කිරි නිපැයුමට අතහිත දෙන්න

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය අද වන විට විශාල පසු බැස්මකට ලක්වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු විසින් විවිධ කාල පරාසයන් තුළදී සිදු කරන ලද ප්‍රතිපත්ති වෙනස්කම් නිසාය. 1977න් පසු විශාල වශයෙන් කිරිපිටි ආනයනය කිරීමට කටයුතු කළ අතර ගෘහ ආශ්‍රිතව පැවති කිරි කර්මාන්තය බො‍හෝදුරට පිරිහී ගියේය.

ශ්‍රී ලංකාවේ කිරි අවශ්‍යතාවය ගණන් බලනු ලබන්නේ ඒක පුද්ගල පරිභෝජනය (විද්‍යානුකූලව) සමස්ත ජනගහණයෙන් වැඩි කිරීමෙන්ය. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇත්තේ දිනකට එක් පුද්ගලයෙකුගේ පරිභෝජනය මිලිලීටර් 200 ලෙසය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනය එය මිලිලීටර් 180 ලෙස නියම කර ඇත. එහෙත් දැනට ගණන් බලා ඇත්තේ දිනකට මිලිලීටර් 100 ලෙසය. එය නිවැරදි නොවේ.

වාර්ෂිකව ශ්‍රී ලංකාව නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය සඳහා වියදම් කරනු ලබන මුදල රුපියල් මිලියන 40000 ක් පමණ වේ. එහෙයින් ලංකාවේ කිරි වෙළෙඳ‍ෙපාළේ පවතින ඉල්ලුම ඒ අනුවද ගණනය කළ හැක. ලංකාවේ කිරි නිෂ්පාදනය වාර්ෂිකව කෝටි 4000 දක්වා වර්ධනය කිරීමට ඉඩ ඇත. සැපයුම වැඩි කිරීම තුළින් දැනට අධික ලෙස ඉල්ලුම වැඩි වී ඇති ඩොලරය සඳහා ඇති ඉල්ලුම ද යම් ආකාරයකට අඩු කළ හැක. ඒ අනුව ඉහළ යන ජීවන වියදමට ද බලපෑමක් කළ හැක. ආනයනික භාණ්ඩවල මිල යම් ප්‍රමාණයකට අඩු විය හැක.

හරක-බාන, ගහ-කොළ, වතු-පිටි හිමිව සිටි දේශීය ජනයාට අද කිරි කර්මාන්තය කරගෙන යාම දුෂ්කර කාර්යය භාරයක් බවට පත් වී ඇත්තේ තම ඉඩම් කුඩා කැබලි බවට පත්වීමත්, ජනගහනය වර්ධනය අනුව නිවාස සඳහා විශාල වශයෙන් ඉඩම් අවශ්‍යතාවය ඉහළ යාමත් ය. මේ කාරණා නිසා තෘණ වගාව විද්‍යාත්මකව ගණන් බලන ආකාරයට අක්කරයකට යෙදවිය හැක්කේ දෙනුන් දෙදෙකු පමණය. හේතුව වශයෙන් දෙනුන්ගේ බරින් 10% බරට තෘණ ආහාර අවශ්‍ය වීමය.

රජයේ ආයෝජනය තුළින් ලංකාවේද කිරි කර්මාන්තය දියුණු කිරීමට කල් එළඹ ඇත. පසුගිය සමයේ ඕට්‍රේලියාවෙන් ආනයනය කරන ලද දෙනුන් 2000 දැනට බෝපත්තලාව පදිංචි කර ඇති අතර කිරි ලීටර් 20 පමණ එක් දෙනකුගෙන් දොවා ගැනීමට හැකිවීම වාසි සහගතය. තවද ගැබ්බර දෙනුන් ආනයන කළ අතර පැටවුන් බිහිකිරීමේදී 97 දෙනෙකු මිය ගිය අතර එය 5% පමණ මරණ අනුපාතයකි. එය සම්භාවිත තත්ත්වයකි.

