විදෙස් ආයෝජකයන්ගේ උදවුවෙන් දේශීය ආයෝජකයන් දියුණු කරනවා | දිනමිණ

විදෙස් ආයෝජකයන්ගේ උදවුවෙන් දේශීය ආයෝජකයන් දියුණු කරනවා

යහපාලන රජය යටතේ ඇති වන විශාල දියුණුව සමඟින් මෙහි පැමිණෙන මහාපරිමාණ විදේශ ආයෝජකයන් සමඟ එක්ව දේශීය ආයෝජකයන් ද දියුණු තලයකට ගෙන ඒම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය .

විදේශ තාක්ෂණ දැනුම ලබාගැනීමෙන් පසුව අපේ ව්‍යාපාරිකයන්ට ද විදෙස් වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමට අවස්ථාව ලැබෙන බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා රටේ දියුණුව ඇති කිරීම සඳහා අපේ මුදල් පමණක් ප්‍රමාණවත් නොවන හෙයින් ආයෝජකයන් ගෙන්වා රට දියුණු කිරීමේ වැඩ පිළිවෙළක් දියත් කර ඇති බවද පැවසීය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ආයෝජනය කිරීමට දැනටමත් ලෝකප්‍රසිද්ධ ආයෝජකයකු වන එම්.ඒ.එස් ආයතනය ඉදිරිපත් වී ඇති බවද කීය .

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පසුගිය 19 වැනි දින අලව්ව, ග්‍රීන්ලේස් හෝටලයේ පැවැති කෑගල්ල දිස්ත්‍රික් ව්‍යවසායකයන්ගේ වර්ණ ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.

එහිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මම නම් කෑගල්ල දුප්පත් දිස්ත්‍රික්කයක් ලෙස පිළිගන්න කැමැති නැහැ. කෑගල්ලේ පොහොසත් කම දන්න අය බැරැන්ඩි කෝවිල ළඟ නිදන් හාරලා අද විපාක විදිනවා. සීතාවක රජ කාලේ මානියම්ගම තිබුණේ මේ කෑගල්ලේ. ඒ දේවාලයට මායාදුන්නේ රජු සහ, රාජසිංහ රජු වැඳපුදා ගැනීමට ගියා. රජ උයන තිබුණේ රුවන්වැල්ලේ. රාජසිංහ රජ්ජුරුවන්ට උණකට්ටක් ඇණුනේත් එම ස්ථානයේ දීයි.

මුහුදු බඩ මාර්ග ඔස්සේ සිදු කළ වෙළෙදාම් කටයුතු තුන් කෝරලය සහ හතර කෝරලය හරහා සිදු වුණා. නුවර පාර සෑදීමෙන් අනතුරුව එහි වාසිය ලැබුණේ කෑගල්ලටයි. කෑගල්ලේ තිබෙන තවත් වැදගත් දෙයක් වන්නේ අධ්‍යාපනයයි. එනම් ඉපැරණි පාසල් වන සෙන්මේරිස් විද්‍යාලය, ඩඩ්ලි සේනානායක මහතා ආරම්භ කළ තෝලංගමුව මධ්‍යම මහා විද්‍යාලය කෑගල්ලේ පිහිටා තිබීමයි.

වාණිජ මණ්ඩලයෙන් සංවිධාන කළ මෙම උත්සවය ගැන ඔබ සියලූ දෙනාටම ප්‍රසංශා කරනවා. මෙවැනි උත්සවයක් සංවිධානය කිරීමටත් ශක්තියක් තිබිය යුතුයි. ඒ නිසා මේ අවස්ථාවේ දී අප ආරම්භ කිරීමට සැලසුම් කර ඇති වැඩසටහන් සමඟ ඔබට අපත් සමඟ එකට එකතුවෙලා දියුණුවීමට අවස්ථාව ලබාදීම අපේ අරමුණයි. සියලූ දෙනාම එකට එකතු වී රට දියුණු කළ යුතුයි.

