ධම්මාලෝක අනුනාහිමි ධර්ම මන්දිරය විවෘත ‍වෙයි | දිනමිණ

ධම්මාලෝක අනුනාහිමි ධර්ම මන්දිරය විවෘත ‍වෙයි

දෙමහල් ධර්ම මන්දිරය

ඇල්පිටිය, අමුගොඩ, ජයසුමනාරාම පුරාණ මහා විහාරයේ ඉදිකරන ලද ,සොක් ඉන් වොන් මහ නාහිමි සහ තලල්ලේ ධම්මාලෝක අනුනාහිමි ධර්ම මන්දිරය, සහ දෙමහල් ධර්ම ශාලා මන්දිරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පෙරේදා (20) පස්වරුවේ විවෘත කෙරිණි.

අමුගොඩ, ජයසුමනාරාම පුරාණ මහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව විහාරාධිපති අමරපුර සිරි සද්ධමවංස මහා නිකායේ, එක්නැළිගොඩ පාර්ශ්වයේ අනුනායක මහෝපාධ්‍යාය ආචාර්ය අමුගොඩ සෝමරතන අනුනායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසීය.

ඉන් අනතුරුව අභිනව ධර්ම මන්දිරය සහ දෙමහල් ධර්ම ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක් විය.

විහාරයේ සීමාමාලකය ඉදිකිරීම සඳහා ධන පරිත්‍යාගය සිදු කළ තායිලන්තයේ කාස්ටර් ප්‍රමෝබ් නාවූ බෝල් මහතා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති කල්‍යාණිවංස මහා නිකායේ මහානායක, මහෝපාධ්‍යාය අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහ නා හිමිපාණන් වහන්සේ, එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ මහානායක මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කුරුවිට සිරි සරණංකාරභිධාන මහානායක හිමිපාණන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, කොරියාවේ යක්ෂ ෂා මහා විහාරයේ බෞද්ධ බුද්ධ නිකායේ මහානායක ආචාර්ය මියොන් ඉන් මහ නාහිමි ඇතුළු දකුණු කොරියාව, තායිලන්තය ආදි විදේශ රටවල බෞද්ධ දූත පිරිසක් ද, ඇමැතිවරුන් වන ගයන්ත කරුණාතිලක, දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා, හිටපු ඇමැති පියසේන ගමගේ, ගුණරත්න වීරකෝන්, ඛෙන්තර-ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක සහ ජයසුමනාරාම දායක සභාවේ සභාපති අමිල කර්ෂණ කාරියවසම් මහතා ඇතුළු දායක සභාව සහ ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න