ජනමත විචාරණයක දී බහුතර කැමැත්ත හිමිවනතුරු නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්නේ නැහැ

අසේල කුරුළුවංශ

ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඇතිව නව ව්‍යවස්ථාව සම්මත කළත් ජනමත විචාරණයකට ගොස් බහුතර කැමැත්ත ඊට හිමිවන තුරු එය ක්‍රියාත්මක කිරීමට රජය කිසිවිටකත් කටයුතු නොකරන බව පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පළාත් සභා මෙරටට හඳුන්වා දීමේදී මහජන මතය නොවිමසීම හේතුවෙන් රටේ විශාල කැළඹීමක් ඇතිවූ බවත් ජනතාවාදී ආණ්ඩුවක් ලෙස වත්මන් ආණ්ඩුව මහජන මතයට පිටින් කිසිවක් සිදු නොකරන බවත් ඒ මහතා කීය.

ලේවැල්ල ප්‍රදේශයේදී පෙරේදා (25) පැවැති උත්සවයකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය පාවිච්චි කර ජනතාව ඉදිරියට නොගොස් ව්‍යවස්ථාව ගෙන ඒමට ආණ්ඩුවට හැකියාව ඇතත් ජනතාවගේ කැමැත්තක් නොමැතිව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් ඵලක් නොමැති බවත් ජනතා මතය නොවිමසා පාර්ලිමේන්තු බලය පාවිච්චි කරන්නට ආණ්ඩුව අපේක්ෂා නොකරන බවත් හෙතෙම අවධාරණය කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහභාගීත්වය ඇතිව නව ව්‍යවස්ථාව සකස් කිරීම පිණිස මෙහෙයුම් කමිටුව සකස් කළ බවත් සියලු ජාතීන් සමඟ එකට එකතුවී රට ඉදිරියට ගෙනයෑමට පසුබිම සැකසෙන ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දීම රජයේ අරමුණ බවත් ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකාව නිදහස ලබන විට ආර්ථික අතින් පසු පසින් සිටි සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් පෙරට ගියේ සියලු ජාතීන් එක්ව රට ගැන සිතා ක්‍රියාකළ නිසා බවත් අප ජාතී, ආගම් පෙරට දමා දේශපාලනය කරන්නට යෑමෙන් රට දිනෙන් දින පසුපසට තල්ලුවී ගිය බවත් කී ඒ මහතා නිදහසින් පසු බලයට පැමිණි සෑම රජයක්ම මෙයට වගකිව යුතු බවද ප්‍රකාශ කළේය.

මෙරට අති බහුතර සිංහල ජනතාවගේ කමැත්ත නොමැතිව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් ඵලක් නොවන බව ද්‍රවිඩ දේශපාලන පක්ෂද පිළිගෙන තිබෙන බවත් දේශපාලන වාසී සඳහා ඇතැම් පිරිස් නව ව්‍යවස්ථාව මගින් රට බෙදන්නට, බුද්ධාගමට හිමි තැන නැති කරන්නට ක්‍රියා කරන බවට ව්‍යාජ ප්‍රචාර ගෙනයන බවත් කී ඒ මහතා ඒවාහි කිසිදු සත්‍යයක් නොමැති බවද අවධාරණය කළේය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...