ශෂිකලාට මොකද වෙන්නෙ? | දිනමිණ

ශෂිකලාට මොකද වෙන්නෙ?

 

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිනිය වීමට ඇඟිලි ගනිමින් සිටි, හිටපු මහ ඇමැතිනී මියගිය ජේ.ජෙයලලිතාගේ සමීපතම මිතුරිය වන වී.කේ. ශෂිකලා නටරාජන්, සැක සහිත මුදල් ගනුදෙනු බැඳියාවේ ගැටුම් ජාලයක එතී සිටින බව ඉන්දියාවේ ප්‍රකට එන්.ඩී.ටී.වී.රූපවාහිනී සේවය කරන ලද විමර්ශනයකදී අනාවරණය වී තිබේ.

ශසිකලා හා ‍ජෙයලලිතා යන දෙදෙනාම මෙයට ඉහත දී දූෂණ චෝදනාවකට උසාවියෙහි වරදකරුවන් වී, පසුව නිදහස් වූ නමුදු, එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කරන ලද අභියාචන තීන්දුව ලබන සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ප්‍රකාශ වීමට නියමිත ය. වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම උසාවියේ ඇදී යන මේ නඩු නිසා, යහපත් කාන්තාවක් ලෙස ඇය ලැබිය යුතු ගෞරවයට කළු පැල්ලම් ගෑවී ඇත.

ශසිකලා මෙන් ම, ඇගේ සමීපතම හිතවතිය වන මියගිය ජෙයලලිතාත් දූෂණ චෝදනාවලින් අධිකරණයේදී වරදකාරියක් වුව ද, පසුව නිදහස ලැබූහ. එහෙත් එම නිදහස් කිරීමේ තීන්දුවට එරෙහිව කරනලද අභියාචනාවක තීන්දුව, ලබන සතියේ දී ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ප්‍රකාශයට පත් වීමට නියමිත ය.

මේ චෝදනා මඟින් ඇය මෙබඳු අපකීර්තියට පත්ව සිටින අවස්ථාවකදී පවා ඇගේ ව්‍යාපාරික අවශ්‍යතා ඉටුකර ගැනීම උදෙසා නොනවත්වා ක්‍රියා කරන බව විමර්ශනවලදී පැහැදිලි වේ. මෙහිදී හෙළිවන තවත් වැදගත් කරුණක් නම්, ඇය හා ‍ජෙයලලිතා විසින් මෙයට පෙර දූෂණ හා වැරැදි කරන ලදැයි චෝදනා ලැබූ වෙළෙඳ සමාගම් සමඟ, මේ සැක සහිත ගනුදෙනුවල නියැළෙන බව ය.

මෑතකදී , එනම් 2015 වසරේ ජනවාරි මාසයේදී ඉන්දියාවේ ප්‍රභල කර්මාන්තයක් වන සිනමාවෙහි, ප්‍රභල වාණිජ ආයතනයක් වන ජෑස් සිනමා පෞද්ගලික සමාගමේ ප්‍රධාන කොටස්කාරිය බවට පත්වූවා ය.

ඉන්දියානු දූෂ්‍ය මාධ්‍ය නියාමන අධිකාරියේ ලේඛන අනුව පැහැදිලි වන්නේ, ඇය සතු කොටස් ප්‍රමාණය ඉන්දියානු රුපියල් කෝටි 9.9ක් බව ය. ඇයගේ මේ ගනුදෙනු පසුව, ඇගේ ඥාතීන් විසින් පෙරදී පාලනය කරන ලද ජෑස් සිනමා ආයතනය, සසමි සිනමා සමාගමට අයත් සු‍ඛෝපභෝගී බහුවිධ සිනමා සංකීර්ණයක් වන ‘ලක්ෂරි මල්ටි පැක්ස්’ ආයතනය ද පාලනයට ගත්තේ ය.