ඒ අභියෝගය භාරගෙන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ජාතික ආණ්ඩුවක් ඇති කළා. අපි ආණ්ඩුව ඇති කළේ මේ රටේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමටත්, අපනයන මාර්ගයෙන් විදේශ විනිමය ලබා ගැනීමත් මගින් ජනතාවගේ අතට මුදල් ලබාදීමටයි. ඒ අභියෝගය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එම කාර්ය කිරීමට ප්‍රථමයෙන් අප සිරවී සිටින ණය උගුලෙන් ගොඩට ඒමට සිදුවි තිබෙනවා.

අපේ රටේ යුද්ධයෙන් පසුව රටේ සංවර්ධනය පදනම් වූයේ විදේශ ණය, වානිජ ණය හා වෙනත් ණය මතයි. 2015න් පසු අපේ ණය දෙගුණයක් බවට පත් වන බව අප දැන ගත්තා. ඒ හේතුව මත හිටපු ජනාධිපතිවරයා ඡන්දයකට අවතීරණ වුණා. ඡන්දයට ඉදිරිපත්වීමේ දී මේ රටේ ආර්ථිකය පහතවැටීම පිළිබඳ වැටහී සාමය, එකමුතුව ඇති කරමින් ප්‍රධාන පක්ෂ දෙක එකට එකතුවී පොදු අපේක්ෂක ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත්, අපත් එකට කටයුතු කිරීමට එළඹුණා. මෛත්‍රිපාල සිරිසේන මහතා දිවුරුම් දීමෙන් අනතුරුව මේ රටේ විවිධ ජනතාව එකතු කරගෙන එක්සත් වී අපේ ජනතාව අතර පවතින ජනවාර්ගික ජාතිවාදී, ආගම්වාදී භේද අවසන් කිරීමට ක්‍රියා කළා.

ඒ වගේම අප 2016 ගත කළේ මේ රටේ තිබුණ ණය බර විසදා ගැනීමටයි. සීමාවක් නොමැතිව ණය ලබාගැනීම නිසා දැන් මේ වන විට ණය ගෙවීමේ කාලය ආරම්භ වී තිබෙනවා. මෙසේ ණය ගෙවීම පමණක් සිදු කළහොත් වෙනත් කිසිදු දෙයක් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එසේ ණය පමණක් ගෙවා සිටිය නොහැකියි. අපට 2017 සිට අවුරුදු 10කට වැඩියෙන් ණය ගෙවීමට සිදුව තිබෙනවා. එහි විදේශ ණය පමණක් අමෙරිකන් ඩොලර් කෝටි 3119ක් ගෙවීමට සිදුව තිබෙනවා. රුපියල්වලින් පැවසුවහොත් රුපියල් කෝටි හාර ලක්ෂ අසූ දෙදහස් නවසිය හතළිහක් අපට ගෙවීමට සිදුව තිබෙනවා. මෙය ලෙහෙසි පහසු වැඩකටයුත්තක් නොවේ.

අපට ග්‍රීසිය වගේ ආර්ථිකයෙන් පහත වැටීමට නොහැකියි. එබැවින් අපට ඇති අභියෝගය වන්නේ එම ණය පාලනය කර රට ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි පිළිබඳව සැලසුම් කිරීමටයි.

රජයෙන් ණය ලබාගෙන මෙය තවදුරටත් දියුණු කළ නොහැකියි. තරුණ තරුණියන්ගේ ජීවන ආදායම ඉහළ දැමිය යුතුයි. මේ රටේ ආයෝජනය පදනම් කර ගෙන විදේශ විනිමය උපයන භාණ්ඩ නිෂ්පාදනය කිරීමට, කෘෂි භෝග වගා කිරීමට, අගය වැඩි කිරීමට, සේවා ලබාදීමට සහ සංචාරක ව්‍යාපාර දියුණු කිරීමට කටයුතු කිරීම මගින් ජනතාවගේ අතේ ඇති මුදල් වැඩිකිරීමට අපි කටයුතු කළ යුතුයි. එසේම ණය ගෙවීමට ද අපට මුදල් එකතු කිරීමට සිදුව තිබෙනවා. ණය ගෙවීම සඳහා මේ අවුරුද්ද වගේම ඊළඟ අවුරුදු කිහිපයේදීත් අපට ණය ලබාගැනීමට සිදුව තිබෙනවා.