ලංකාවේ බොහෝ දෙනෙකු කිරි පරිභෝජනය සිදු නොකරන අතර එය සෙම් රෝගය සඳහා හේතුවන බවට විශ්වාස ඇති කරගෙන තිබේ. නමුත් විද්‍යාත්මකව අවශ්‍ය වන කිරි මිලි ලීටර් 180 හෝ 200 ක් පරිභෝජනය කිරීමෙන් එවැනි ආබාධ ඇති නොවන බව පර්යේෂකයින් පෙන්වා දී ඇත.

කිරි කර්මාන්තය දියුණු කිරීම තුළ කුඩා ළමුන්ගේ පෝෂණය ද ඉහළ යා හැක. චීස්, බටර් සහ මෝරු වැනි අතුරු නිෂ්පාදන රාශියකට යොමු විය හැක. දැනටම මුදවාපු කිරි, යෝගට්, අයිස්ක්‍රීම්, පනිර් වැනි විවිධ ආහාර වර්ග ලංකාවේ ද නිෂ්පාදනය කරනු ලබන අතර ජලය හා තෘණ වගාව සිදු නොකරන ඊශ්‍රායලය කිරි ලීටර 40ක් පමණ එක් දෙනෙකුගෙන් ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ ආනයනික තෘණ සහ ජලය මඟින්ය.

වහ වහා කළ යුතුව ඇත්තේ හොඳ වර්ගයේ කිරි දෙනුන් ආනයනය කොට කිරි මගින් රට ස්වයං පෝෂිත කිරීමය. ඒ සඳහා කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කළ යුතු අතර රජය සතු මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මඟින් කිරි නිෂ්පාදනය දියුණු කිරීමේ ක්‍රමික වැඩසටහනක් ක්‍රියාත්මක කළ හැකි අතර ආරම්භයේ ප්‍රාග්ධන වියදම් රජය මඟින් සපයා දිය යුතු අතර මනා අධ්‍යාපනයක් හා කුසලතාවයක් ඇති අයවලුන් මෙම ආයතනය සඳහා බඳවාගැනීමෙන් වඩාත් කාර්යක්ෂම සේවයක් ජනතාවට ලබා දිය හැක. තවද හඳුනාගත් පෞද්ගලික නිෂ්පාදකවරුන් දිරිමත් කිරීම සඳහා ඔවුනට සහන මිලට කිරි ගවයින් ලබා දීම සඳහා ද ආණ්ඩුව ක්‍රියා කළ යුතුය. අඩු පොලී අනුපාත ණය ක්‍රම මේ සඳහා වැදගත් වේ. එමෙන්ම අතුරු නිෂ්පාදන සඳහා ද වැඩමුළු සංවිධානය ද ඒවා ස්වයං රැකියා ලෙස වර්ධනය කිරීමට අවශ්‍ය පුහුණුව ද මූල්‍ය ප්‍රතිපාදන ද සකස් කරදීම රජයේ වගකීමයි.

ඉතාම ප්‍රබල ලෙස දිළිදු ජනයා අතර ඇති මන්දපෝෂණය තත්ත්වයද සමබර ආහාර වේලක් නොමැති වීම යන කරුණු ද මත රඳා පවතී. කිරි පරිභෝජනය මන්දපෝෂණය තත්ත්වයද වළකා ගත හැකි නිසා අනලස්ව හා ක්‍රියාශීලීව ලංකාවේ කිරි කර්මාන්තය දියුණු කිරීම සැමගේ වගකීමයි.

ස්වයං පෝෂිත වූ ආහාර අතරට කිරි කර්මාන්තය ද ඇතුළත් වන සේ කටයුතු කිරීම රජයේ වගකීමයි.

එච්.ආර්. මිත්‍රපාල
හිටපු පශුසම්පත් හා ග්‍රාමීය
ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය ඇමැති


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...