රණ විරුවොයි මිනී මරුවොයි | දිනමිණ

රණ විරුවොයි මිනී මරුවොයි

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් රඳවාගෙන පහරදීම සම්බන්ධයෙන් හමුදාවේ කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත. සිදුවීමෙන් වසර අටකට පසුව ඒ පිළිබඳව තොරතුරු සොයා ගැනීමට සමත්ව ඇති බව කියති. පසුගිය රජය සමයේ මෙය පැවතියේ නොවිසඳුණු අපරාධයක් වශයෙනි. පාලනය වෙනස් වීමෙන් පසුවද තොරතුරු සොයා ගැනීමට කලක් ගතවී ඇත. කෙසේ වෙතත් මේ වන විට හෝ එම තොරතුරු හෙළිදරව් වීමත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් වැදගත්ය.

මෙම අපරාධයේ සැකකරුවන් හමුදා සෙබළුන් හා නිලධාරීන් වීම නිසා එය දේශපාලන වශයෙන් විකෘති කිරීමේ උත්සාහයක් ද පවතින බව පෙනෙන්නට තිබේ. ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම දැනටමත් කියන්නට පටන්ගෙන ඇත්තේ මෙය ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමක් බවය. ඔවුන් කියන ආකාරයට ආණ්ඩුව එය කරන්නේ බටහිර රටවල වුවමනාවටය. නැතහොත් ඉන්දියාවේ වුවමනාවටය. එලෙස හමුදාවට දඬුවම් කරවීමට එම රටවලට අවශ්‍ය වී ඇත්තේ මේ හමුදාව විසින් එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීම නිසා බව මොවුහු කියති. ඔවුන් මේ වෙලාවේ අරඹන දේශපාලන ගුලිය එබඳුය.

මේ හදන්නේ ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායමට දේශපාලනය කරගෙන යන්නට ජාතිවාදය ඉස්මතු කර ගන්නටය. ඒ සඳහා මෙබඳු කතන්දර ගෙතීම විපක්ෂයේ දිගුකාලීන උත්සාහයකි. එසේ වුවද මෙය කිසිදු පදනමක් නැති පච වැලක් බව තතු දත් ජනතාව දනිති.

කොටි සංවිධානය ගැන ජාත්‍යන්තර බොරු

එල්.ටී.ටී.ඊ. ය රැක ගැනීමට ඇමෙරිකාවට හෝ බටහිර රටවලට අවශ්‍යව තිබුණා යැයි කීම අමුම පචයකි. ඇමෙරිකා එක්සත් ජනපදය එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකා තහනම් කළේ 1997 දීය. ඒ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ සමයේය. ඔස්ලෝ සාම සාකච්ඡාවලින් එල්.ටී.ටී.ඊ. ය ඉවත් වූ විට ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමෙරිකාව කීවේ දැන් ‘යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ. ය තහනම් කළ යුතුයි’ කියාය. යු‍රෝපා සංගමය එල්.ටී.ටී.ඊ. ය තහනම් කොට එහි ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගත්තා පමණක් නොව ඔවුන්ගේ බැංකු ගිණුම් ද තහනම් කළේය. එලෙස තහනම් කළ ගිණුම්වල තිබුණේ එල්.ටී.ටී.ඊ යට අවි ගන්න එකතු කළ මුදල් ය. මුදල් එකතු කිරීමට ද ඉඩ දුන්නේ නැත. යුරෝපා රටවල් ත්‍රස්තවාදයට එරෙහිව සටනට දායක වුණේ එහෙමය.

එකල අප රටට තුබූ ප්‍රබල තර්ජයක් වූයේ එල්. ටී. ටී.ඊ.ය නැව්වලින් රහසේ අවි රැගෙන ඒමයි. එම නැව්වලට ගහන්නට ‘සයුර’ යුද නැව අපට දුන්නේ ඇමෙරිකාවෙනි. ඒ පමණක් නොවේ. අවි පැමිණීම ගැන ඔත්තු ලබාදීම ද සිදුවූ බව දන්නෝ දනිති. ඉන්දියාවද එසේම ක්‍රියාත්මක වීය. ඇතැම් එල්.ටී.ටී.ඊ නැව්වලට ප්‍රහාර එල්ල කළේ ඉන්දියාවයි. මේවා ඉතිහාසයේ සඳහන්ය. එල්.ටී.ටී.ඊ යට ගුවන් ප්‍රහාර එල්ල කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මිග් යානාවලට ඉන්දීය ගුවන් කලාපයට ඇතුළුවන්නට ඉඩ දී තිබීමද විශාල වාසියක් වී තිබිණි. මේ රටවල් එල්.ටී.ටී.ඊ යට සහය දුන්නා කීම අමු පචයක් කියන්නේ ඒකය.