එසේම සංවර්ධනය සිදු කිරීමටත්, යුරෝපයේ සිට ජපානය දක්වා විශාල වෙළෙඳපොළ සොයා යා යුතුයි. අපේ අපනයනවලට ලෝකයේ සංචාරකයන් ගෙන්වා ගැනීම මගින් අපේ රටේ විශාල දියුණුවක් ඇති කළ හැකියි.

බස්නාහිර පළාත පමණක් නොවේ හම්බන්තොට දියුණු කිරීම සඳහා 2017 දී අප හම්බන්තොට වරාය සහ හම්බන්තොට ගුවන් තොටුපොළ ණය ගෙවීමට සිදු වනවා. එම ණය ගෙවීම විශාල ගැටලූවක් නිසා මේ අවස්ථාවේ දී අපි කෝටි 130ක ණයක් ගෙවීමට තිබුණත් චීනයේ චයිනා මර්චන්ට් සමාගමත් වරාය අධිකාරියත් එකට එකතු වී ඒකාබද්ධ ව්‍යාපාරයක් ආරම්භ කර කෝටි 110ක මුදලක් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. එම නිසා අපට ගෙවීමට ඉතිරි වන්නේ ඩොලර් කෝටි 20ක් පමණයි. එසේ වුවහොත් එය අපට දරා ගත හැකියි. ඒ සමඟම විශාල දියුණුවක් ද ඇති කළ හැකියි. මත්තල ගුවන් තොටුපොළ හරහා වසරකට මගීන් ලක්ෂක 10ක් රටට ගෙන්වා ගැනීම අපේ අරමුණයි. වසර පහක් ඇතුළත එම අරමුණ ඉටු කර ගැනීමට බලාපොරොත්තු වනවා.

මුළු හම්බන්තොටම සම්පූර්ණම කර්මාන්ත කලාපයක් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. තෙල් පිරිපහදු, එල්.එන්.ජී. විදුලිබලාගාර, නැව් තටාකාංගන, සිමෙන්ති කර්මාන්ත ශාලා එහි ඉදිකිරීම් සඳහා ආයෝජකයන් ඉදිරිපත් වී තිබෙනවා. මුල් වසර කිහිපයේ දී කර්මාන්ත ශාලා 300ක් ඉදිකරනවා. ඒ දකුණේ දියුණුවයි.

බස්නාහිර පළාත, වයඹ, නැ‍ෙඟෙනහිර පළාත්වල විශාල දියුණුවක් ඇති වෙනවා. මහනුවර නගරය දියුණු කිරීම සඳහා ජපන් රජයේ ආධාර ලැබී තිබෙනවා. මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් විශාල සංස්කෘතික මධ්‍ය ස්ථානයක් ඇති කිරීම අපේ අරමුණයි. බෝගම්බර මුල්කර ගනිමින් එම මධ්‍යස්ථානය ඇති කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන්නේ එහි විශාල දියුණුවක් ඇති කිරීමටයි. ඒවෙනුවෙන් අප මූලික වැඩ කොටස් තුනක් හඳුනාගෙන තිබෙනවා. පළමුවැන්න බිංගිරියේ අක්කර 800ක වෙළෙඳ කලාපයයි. එමෙන්ම ඉරණවිල අක්කර 500ක සංචාරක කලාපය මෙන්ම පොල්ගහවෙළ අක්කර 300ක වෙළෙඳ කලාපය හැදින්විය හැකියි.

