උඩරට ගිවිසුම අත්සන් කළ මේසය සහ පුටුව සුරැකිව ඇති තැන සොයා ගියෙමු

ගිවිසුම අත්සන් කළ කරුවල මේසය සහ පුටුව

අස්ගිරි පාර්ශ්වයේ වත්මන් මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියන්ගේ අස්ගිරි විජයසුන්දරාරාමයේ මෙම මේසය හා පුටුව සුරකිව පවතින අතර එය මුළුමනින්ම කළුවර දැවයෙන් නිමකර මනා කැටයමින් විචිත්‍රවත් කර තිබේ.

අජීවී වස්තුන්වල වටිනාකම තීරණය කෙරෙන්නාවූ සාධක කිහිපයක් තිබේ. එකක් එහි මූල්‍යමය වටිනාකමය. එහි දුර්ලභත්වය තවත් කරුණකි. අදාළ අජීවි වස්තුව අයත් කාලසීමාව, පරිහරණය කළ පුද්ගලයින් මෙන්ම එය භාවත කළ අවස්ථා එහි වටිනාකම තිව්ර කිරීමට හේතු‍ෙවනු ඇත. මෙලෙස අතීතයේ භාවිත කළ ඇතැම් අජීවී වස්තූන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති වස්තූන් ලෙස නම්කරනු ලබන අතර ඒ සඳහා එහි ආයු කාලය වසර 100 ක් ඉක්මවා තිබීම එක් නිර්නායකයකි. අනෙක් නිර්නායකය එය ඓතිහාසික සිද්ධීන් හා බැඳී තිබුණු අකාරයයි. පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති වස්තුවක් ලෙස හඳුනාගත් යමක් විකිණීම, විනාශ කිරීම සපුරා තහනම්ය. එවැනි පුරාවිද්‍යාත්මක විටිනාකමක් ඇති මේසයක් හා පුටුවක් පිළිබඳව කතාබහ දැන් කරළියට පැමිණ තිබේ. ඒ මෙරට නිදහස වෙනුවෙන් ඌව වෙල්ලස්ස කැරැල්ලට එක්ව දිවි හිමියෙන් සටන් කළ අතීත විරුවන්ට ඉංග්‍රීසීන් විසින් එදා ඇලවූ දේශද්‍රොහී ලේබලය ගලවා දමා ඔවුන් දේශ ප්‍රේමීන් ලෙස නම් කිරීමට ජනපතිවරයා තීරණය කිරීමත් සමඟය.

ඉංග්‍රීසීන් විසින් කන්ද උඩරට යටත් කර ගැනීමෙන් පසු උඩරට නිලමේවරු හා ඉංග්‍රීසී ජාතිකයින් අතර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී 1815 මාර්තු මස 02 දින උඩරට ගිවිසුම අත්සන් තැබීමට උපයෝගි කරගත් මෙම මේසය හා පුටුව මෙරට අතීත විරුවන්ගේ දේශද්‍රෝහී ලේබලය ගලවා දැමීම සඳහා එළඹෙන මාර්තු මස ඓතිහාසික මඟුල් මඩුවේදීම පැවැත්වීමට නියමිත උත්සවයේදී ලේඛන අත්සන් තැබීමට යොදා ගතයුතු බවට දැන් යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. මහනුවර කතරගම දේවාළයේ බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර මහතා මෙම යෝජනාව ඉදිරිපත් කරමින් අදාළ මේසය හා පුටුව සුරක්ෂිතව තිබෙන බවත් එම ස්ථානය ආරක්ෂක හේතූන් මත හෙළිදරව් නොකරන බවත් පැවසීමත් සමඟ මේ පිළිබඳව කතාබහ කරළියට පැමිණියේය.

ඉංග්‍රීසීන් විසින් මෙරට අත්පත් කර ගැනීම තහවුරු කෙරුණු උඩරට ගිවිසුම වගන්ති 12 කින් සමන්විතවූ අතර මෙරට වෙනුවෙන් එයට කැප්පෙටිපොළ, ඇහැලේපොළ, ගලබොඩ, ගලගම, නිල්ලව, රත්වත්තේ, පිළිමතලව්වේ ඇතුළු නිලමේවරු 12 දෙනකුද ඉංග්‍රීසීන් වෙනුවෙන් ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් හා දිසාපති ජෝන් ඩොයිලිද අත්සන් තැබූහ. එම ඓතිහාසික ලියවිල්ල අත්සන් තැබුණු මේසය හා පු‍ටුව ඇති තැන පිළිබඳ මුල්ම හෝඩුවාව ගෙන ආවේ ලේක්හවුස් ආයතනයේ හිටපු මහනුවර ප්‍රාදේශීය කර්තෘ ඩී. ඔලිවර් සිල්වා මහතාය. ඒ මහතාගේ තොරතුරු මත අදාළ ස්ථානයට ගියවිට ඓතිහාසික උඩරට ගිවිසුම අත්සන් තැබුණු බව කියන මේසය හා පුටුව සුරක්ෂිතව එහි තිබුණේය. .

