'මම නපුරු ලු ඒ වගේම හොඳ ලු' - මේනකා පීරිස් | දිනමිණ

'මම නපුරු ලු ඒ වගේම හොඳ ලු' - මේනකා පීරිස්

මේනකා පීරිස් කියන්නේ අපට ඉන්න කුසලතා රැසක් සපිරි නවක නිළියක්. පුංචි තිරයේ වගේ ම රිදී තිරයෙත් සිය රංගන ප්‍රතිභාව විදහා දක්වන ඇගේ රංගනය මේ දවස්වල නිර්මාණ කිහිපයකදි ම දැක ගත හැකියි. ඒ අතරින් මේ දවස්වල තිරගත වන චත්‍ර වීරමන්ගේ ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ ඈ කරන රංගනය ගැන බොහෝදෙනා අතර කතාබහට ලක් වෙනවා. ඒ ගැනත්, ඇගේ රංගන ජීවිතය ගැනත් මේනකා පැවසුවේ මේ වගේ කතාවක්.

* තීය බැමිණියගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර සුබ ද?

‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටය තිරගත වෙන්න අරගෙන තවම වැඩි දවසක් ගතවුණේ නැහැ. ඒ වුණත් ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර නම් බොහොම හොඳයි. ඒ අය කියන්නේ “අපි එක පාරක් ගිහින් බැලුවා, අපි තවත් පාරක් ගිහින් බැලුවා” යනුවෙන්. ඒ චිත්‍රපටය නරඹලා තිබෙන්නේ ඔවුන් එක වරක් පමණක් නොවෙයි. දෙවරක්, තුන්වරක් පමණ එක ම චිත්‍රපටය නැරැඹීම සතුටට කරුණක්.

* එලෙස චිත්‍රපටයක් කිහිපවරක් නැරැඹීමට හේතු වූ කාරණය කුමක් ද?

ඒ හැමෝම ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරැඹුවාට පස්සේ සිතාගෙන ඉඳලා තිබෙන්නේ මේ චිත්‍රපටය බොලිවුඩ් චිත්‍රපටයක් කියලයි. ඒ තිබෙන පික්චර් කොලිටි එක ඇතුළු බොහෝ දේවල් නිසා ඔවුන් චිත්‍රපටය නරඹන්න යනවා. ඒ නිසා ‘ආලොකෝ උදපාදි’ චිත්‍රපටය තිරගත වීමට කලින් ම සිනමා ප්‍රේක්ෂකයන් එය වැලඳ ගත්තා.

* ඔබට තීය බැමිණියගේ චරිතය ලැබෙන්නේ කෙසේ ද?

මුලින් ම මට කතා කළේ නිෂ්පාදන අංශයෙන්. ඊට පසුව අධ්‍යක්ෂවරයා කතා කළා. මේ චරිතය සඳහා ඔයාව අපි තෝරා ගත්තා. ඒ ඔයාගේ විශේෂත්වයක් තිබෙන නිසා. අපිත් එක්ක වැඩ කරන්න කැමැති ද කියලත් ඔහු මගෙන් විමසුවා. මා මුලින් ම ඉල්ලුවේ තිරරචනයයි. තිරරචනය කියෙව්වාට පසුව ඒ අදහස ගැන මා දෙපාරක් සිතුවේ නැහැ. චරිතයට එක්වරම කැමැත්ත දුන්නා.

* ඔබ මෙතෙක් රඟපෑ නිර්මාණවලට වඩා වෙනස් චරිතයකුයි මේ චිත්‍රපටයේ ඔබට ලැබෙන්නේ?

බොහොම අමාරුවෙන් රඟපාන්න වන චරිතයක් විදියටයි තිරරචනයේ ඒ චරිතය මා දුටුවේ. ඒ චරිතය මා මෙතෙක් රඟපෑ චරිතවලට වඩා වෙනස් චරිතයක්. එහිදි මේ චරිතය හදා ගන්නේ කොහොමද කියලා මා කල්පනා කළා. විශේෂයෙන්ම ඵෙතිහාසික කතාවක චරිත නිරූපණයක් කරන විට අප වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඒ සිනමා ප්‍රේක්ෂකයන්ගේ සිතේ ඇඳීලා ඉන්න රූප තිබෙනවා. අප ගනුදෙනු කරන්නේ ඒ රූප සමඟයි. රඟපෑමේදී ඔවුන්ගේ සිතේ ඇඳීලා ඉන්න ඒ රූප කැඩුවොත් අප අසාර්ථක වෙනවා. ඒ නිසා ඒ අදහස්වලට සාධාරණයක් කරන්නත්, ඵෙතිහාසික චරිතවලට සාධාරණයක් කරන්නත් මේ චරිතය ගැන සිතද්දි කල්පනා කළ යුතු කාරණයක්. ඒ කාරණය ගැන මා බෙහෙවින් සැලකිලිමත් වුණා.

