කවියට ආදරේ නම් කවුරුත් නොමඟ යන්නේ නෑ | දිනමිණ

කවියට ආදරේ නම් කවුරුත් නොමඟ යන්නේ නෑ

උදිත ගුණවර්ධන
මුදු රේඛා

කුමුදුනී රේණුකා වීරකෝන්, කවි කලාවට උපන් හපන්කම් ඇත්තියකි. ඇය නව මාධ්‍ය ඔස්සේ වඩාත් ජනාදරයට පත්වන අතර, ඉසිරි මියෙළන්දී ඇයගේ පළමු කවි පොතයි. එම කාව්‍ය සංග්‍රහය මේ මස 25 වැනි දා සවස ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ. මේ කවි පොත ගැන කුමුදුනී රේණුකා වීරකෝන් හෙවත් මුදු රේඛා සමඟ කළ සංවාදයකි.

මේ කවි පොත තුළ විවිධ ඉසව් ගැන කියැවෙන කවි රැසක් ඇතුළත්. මේ ගැන හඳුන්වා දීමක් කළ කළ හැකිද?

නිදහස් කවි සහ සඳැස් කවි යන දෙඅංශයේ ම කවි මේ කවි පොතට ඇතුළත්. ඒ වගේම සමාජයේ විවිධ මාතෘකා මෙන් ම, ප්‍රේමය වැනි සංවේදී දේ ගැනත් කාව්‍යාත්මකව කතා කරනවා. මා කුඩා කාලයේ ඉඳලා කවියට ආදරෙයි. මට පුළුවන් වෙලා තියෙනවා කිවිඳියක් විදිහට ආත්ම තෘප්තියක් ලබන්න.

අද කවියට මාධ්‍ය මඟින් දෙන අත හිත ගැන ඔබට ඇත්තේ මොන වගේ අදහසක්ද?

අද මුහුණු පොත වැනි නව මධ්‍ය තුළ කවියට විශාල ඉඩක් විවර වෙලා තියෙනවා. ඇත්තෙන්ම මුහුණු පොතින් බිහි වූ නවක කවී‍න් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපට නොදැනුනාට මුහුණු පොත වැනි සමාජ මාධ්‍ය තුළ ලොකු සමාජ බලපෑමක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. මෙය කවියටත් අදාළයි. එදා ගුවන්විදුලියෙන්, පුවත්පතින් කවියට විශාල තැනක් ලැබුණා. අද ඒ තත්ත්වය යම් ප්‍රමාණයකට වෙනස් වෙලා තියෙනවා. ඒත්, මාධ්‍ය යම් දායකත්වයක් ලබා දෙනවා.

කවියට එදා තිබුණ ජනප්‍රියත්වය අද යම් සේදී යාමකට ලක් වෙලාද?

නැහැ. කිසිසේත්ම නැහැ. එදා තිබූ තැනින් බැහැරව වුණත්, කවිය යම් ස්ථාවර තැනක තියෙනවා. කවියට සමාජයේ උනන්දුවක් තියෙනවා . කවියට ආදරය කරනවා නම්, කවිය අගය කරනවා නම් , කවිකම හිත තුළ තියෙනවා නම්, ඒ කෙනා නොමඟ යන්නේ නැහැ. කවිය කියන්නේ ජීවිතයට හොඳ පන්නරයක්, අත්දැකීමක් ගෙන දෙන්නක්. අද මම ජීවිතයේ යම් සුන්දරත්වයක් දකිනවා නම් එයට මූලික වෙලා තියෙන්නේ, කවිකමයි.

ඔබ කාර්යබහුල තැනැත්තියක්. ඔබට කවිය පබදින්නට, කලාවට වෙලාවක් ලැබෙනවාද?

වෙලාව කියන්නේ නිකම් ලැබෙන දෙයක් නෙමෙයි. සොයාගත යුතු දෙයක්. මම කාර්යබහුලත්වය අතර කොහොම හරි කවියක් ලියන්න උත්සාහ කරනවා. ඒ විදිහට තමයි කවිය නිර්මාණය වෙන්නේ.

ඔබ කවි පොතක් නිර්මාණය කරන්න හිතුවේ ඇයි.?

මම නිතරම වගේ කවි ලියනවා . ඒවා මුහුණු පොතේ තමයි පළ කරන්නේ. මේ විදිහට දිගටම ලියද්දි මට හිතුණා, අන්තර් ජාලයට මුදා හැරිය පමණින් මගේ කවි ජිවිතයට වැඩක් වෙන්නේ නැහැ, දීර්ඝ කාලීනව පවතින දෙයක් කරන්න ඕනෑ කියලා. එහෙම හිතලා තමයි මේ පොත පළ කළේ. මගේ අනාගත බලාපොරොත්තුව තමයි, තව දුරටත් කවි ලෝකයේ ඉදිරියට යාම. ඒ සඳහා ,මම මගේ රසික රසිකාවියන්ගේ ආදරය සහ ශක්තිය බලාපොරොත්තු වෙනවා.

ඡායාරූපය-නිලන්තී සේනාධීර

නව අදහස දක්වන්න