අභය භූමියට ඇඩ්‍රස් නෑ

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කුරුලු අභය භූමියට අයත් ප්‍රදේශයක් සලකුණු කර ප්‍රදර්ශනය කර තිබුණු නාමපුවරු සියල්ලම මේ වන විට විනාශයට පත්ව ඇතැයි කියා සිටින අදාළ ප්‍රදේශවාසීහු මෙනිසා එහි ජීවත්වන පක්ෂීන්ගේ පැවැත්මට හානිදායී ක්‍රියාවන් සිදුවන බව පෙන්වා දෙති.

පාර්ලිමේන්තු මන්දිරය අවට පිහිටි ඇතුල්කෝට්ටේ, බැද්දගාන, පින්නියර, මාදිවෙල, මිරිහාන, බෝධිය පාර, කිඹුලාවල, බත්තරමුල්ල, පැලවත්ත යන ප්‍රදේශයන් ආවරණය වන පරිදි මෙම කෝට්ටේ අභය භූමිය ස්ථාපිත කර තිබුණි. වර්ෂ 1984 වසරේදී කුරුලු අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද මෙම භුමිය තුළ 114 වර්ගයකට අයත් කුරුල්ලන් වෙසෙති. ඒ අතර දිවයිනේ වෙනත් ප්‍රදේශයන්හිදී දැක ගන්නට නොලැබෙන දුර්ලභ ගණයේ කුරුල්ලන්ද වෙති.

ඇතැම් පිරිස් විසින් මෙහි පිහිටි ලඳු කැලෑවන් එළිපෙහෙළි කිරීම, කැළි කසළ ගෙනැවිත් දැමීම, විවිධ රසායනික ද්‍රව්‍ය මුදාහැරීම, කැළිකසළ ගිනි තැබීම, එමඟින් ඇතිවන දුම මෙන්ම අධික රස්නය අහිතකර ලෙස බලපෑම, අභය භූමියෙහි සීමාවන් අසළ පදිංචි ඇතැම් පිරිස් සිය ඉඩම්වලට මෙම භූමියෙන් කොටස් අල්ලා ගැනීම, ගොඩනැගිලි කඩා ඉවත් කරන සුන් බුන් මෙහි ගෙනැවිත් තැන තැන දැමීම වැනි ක්‍රියාවන් හේතුවෙන් එහි වෙසෙන පක්ෂීන්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් එල්ලව ඇතැයි කියති.

එලෙසම තෙත් බිම් ආශ්‍රිතව ප්‍රදේශ කිහිපයක් ද මෙම භූමියට අයත් වන අතර ජලජ ජීවීන් ගණනාවක් ද මෙහි‍ වෙසෙති. එයට අමතරව ඉත්තෑවන්, හඳුන් දිවියන්, කළවැද්දන්, මුගටියන්, උගුඩුවන්, නයි, පොළොං, මාපිල්ලු, තලගොයි, කබරයින් හා හාවුන් වැනි සතුන්ද මෙම භූමියෙහි බහුල ලෙස වෙසෙති. පවතින මෙම තත්ත්වය හේතුවෙන් එම සතුන්ගේ දිවි පැවැත්මට ද අනතුරුදායක තත්ත්වයක් හටගෙන ඇත. ඇතැම් පිරිස් මෙම භූමිය අභය භූමියක් ලෙසවත් දන්නේ නැත. අනවසර ඉදිකිරීම් පවා සැලකිය යුතු ප්‍රමාණයකින් සිදුව ඇති බවද දැන ගන්නට ලැබේ.

මෙම අභය භුමියෙහි සීමාවන් සලකුණු කර නියමිත පරිදි නාමපුවරු සවිකර ප්‍රදර්ශනය කිරීමට පියවර ගත යුතු අතර එය විනාශයට පත් නොකර මතු පරපුර වෙනුවෙන් උරුම කර දීමට අදාළ අංශයන් නිසි පියවර ගන්නේ නම් මැනවි.

ආර්.එම්.ජයන්ත
කෝට්ටේ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...