අධීකරණය වෙත ගෙන යන වේලාව පිළිබඳ කලින්ම දැනගෙන 'අංගොඩ ලොක්කාගේ' කල්ලිය කළ සුක්ෂම සැලසුම් අනුව බන්ධනාගාර බස් රථය එම ස්ථානය පසු කරන අවස්ථාව වන තෙක් සිට රථය ලුහු බැඳ බන්ධනාගාර බසය හරස් කර මේ වෙඩි තැබීම සිදු කර තිබේ.

සමයන් සහ 'අංගොඩ ලොක්කාගේ 'කල්ලිය අතර කාලයක පටන් මේ ගැටුම් පැවැති අතර එහිදී දෙපාර්ශ්වයේම කිහිප දෙනකු ට මරණය අත්විය. 'අංගොඩ ලොක්කාගේ' කල්ලිය කාලයක සිට සමයන් ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බව විශේෂ අපරාධ මෙහෙයුම් බුද්ධි අංශ මගාන් මෙයට පෙර අවස්ථා කිහිපයකදීම අනාවරණය කර තිබුණි.

මේ වෙඩි තැබීම පිළීබඳ වාර්තා වීමත් සමග කළුතර පොලිසිය සහ ඒ අවට පොලිසි වලින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ අපරාධකරුවන්ට පළා යා නොහැකි වන පරිදි ප්‍රදේශය වටලා ආරක්ෂාව තර තිබිණි. පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාද ,විශේ ෂ අපරාධ මෙහෙයුම් කණ්ඩායමක්ද රැගෙන සිදුධිය වාර්තා වීමත් සමගම එම ස්ථානයට ගොස් පරික්ෂණ සිදු කිරීම ආරම්භ කර තිබිණි. මේ සිද්ධිය පිළිබඳ පොලිස් කණ්ඩායම් හයක් පරික්ෂණ සඳහා යොදවා තිබේ. රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී දී ඉකුත් 03 වැනිදා හර්ෂ නමැති පාතාල සාමාජිකයකු ඝාතනය කිරීමටද සමයං නැමැත්තා සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබුණු අතර එම සිද්ධියට එකට එක කිරීමක්‌ ලෙස සමයන්ගේ බිරිය ඝාතනයට පැමිණි පාතාල සාමාජිකයන් වැරදීමකින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී ගැබිනි කාන්තාවකට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් ද වාර්තා වී තිබිණි. 

නව අදහස දක්වන්න