අනෙක් අතට ඔවුන් යමක් කීවත් ශ්‍රී ලංකාව එය කරන්නේ අහවල් බැඳීමක් නිසාද යන්න ප්‍රශ්නයකි. ඔවුන්ගෙන් අපට වෙනත් විශාල අනුග්‍රහයක් නැත. විපක්ෂ කණ්ඩායම් වරෙක කියන්නේ ආණ්ඩුව ඉන්දියාවට රට විකුණන බවයි. තවත් විටෙක කියන්නේ චීන කොලනියක් කරනවා කියාය. මෙලෙස ඒකාබද්ධ විපක්ෂය විසි වරකදී විසිපහක් දේ කියන්නේ එකිනෙකට ගැළවීමක් හෝ නැතිවය. ඔවුනට දැන් තියෙන්නේ එදා වේල දේශපාලන කතන්දර පමණකි. වෙනත් දේශපාලන දැක්මක් ඔවුනට ඇත්තේ නැත.

රණවිරුවන් යැයි අපරාධකාරයන් වීරත්වයට නංවන්නට හැදීමද ඒකාබද්ධ විපක්ෂයේ තවත් බංකොලොත් ක්‍රීඩාවකි. රණබිමේ ඉදිරියට ගොස් සටන් කළ භටයන්ට සටන වෙනුවෙන් ජීවිත පූජාකළ උදවියට මේ රටේ ජනතාව ගෞරවයෙන් සලකන බවට සැකයක් නැත. ඒ ඔවුන්ගේ වීරත්වයටය. ඒ අතර සටන් බිම මඟහැර සිටි පිරිසක් ද වන බව හමුදාවේ තොරතුරු දත් උදවිය කියති. සමහරු දේශපාලන අනුග්‍රහයෙන් කොළඹට වී දිවි ගෙවූහ තවත් සමහරු බලවතුන්ගේ අවශ්‍යතා ඉටු කළෝය. මේවා සත්‍ය කතාය.

හමුදාවට බැඳී සිටි පමණින් කෙනෙකු රණවිරුවකු වන්නේ නැත. හමුදාවෙන් පලා ගිය සංඛ්‍යාවද දසදහස් ගණනකි. ඔවුන් අත්අඩංගුවට ගෙන සටන් බිමට යවන්නට ද හමුදාවට සිදුවීය. ඒ අතර හමුදා පොලිසිය මඟින් නඩු අසා දඬුවම් කිරීම ද සිදුවීය.

හමුදාවේ විනය පවත්වා ගන්නටද හමුදාපතිවරුන්ට හා නිලධාරීන්ට විශාල වෙහෙසක් දරන්නට සිදුවූ බවද රහසක් නොවේ. හමුදා නිල ඇඳුම යොදාගෙන විවිධ අපරාධ කිරීම එක් ප්‍රශ්නයකි. සටන් බිම මඟහැරීම, අමාරු සටන්වලදී ඉදිරියට නොයාම ආදී ප්‍රශ්න ද හමුදාවට තිබිණි. එකම හමුදා කණ්ඩායම තුළ පිරිසක් වීරෝධාර ලෙස සටන් කරද්දී තවත් පිරිසක් තමන් ආරක්ෂාවීමට යාමෙන් විරුවන් මෙන් සටන් කළ භටයන් ද අනතුරට ලක්කළ අවස්ථා ගැන සටන් බිමේ සිටි සෙබළුන්ගෙන් දැනගත හැකිය.

භාරදුන් සටන්වලදී අනවශ්‍ය ලෙස පසුබැසීම හා මඟ හැරීම වැනි සිදුවීම සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමට හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සිදුවූ බව ප්‍රසිද්ධ කාරණයකි. එවැනි උදවිය අත්අඩංගුවට ගෙන හමුදා අධිකරණයට ඉදිරිපත් කොට සිරගත කළ බව ද කියති. එයට එකල හමුදාවේ කීවේ ගල් පල්ලි යවනවා කියාය.