* ඒ මත සිටිමිනුයි එහෙම නම් ඔබ තීය බැමිණියගේ චරිතය ප්‍රතිනිර්මාණය කරන්නේ?

ඇගේ චරිතය තිරරචනයේ නිර්මාණය කරලා තිබුණේ බොහොම සියුම්වයි. තිරරචකයාට වගේ ම අධ්‍යක්ෂවරයාට මැය ඇතුළාන්තයෙන් මෙහෙමයි කියලා, තීය බැමිණියගේ චරිතය කොතැනකවත් ඉස්මතු කරන්න උවමනා වී තිබුණේ නැහැ. ඒ කාරණයයි මා මුලින් ම ඔළුවට දමා ගත්තේ. මා කවුද කියලා හංගාගෙනයි මේ චරිතය මා රඟපෑ යුත්තේ. චරිතය නිරූපණය කිරීමට පෙර මා මේ සියලු දේ අධ්‍යක්ෂවරයා හා තිරරචකයා සමඟ කතාබහ කළා. එසේ කිරීම නිසා ම මට යම් පහසුවක් දැනුණා.

* සටන මෙහෙය වන කණ්ඩායමේ සාමාජිකාවක ලෙස සටන් පුහුණු වීමටත් ඔබට සිදු වෙනවා ද?

සුමුදු අයියා සහ සඳුන් යන දෙදෙනායි අපට සටන් පුහුණු වීමට උදව් කළේ. එහෙත් මට ගොඩක් සටන් කිරීමට තිබුණේ නැහැ. සටනක් කරනවා කියන මතයේ සිටියත්, තිබුණු කාලයත් එක්ක එය වෙනස් කිරීමට සිදු වුණා. ඒ නිසා අවසානයේ හීය වැදිලා මැරෙන විදියයි රූගත කිරීම සිදු වුණේ. මේ නිසා මට සටන් ඉගෙන ගැනීමට නොතිබුණත්, චිත්‍රපටය පුරා අනෙක් අයට සටන් කරන්නට සිදු වුණා. කිසිම කම්මැලි කමකින් තොරව ඕනෑ ම කෙනෙකුට මෙහි සටන් නැරැඹිය හැකියි. ව්‍යාජ බවෙන් තොරවයි සියලු දෙනා ම සටන්වල නියැළෙන්නේ. මේ වනවිට මම චිත්‍රපටය සිව් වතාවක් පමණ නරඹලා තිබෙනවා. ඒ සටන් කිරීමේ දර්ශන දකින්න යළි යළිත් ආසයි. ඒ තරමට ම ඒ දර්ශන තාත්වික ආකාරයෙනුයි නිරූපණය කරලා තිබෙන්නේ.

* ඔබට බෙහෙවින් ආසන්නයේ ම ඉඳීමින් රඟපාන්නේ රොෂාන් රවීන්ද්‍රයි. ඔහු සමඟ රඟපාන්නේ පළමු වරට ද?

ඔහුත්, මමත් මීට පෙර අවස්ථාවලදි එක්ව රංගනයේ යෙදිලා තිබෙනවා. ඒත් අප දෙදෙනා සැමියා හා බිරිය ලෙස රංගනයේ යෙදුණේ පළමු වරටයි. කලින් ඇති වුණු හිතවත්කමක් තිබුණු නිසා ම ඔහුත් සමඟ රඟපෑම මට පහසුවක් ගෙනාවා. අප දෙදෙනා රඟපෑමේදී එයාගෙන් මට වගේ ම මගෙන් එයාටත් හොඳ සහයෝගයක් ලැබුණා. ඕනෑ ම අවස්ථාවකදි තමන් සමඟ රඟපාන නළුවාගෙන් හෝ නිළියගෙන් ඒ විදියේ සහයෝගයක් නොලැබෙනවා නම් ඒ කෙනාට රඟපෑම අපහසුයි. ඒත් ඒ අවස්ථාවේ ලැබෙන්නේ සහයෝගයක් නම් අනෙක් චරිතය රඟපාන කෙනාට එහිදී අරගෙන එන්නේ ශක්තියක්.

* ඔබ තීය බැමිණියගේ චරිතය හොඳීන් නිරූපණය කරන බවයි අපට හැඟෙන්නේ. ඒ ගැන මොන වගේ අදහසක් ද ඔබට තිබෙන්නේ?

