සයිටම් සිසුන්ට සාධාරණය ඉටුවිය යුතුයි | දිනමිණ

සයිටම් සිසුන්ට සාධාරණය ඉටුවිය යුතුයි

සමන්මලී ප්‍රියශාන්ති

සියලු පාර්ශ්ව එක්ව වෛද්‍ය සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කර සයිටම් ආයතනයේ දරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කළ යුතු යැයි ලංකා සමසමාජ පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.

රාජ්‍ය විශ්වවිද්‍යාල දියුණු කරන අතර පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අවස්ථාව ලබා දීම රජයේ ප්‍රතිපත්තිය නම් එය නියමාකරයෙන් සිදු කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

උසස් අධ්‍යාපන අවස්ථා අවශ්‍ය කරන සුදුසුකම් සහිත දරුවන්ට රජය මඟින් නිදහස් අධ්‍යාපනය ලබා දිය යුතු බව අප පක්ෂයේ මතය වුවත් සයිටම් ගැටලුව විසඳා ගැනීමට හා එම දරුවන්ට සාධාරණයක් කිරීමට රජයට මේ අවස්ථාවේ දී සහාය ලබා දීමට සුදානම් බවද මහාචාර්යවරයා එම පක්ෂ මුලස්ථානයේ දී ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයකු ලෙස මේ රටේ රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට නම් වෛද්‍ය සභාවේ අනුමැතිය අවශ්‍ය වෙනවා. මේ රටේ රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම අනුමැතිය ලබා දීමේදී වෛද්‍ය සභාවට නීත්‍යානුකූල වගකීමක් තිබෙනවා. වෛද්‍ය සභාව මේ අනුමැතිය ලබා දෙන්නේ වෛද්‍ය පීඨයේ පුහුණුව නිසි ලෙස ලබා දෙන බවට තහවුරු වුයේ නම් පමණයි. රෝගීයාගේ නිසි සාත්තුව හා ආරක්ෂාව අපි සහතික කර ගන්නේ වෛද්‍ය සභාව හරහායි.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව යන්ත්‍රණයක් ගොඩ නඟා තිබෙනවා. ඒ අනුව සියලු විෂයන් සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර තිබුණා. මෙම කමිටුව නිකුත් කළ වාර්තාවට අනුව රෝහල් වාට්ටුවකින් ලබා දිය යුතු පුහුණුව සම්බන්ධයෙන් අංග කිහිපයක් ගැන නිසි පුහුණුවක් නොමැති බව දක්වා තිබෙනවා. රජය මැදිහත්ව එම පුහුණුව අවුරුද්දක් ඇතුළත ලබා දිය යුතු බවත් එම වාර්තාවේ දක්වා තිබෙනවා. වෛද්‍ය සභාව කටයුතු කරන්නේ එම වාර්තාවට අනුවයි. මෙය ක්‍රියාත්මක කරන්න අයිතිය තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාටයි. මේ සම්බන්ධයෙන් උසාවියට යෑමටත් සිදු වුණා. එහිදී ද නියෝග වුණේ මේ පුහුණුව ලබා දිය යුතු බවටයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් විධිමත් ලෙස ක්‍රියා කර සිසුන්ගේ අයිතිය තහවුරු කළ යුතුයි යැයි ද ඒමහතා කීය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...