සැබෑ විරුෙවා් සහ ෙබාරු විරුෙවා්

ඒ කාලයේ හමුදාවේ ප්‍රචලිත වූ කියමනක් නම් 'ඉස්සරහට ගියොත් ජොනී පස්සට ආවොත් ෆොනි' යන්නයි. ‘ඉස්සරහට ගියොත් ජොනී’ කිවේ ජොනී බට්ටන්ට අහුවෙන එකටය. ‘පස්සට ආවොත් ෆොනී’ කීවේ සරත් ෆොන්සේකාට අහුවෙන එකටය. ජොනී බට්ටන් ගැන නොසිතා අභීත රණවිරුවන් ඉදිරියට ගියද තවත් පිරිසක් ඉදිරියට ගියේ පස්සෙහි එන ෆොනී අනතුරු වඩා බරපතළ නිසාය. යුද්ධයේ ඇත්ත කතාව ඒකය.

කෙසේ වෙතත් කුමන තත්ත්වයක් යටතේ වුවත් යුද්ධයට සම්බන්ධ වූ හා සටනේ සිටි හමුදා භටයන්ට රණවිරුවන්සේ සැලකීම යහපත් ක්‍රියාවකි. එය එසේ විය යුත්තේ තවත් විටෙක තවත් පිරිසක් රට වෙනුවෙන් ඉදිරියට පැමිණීම දිරි ගන්වන්නටය. එසේ නැතිව දේශපාලන වශයෙන් වාසි ලබන්නට නොවේ.

අනෙක් අතට තේරුම් ගත යුතු වන්නේ හමුදාවේ සිටි පමණින් හා බුද්ධි අංශවල සිටි පමණින් සියලු දෙනා විරුවන් නොවන බවයි. විශේෂයෙන්ම වෙනස් කරගත යුත්තේ හමුදාවේ නම හා නිල ඇඳුම භාවිත කරමින් අපරාධ ක්‍රියාවල යෙදුණු පිරිසයි. එම පිරිසට රණවිරුවන් කීම සැබෑ රණවිරුවන්ටද කරන නිගාවකි.

දැන් හෙළිදරව් වී ඇති තත්ත්වය නම් සැබෑ රණවිරුන් උතුරු නැගෙනහිර සටන්බිමේ දරුණු සටන්වල යෙදී සිටියදී හමුදා අංශවල තවත් පිරිසක් විවිධ අපචාරවල හා අපරාධවල යෙදී තිබීමයි. පුද්ගලයන්, පියවරුන් හා දරුවන් පැහැරගෙන කප්පම් ගත් කල්ලි පිළිබඳවද හෙළිදරව් වී ඇත. එමෙන්ම දේශපාලනඥයන්ගේ වුවමනා එපාකම් අනුව විවිධ අපරාධවල යෙදුණු කල්ලි ගැන ද හෙළිදරව් වී ඇත. ඇතැමුන් අපරාධ කළේ තමනගේ වුවමනාවටය. තවත් පිරිසක් කළේ දේශපාලනඥයන්ගේ හෝ බලවතුන්ගේ හෝ වුමනාවටය. දැන් අප තේරුම්ගත යුත්තේ මේ පිරිස රණවිරුවන්ගේ වර්ගයට අයත් නොවන බවය. මේ දෙවනුව කී පිරිස වැටෙන්නේ මිනීමරුවන්ගේ වර්ගයටය.

රටකට සැබැවින්ම හොඳින් ආරක්ෂාව සැලසිය හැකි වන්නේ එරට හමුදාව ඉතා හොඳින් විනයගත වූ විට බව ලෝකයේ පිළිගැනීමයි. හමුදාව විනය ගත නොවූ විට මහජන සහාය නොලැබීමෙන් අවසානයේ පරාජයට පත්විය හැකිය. ඒ නිසාම හමුදාවක විනය පවත්වාගෙන යාමට දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව පිළිගත් තත්ත්වයයි. හමුදා පොලිසි ක්‍රියාත්මක වන්නේ හා යුද්ධාධිකරණ ඇතිකර තිබෙන්නේ ද ඒ සඳහාය.

හමුදාවක විනය ඉතා වැදගත් වන්නේ ඔවුන් අත අවි තිබෙන නිසා මෙන්ම නිල ඇඳුමේ නැතහොත් නිල බලයේ ආරක්ෂාව ද තිබෙන නිසාය. එම නිසාම එබඳු පිරිසකගේ විනය පවත්වාගැනීම රටකට ඉතා වැදගත්ය. නැතහොත් සිදුවන්නේ භීෂණ තත්ත්වයක් ඇතිවීම විය හැකිය.