මෙම ප්‍රදේශය ආශ්‍රිතව එක් පැත්තකින් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයත්, අනෙක් පැත්තෙන් අධිවේගී මාර්ගයත් පිහිටා තිබෙනවා. පැයක් ගතවීමට මත්තෙන් මෙහි සිට කෑගල්ලට පැමිණීමට හැකියාව තිබෙනවා. එම තත්ත්වය යටතේ කර්මාන්ත පමණක් නොව සංචාරක ව්‍යාපාරයත් දියුණු කළ හැකියි. මෙහි තොරතුරු තාක්ෂණ ආයතනයක් ද ආරම්භ කිරීමට ප්‍රදේශයේ අමාත්‍යවරුන් සූදානමින් සිටී.

යහපාලන රජය යටතේ ඇති වන විශාල දියුණුවෙන් මහාපරිමාණ විදේශ ආයෝජකයන් ද මෙහි පැමිණීමට නියමිතයි. ඒ අතරම අප දේශීය ආයෝජකයන් ද දියුණුවට පත් කළ යුතුයි. විදේශ ආයෝජකයන් සමඟ එක්ව දේශීය ආයෝජකයන් ද දියුණු තලයකට ගෙන ඒම අපගේ අරමුණයි. ඇතැම් අවස්ථාවල දී විදේශ තාක්ෂණ දැනුම අත්‍යාවශ්‍යයි. එම තාක්ෂණය ලබාගත් පසුව අපේ ව්‍යාපාරිකයන්ට එම වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමට අවස්ථාව ලැබෙනවා. ඇඟලුම් ක්ෂේත්‍රයේ දී අප කළේ එයයි.

මෙම දියුණුව ඇති කිරීම සඳහා අපේ මුදල් පමණක් ප්‍රමාණවත් නැහැ. අපේ සම්පූර්ණ වැඩපිළිවෙළ ඇත්තේ ආයෝජකයන් මගින් රට දියුණු කිරීමටයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ දැනටමත් ලෝකප්‍රසිද්ධ ආයෝජකයකු සිටිනවා. එම්.ඒ.එස් ආයතනයයි. තම වෙළෙඳපොළ හඳුනාගෙන එතැනට නිෂ්පාදන යැවිය යුතුයි. මේ ප්‍රදේශය දියුණු කරන අතර, රුවන්වැල්ල, දෙහිඕවිට, අවිස්සාවේල්ල, කළුතර දියුණුවත් සම්බන්ධ කිරීම අපේ අරමුණයි. මේ ව්‍යාපාරිකයන් දියුණු කිරීම සම්බන්ධයෙන් මා කබීර් හෂීම් ඇමැතිතුමා සමඟත් සාකච්ඡා කර තිබෙනවා. මෙහි එක් අත්හදාබැලීමේ ව්‍යාපාරයක් ආරම්භ කර එය කුලියාපිටිය සහ හලාවතට ගෙනයාමට අප අදහස් කළා.

ඒ කෑගල්ලේ ව්‍යාපාරිකයන්ට සේවා ලබාදෙන කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමටයි. මහා පරිමාණ ව්‍යාපාරිකයන්, විදේශීය ව්‍යාපාරිකයන් මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් ඊට එකතු කර ගත යුතුයි. එහි නායකත්වය කෑගල්ලේ වානිජ මණ්ඩලය භාර ගන්න. දියුණුවීම සඳහා සියලූ දෙනාම එකතු කර ගන්න. කෑගල්ල දිස්ත්‍රික්කයේ තිබෙන බැංකු ද ඊට එක්කර ගත යුතුයි. මේ සඳහා සම්බන්ධ වෙන්නැයි අප බැංකුවලට නියෝග ලබා දෙන්නම්. එමෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අදාළ නිලධාරීන්, සෙසු නිලධාරීන් එකතු කර ගන්න.