එහෙම කියන විට මගේ සිතට දැනෙන්නේ ලොකු සතුටක්. චිත්‍රපටය පළමු වරට තිරගත කළ අවස්ථාවේ එදා එය නැරැඹූ බොහෝදෙනා මේ චරිතය ගැන කතා කළා. ඔවුන් පැවසුවේ මා වෙනදා රඟපෑවා ම එවිට අප පවසන්නේ ලස්සනයි හා හොඳට රඟපාලා තිබෙනවා කියන එකයි. ඒත් මේ චරිතය ගැන අප පවසන්නේ නපුරු කමෙන් හා හොඳට ඔබ රඟපා තිබෙනවා යන්න බවයි. ඒ අදහස්වලින් මා චරිතය හොඳට ම රඟපා ඇති බව පැවසුවාට පස්සේ සිතට දැනෙන්නේ පුදුම සතුටක්.

* මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනා සිනමා ක්ෂේත්‍රයට නවකයන්. ඔවුන් සමඟ කටයුතු කිරීම පහසු වුණා ද?

චත්‍ර හා භාරත කියන්නේ තරුණයන් දෙදෙනෙක්. ඒ වගේ ම මේ ඔවුන්ගේ පළමු නිර්මාණය වුණාට මා ඔවුන්ව දුටුවේ පරිණත අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් විදියටයි. ඔවුන් මේ කටයුත්තට පිවිසුණේ අධ්‍යයනකින් පසුවයි. ඒ වගේම ඔවුන්ගේ සිත්වල තිබුණු සරල බව මා අගය කරනවා.

* ඔබගේ පවුලේ අය ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටය නැරැඹුවා ද?

මගේ පවුලේ අය මේ චිත්‍රපටය නැරැඹුවා. කොහොමත් රූගත කිරීම් කරන ස්ථානවලට මාත් සමඟ යන්නේ අම්මා. රඟපෑමට භාර ගන්න චරිතය ගැන මා මුලින් ම කතා කරන්නේත් අම්මා සමඟයි. අප දෙදෙනා කරන සාකච්ඡාවෙන් පසුවයි මා ගන්න හැම තීරණයක් ම අරගෙන තිබෙන්නේ.

* ඔබ රඟපාන්නට පෙර මේ මේ චරිත රඟපාන්නේ යැයි හා මේ මේ චරිත රඟ නොපාන්නේ යැයි යම් තෝරා ගැනීමට ලක්කරන්නේ ද?

මා මගේ රංගනයේ තරම දැනගෙනයි සිටින්නේ. එහිදි තිරරචනා පහක් පමණ ළඟ තබාගෙන මේ පිටපත්වලින් මොකක් ද කරන්නේ යැයි සිතමින් තෝරන්න තරම් පිටපත් ප්‍රමාණයක් මට ලැබිලා නැහැ. එහෙත් මට මෙතෙක් ලැබුණු චරිත සඳහා ආරාධනා කළේ, අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස මගේ රංගනය ගැන හොඳ අධ්‍යයනයක් සමඟ බවයි මට හැඟුණේ. මගේ රංගනයේ තරම කුමක්ද? මට මොන වගේ චරිත ද ලබාදිය යුත්තේ? ඒ ඔස්සේ මගෙන් චරිතයට සාධාරණයක් ඉටුකර ගන්නේ කෙසේ ද? යන කාරණා ඔවුන් ඔළුවේ තබාගෙනයි රඟපෑමට මට නිතරම ආරාධනා ලැබුණේ. ඒ නිසා රඟපෑමේදී මට ලොකු තෝරා ගැනීමකට යන්නට අවශ්‍ය වුණේ නැහැ. ඒත් නිතරම මා තිරපිටපත කියවලයි ඒ චරිතයට කැමැත්ත දුන්නේ. ඒ නිසාම මට ලොකු ගැටලුවලට මුහුණ පෑමට සිදු වුණේ නැහැ. ඒ අතර මා අකැමැති චරිත කිහිපයක් ප්‍රතික්ෂේප කිරීමටත් සිදු වුණා.

* කාලයක් ඔබ රංගනයෙන් ඈත් වෙලා සිටියා. මේ වනවිට රංගන ශිල්පිනියක් ලෙස දිගටම කටයුතු කරන්න ද ඔබ තීරණය කරගෙන ඉන්නේ?

ඒ කාලයේ රංගනයට අමතරව විවිධ කටයුතු රැසක ම යෙදිලා තිබුණ නිසා කාලය ගත වුණා. ඊට පසුව මගේ නර්තන පන්තියේ කටයුතු සමඟයි මා කාලය ගත කළේ. ඒත් ඒ අතරතුර මා ‘ගැමුණු මහරජ’ හා ‘සී රජ’ කියන නිර්මාණ දෙකට පමණයි රංගනයෙන් සහභාගි වුණේ. මේ වනවිට මා නර්තනය, රංගනය, නිවේදනය කියන කටයුතු තුනේ ම නියැළෙනවා. මගේ නර්තන පන්තිය පැවැත්වෙන්නේ සෙනසුරාදා හා ඉරිදා.

 

නව අදහස දක්වන්න