ප්‍රකට පොලිස් නිලධාරියකුව සිටි වාස් ගුණවර්ධන අපරාධ සිදුකළ බව ඔප්පු වී ඇත. ඔහුද යුද සමයේ සැලකිය යුතු කාර්යභාරයක් කළ අයෙකි. එසේ වුවද ඔහු කළ අපරාධවලට දඬුවම් ලබන්නට දැන් සිදු වී ඇත. ඒ සියල්ල කළේ රජයෙන් දුන් අවිවලින් හා නිලයෙන් තිබූ ආරක්ෂාව නිසාය. එම නිසාම මෙබඳු පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යය.

කීත් නොයාර් පැහැරගෙනගොස් පහරදීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, උපාලි තෙන්නකෝන් මරා දැමීමට තැත්කිරීම, පෝද්දල ජයන්ත පැහැරගෙන පහරදීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම ආදී අපරාධ සිදුකළ කල්ලි මේ රටේ හමුදාවට සබඳකම් තිබූ පමණක් ඔවුන් රණ විරුවන් වන්නේ නැත. මොවුන් නම් දේශපාලනඥයන් හා බලවතුන් විසින් මෙහෙයවන ලද මිනීමරු කණ්ඩායම් ය. ඔවුන් කළේ නීත්‍යානුකූල රාජකාරී නොවේ. එමෙන්ම යුද්ධයට අවශ්‍ය සේවා ද නොවේ. ඔවුන් කළේ යුද්ධය තුළින් හොද්ද බොරකරගත් පිරිසක් වෙනුවෙන් විවිධ අපරාධවල යෙදීමයි. දැන් එළියට ඇදෙන්නේ පසුගිය කාලයේ යටපත්ව තුබූ එම අපරාධවල සුල මුලයි. මේ අත්අඩංගුවට පත් වන්නේ ඒ අපරාධවල යෙදුණු පිරිසයි.

ඒකාබද්ධයේ බියට හේතුව

එක අතකට ඒකාබද්ධ විපක්ෂය බිය වී ඇත්තේ මේ එළියට එන කුණු කන්දල්වලට අපරාධවලට සැබෑ වගකිව යුත්තන් සිටින්නේ ඔවුන් අතර වීම නිසා විය හැකිය. මේ හෙළිදරව් වන්නේ ඔවුන්ගේ පාලන කාලයේ රාජ්‍ය බලය හා දේශපාලන බලය යොදා කළ අපරාධයි. රණවිරු ඝෝෂාව දාන්නේ ඒ අපරාධ එළියට එන එක වළකා ඒවා යට ගහන්න දරන උත්සාහයක් වශයෙනි.

මේ අත්අඩංගුවට පත්වන පිරිස ඇත්ත වශයෙන්ම කාගේ හෝ අතකොලු බවට පත් වූ පිරිසකි. ඇත්ත අපරාධකරුවන් සිටින්නේ තිරය පිටුපසය. ඔවුන් එළියට ගැනීමට හැකිවේ දැයි කිව නොහැකිය. එසේ කළ නොහැකි වුවහොත් එය ද අපරාධයකි. එසේ වුවද මෙලෙස අපරාධ කළ පිරිසටද දඬුවම් හිමිවිය යුතුය. එසේ කළ යුතු වන්නේ තවත් පාලකයකුට හෝ බලවතෙකුට හෝ මෙබඳු පිරිසක් ගොඩනඟා ගැනීමට තිබෙන ඉඩකඩ අහෝසි කරන්නටය. ඒකාබද්ධ විපක්ෂයේ උදවිය රණවිරුවන් දඩයම් කරනවා කියමින් ගිරිය පුප්පා කෑගසන්නේ මේ මිනීමරුවන් පිටුපස සිටි ගෝඩ් ෆාදර්ලා රැක ගන්නටය. ඔවුන්ගේ අපරාධ හෙළිවීම වළක්වන්නටය. දේශපාලන වශයෙන් තවත් නිරුවත්වීමෙන් හා බංකොළොත් වීමෙන් ගොඩ යන්නට උත්සාහයක් වශයෙනි. එසේ වුවද එම උත්සාහයෙන් සිදුවන්නේ මේ මිනීමරුවන්ගේ අප්පච්චිලා හා බාප්පොච්චිලා කවුදැයි රටට තව තවත් හෙළිදරව් වීමයි. මේ රටේ ජනතාවට මේ කතාන්දරය දැන් හොඳට තේරෙනවාය. රටේ ජනතාව ඉල්ලුවේ මේ අපරාධකරයෝ සොයා දඬුවම් කරන්නටය. යහපාලනය හදාගත්තේ ඒකටය. එම ජනයා ආපසු නොහැරෙනු ඇත.

සී. ජේ. අමරතුංග

නව අදහස දක්වන්න