ව්‍යවසායකයන්ට අපනයන වෙළෙඳපොළ සොයාගැනීම සඳහා උපකාර ලබා දෙන්නම්. ඔබ සමඟ වාඩිවී මෙම ව්‍යාපෘතිය සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස මා ඇමැතිතුමාට දැනුම් දුන්නා. මේ අයුරින් අප වැඩකටයුතු කරගෙන යමු. මේ ව්‍යාපෘතිය මෙන්ම කුලියාපිටිය, කුරූණෑගල, හලාවත ව්‍යාපෘති සියල්ලම වයඹ සංවර්ධන අමාත්‍ය නාවින්න ඇමැතිතුමාට භාරදී ඉදිරියට ගෙන යාමට තීරණය කරනවා.

අද මෙහි රැස්වී සිටින සියලූම දෙනා ව්‍යාපාරිකයෝයි. ඇතැමුන් පාර්ලිමේන්තුවටත් තේරී පත්වී සිටිනවා. ඔවුන් ව්‍යාපාර ගැන හොඳින්ම දන්නවා. චම්පිකා ප්‍රේමදාස, කබීර් හෂීම්, රංජිත් සියඹලාපිටිය, ආදී සියලූම දෙනා ව්‍යාපාර ගැන හොඳින් දන්නවා. ඒ දැනුමෙන් ව්‍යාපාරිකයන් ප්‍රයෝජනය ගන්න.

දියුණුව ඉදිරියට ගෙන යෑම ඔබේ වගකීමයි. පොඩි මිනිහාට අතදීම සඳහා අප ස්වශක්ති ව්‍යාපාරය පටන් ගෙන තිබෙනවා. අලූතින් ව්‍යාපාරයට පැමිණෙන අය මෙන්ම ව්‍යාපාර අරඹා ශීඝ්‍රයෙන් දියුණුවීමට කැමැති අයට අතදීම සඳහා මේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. අද බොහෝ සෙයින් ව්‍යාපාර අවස්ථා තිබෙනවා. ලෝකය සමඟ එක්වී ඉදිරියට යා යුතුව තිබෙනවා. පසුගිය වසර 10 දී අපගේ තරගකාරීත්වය පිරිහුණා. දැන් ඔබ යහපාලන රජය යටතේ බය නැතිව ඉදිරියට යන්න. ලෝක වෙළෙඳපොළ අල්ලා ගන්න.

එවිට කෑගල්ලේ පොහොසත් ජනතාව බිහිවේවි. මා එකක් කියන්නම් විශාල ගොඩනැඟිලි ඉදිකර ප්‍රදේශයේ අලංකාරත්වය නම් නැති කර ගන්න එපා. තට්ටු නිවාසවලත් සීමාවක් තියා ගන්න. අප කඳුකරයේ අලංකාරත්වය ආරක්ෂා කර ගත යුතුයි. මහනුවර, කුරුණෑගල, මීරිගම මෙන්ම කටුනායක සමඟ එක්වී කෑගල්ලට විශාල වෙළෙඳ මධ්‍ය ස්ථානයක් බවට පත්වීමේ හැකියාව තිබෙනවා. ඒ වගකීම අභියෝගය ඔබ භාරගන්න. එම නිසා අප සමඟ මේ ගමන යාමට ජාතික ආණ්ඩුවට එකතු වෙන්න. අපගේ ගමන නිසා මේ ප්‍රදේශයට, දිස්ත්‍රික්කයට, රටට සෙතක් කරමු. ඔබ සියලූ දෙනා සමඟම කටයුතු කිරීමට අප සූදානම්.

මේ අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හෂීම්, නියෝජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස , කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් ඇතුළු විශාල පිරිසක් හභාගි වූහ.

ශිරෝමි අබයසිංහ සහ බුලත්කොහුපිටිය සමූහ
ජායාරූප- අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය 

නව අදහස දක්වන්න