දුම්රියෙන් වැටුණු ගමන් මල්ල ජී.එස්.පී. තාක්ෂණයෙන් සොයාගනී | දිනමිණ

දුම්රියෙන් වැටුණු ගමන් මල්ල ජී.එස්.පී. තාක්ෂණයෙන් සොයාගනී

දකුණු පළාත් සංචාරක එස්.දියගහගේ

ගාල්ල පොලිස් ‘සොකෝ’ වැඩක් අයිති විදේශිකයාටම බාරදීලා

කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රීඝ්‍රගාමී දුම්රියකින් බිමට වැටුණු විදේශික යුවළකට අයත් ගමන්මල්ලක් ජී එස් පී තාක්ෂණය ඔස්සේ සොයා ගත් ගාල්ල කොටිඨාස අපරාධ පරික්ෂණාගායේ නිලධාරින් එම ගමන්මල්ල අදාළ විදේශික යුවළ වෙත භාරදී තිබේ.

අමෙරිකානු ජාතික තරුණයකු තම පෙම්වතිය සමඟ ගාල්ලට පැමිණිමට කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකට නැග ඇත .හික්කඩුව දුම්රියපොළ පසු කරන විට එක්වරම මෙම යුවළගේ ගමන් මල්ල දුම්රියෙන් බිමට වැටී ඇත.

ඉන් අනතුරුව ගාල්ලේදී දුම්රියෙන් බැසගත් විදේශීය යුවළ ගාල්ල දුම්රිය ස්ථානාධිපතිවරයා හමුවී මේ පිළිබද පැවසූ විට ගාල්ල පොලිසියට පැමිණිලි කරන ලෙස දුම්රිය ස්ථානාධිපතිවරයා උපදෙස්දී ඇත. ඒ අනුව විදේශීය යුවළ ගාල්ල පොලිසිය වෙත මේ පිළිබද පැමැණිලි කර තිබේ.ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ගාල්ල කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ජගත් ප්‍රියන්ත ප්‍රධාන පොලිස් පරික්ෂිකා රුවනි ගුරුසිංහ විවිධ පැමිණිලි අංශයේ පොලිස් පරීක්ෂිකා චම්පිතා අලගියවන්න යන නිලධාරින් කණ්ඩායම ප්‍රථමයෙන් ගමන් මල්ලේ තිබු ජංගම දුරකතනයට ඇමතුමක් ගෙන තිබේ.

එවිට ජී පි එස් තාක්ෂණය ඔස්සේ ජංගම දුරකතනය වැටි ඇති තැන හදුනා ගත් පොලිස් නිලධාරීන් දොඩන්දුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අයිනේ වැටි තිබූ ගමන්මල්ල සොයා ගෙන ඇත.

කෙනෙකුට පහසුවෙන් ළගා විය නොහැකි කාණුවකට ගමන්මල්ල වැටී තිබීම නිසා එය කිසිවකුගේ නෙත ගැටි නැත. පසුව ගාල්ල පොලිසියේ අපරාධ පරීක්ෂණාගාරය වෙත කැදවු පොලිස් නිලධාරීන් මේ ගමන්මල්ල එම යුවළ වෙත භාරදී තිබේ. ඔවුන් සතු සියලු වැදගත් ලිපි ලේඛන සහිත ගමන්මල්ල සොයා දුන් පොලිස් නිලධාරීන්ට එම යුවළ බෙහෙවින් ස්තුතිය පළ කර ඇත.

නව අදහස දක්වන්න