මේ අතර මේ කාලය තුළදී සිදුවූ අතිශයින් වැදගත්ම කාරණය වන්නේ, ජෑස් සිනමා ආයතනය රුපියල් හය කෝටියක් වියදම් කිරීම ය. එම මුදල දී ඇත්තේ ජෙයලලිතාගේ දේශපාලන හස්තය වන සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්(ඒඅයිඒඩීඑම්කේ) පක්ෂයේ ප්‍රචාරක අංශය ලෙස සැලකෙන නම්මඩු එම්.ජී.ආර්.සමාගම ය.

මෙහි දී සැලකිය යුතු කරුණ වන්නේ, මේ ප්‍රචාරක ආයතනයට මුදල් යෙදවීම වංචනික ක්‍රියාවක් බව මේ කාන්තාවන් දෙදනාට එරෙහිව දූෂණ චෝදනා නඩුව විභාග කළ අධිකරණ තීන්දුවේ සඳහන් වීම ය. 2015 වසරේ දී ඇය කළ කටයුතු ඉන් අවසන් වූයේ නැත. ඇය, තම ජෑස් සිනමා සමාගම මඟින් ඇගේ පවුලට හිමි තවත් සමාගමක් වන මිඩාස් මත්පැන් නිෂ්පාදන සමාගමේ කොටස් 48%ක් හිමිකර ගත්තීය. මේ සමාගම තමිල්නාඩු රජයේ මත්පැන් බෙදාහරින යාන්ත්‍රණය වන ‘ටස්මැක්’ සමාගමට මත්පැන් සපයන ප්‍රධාන සැපැයුම්කාර සමාගම ය.

‘බැඳියාවේ ගැටුමක්’ යන තාක්ෂණික වචනයෙන් හඳුන්වන නිල බලය උපයෝගි කරන දූෂණයෙහි නියැළීමක් ලෙස මෙය හැඳින්විය හැකි බව නිරීක්ෂකයෝ කියති.

ඒ සමඟම සඳහන් කළ යුතු කරුණක් නම්, මිඩාස් සමාගමේ කොටස්වල අනෙක් සියයට 50 ඇගේ පවුලේ අයට හිමිව තිබීම ය. 2015 වසරේදී මේ සමාගම උපයා ඇති ලාභය රුපියල් කෝටි 1800 ඉක්මවා ඇත. මෙයට අමතරව තවත් ව්‍යාපාරික සමාගමක් වන ශ්‍රී ඡයා ෆිනෑන්සියල් ප්‍රයිවෙට් ලිමිටඩ් හි ඇය යාවජීව අධ්‍යක්ෂ ධුරයක් දරන්නීය.

අද්භූත සමාගමක සලකුණු ඇති එයට, කිසිදු ආදායමක් ලැබෙන බවක් නොපෙනෙන්නේ වුව ද, රුපියල් කෝටි 12ක කොටස් නිකුත්කර ඇත. මේ සමඟම එම සමාගමේ ප්‍රධාන ආයෝජකයන් වන්නේ, සැක සහිත මූල්‍ය මාර්ග ඇති බවට දැනටම අනාවරණයවී ඇති, ඡයා ප්‍රකාශන හා නාමිමඩු එම්.ජී.ආර්.නම් සමාගම් දෙක ය.

මේ පිළිබඳ ඇගේ දේශපාලන පක්ෂයෙන් විමසූ විට එහි ප්‍රකාශිකාවක් පවසා ඇත්තේ, මේ සමාගම්වල හිමිකාරීත්වය ශසිකලා දරන බව සත්‍යයක් වන නමුදු, තවමත් මහ ඇමැතිවරිය බවට පත්වී නැති බව ය. ඇය මහ ඇමැතිනිය බවට පත්වූ විට, මේ ව්‍යාපාරික කටයුතුවලින් ඉවත් වන බව ද පවසා ඇත. ඇයගෙන් යම් කිසි වැරැද්දක් සිදුවී ඇත්නම්, එය අධිකරණ තීන්දුවේ සඳහන් වන බව ද එම ප්‍රකාශිකාව පවසා තිබේ.

ගුණරත්න රාමනායක

නව අදහස දක්වන්න