අතීතයේ පටන් මෙරට නිදහස වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් සිදුකළ මහ සංඝරත්නය සතුව එහි හිමිකාරිත්වය අදටත් පවතී. අස්ගිරි පාර්ශවයේ වත්මන් මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහියන්ගේ අස්ගිරි විජයසුන්දරාරාමයේ මෙම මේසය හා පුටුව සුරකිව පවතින අතර එය මුළුමනින්ම කළුවර දැවයෙන් නිමකර මනා කැටයමින් විචිත්‍රවත් කර තිබේ. මෙම පුටුව හා මේසය අස්ගිරි මහ විහාරයට හිමිවීම සම්බන්ධව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද හිමි මෙසේ පැවසූහ. “පැරණි රජ දවස පටන් රාජ්‍යය පාලනය සඳහා අනුශාසනා කිරීම මහා සංඝරත්නයේ මූලීකත්වයෙන් සිදුකෙරුණා. ඉංග්‍රීසීන් විසින් උඩරට අල්ලා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ භික්ෂූන් වහන්සේ රට, ජාතිය, ආගම ආරක්ෂා කර ගැනීමට කැපවී ක්‍රියාකළ බව ඉතිහාසයේ ලියවී තිබෙනවා. උඩරට ගිවිසුම අත්සන් කිරීමට කළින් ඉංග්‍රීසි කතිර කොඩිය ඔසවද්දී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වාරියපොළ සුමංගල හිමි එදා උඹලට තාම මේරට යටත්වෙලා නැහැ. තව වෙලාව තියෙනවා කියලා කතිර කොඩිය පහළට දාලා පෑගුවා. උන්වහන්සේගේ කාර්යභාරය ඒකට පමණක් ලඝු කරන්න හොඳ නැහැ. ඉන් පසුවත් සුමංගල හිමියෝ ජාතියේ නිදහස වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියාකළා. එදා ඉංග්‍රීසීන් සිංහලේ අවසන් රජු අල්ලා ගත්තට පස්සේ අපේ නිලමේ වරුන්ටවත් ඉංග්‍රිසීන්ටවත් ගිවිසුමකට එළඹීමේ අවශ්‍යතාවක් තිබිලා නැහැ. මහසංඝරත්නය තමයි ඒකට පසුබිම සකස් කරලා බුද්ධාගම නොකෙලෙසිය යුතුයි, එහි අයිතිය ආරක්ෂා කර ගනිමින් පවත්වා ගෙන යායුතුයි කියන වගන්තිය ඇතුළු තවත් යෝජනා ගිවිසුමට ඇතුළත් කරලා තියෙන්නේ. දළදා මාලිගාවේ තේවා කටයුතු ඒ වෙනකොට අස්ගිරි පාර්ශවය විසින් සිදුකර ගෙන ගොස් තිබෙන්නේ. මඟුල් මඩුවේ පැවැති උත්සවයට අවශ්‍යය මේසය හා පුටුව මහා සංඝරත්නයේ මුල්වී සපයන්න ඇති. මොකද ඒවෙන කොට දැන උගත් පිරිස අතර භික්ෂූන් වහන්සේ ඉදිරියෙන්ම හිටියා. මෙම ඓතිහාසික පසුබිමත් සමඟ ගිවිසුම අත්සන් කළ මේසය හා පුටුව අස්ගිරි පාර්ශවයට හිමිවී තිබෙනවා...”

මේ මේසය මේ රටේ ඓතිහාසික ලියවිල්ලක් අත්සන් කළ එකක්. උඩරට ගිවිසුම 1815 මාර්තු 02 ඉඳලා 10 වෙනිදා වෙනකල් අත්සන් කරලා තිබෙනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේකට අපේ ඇතැම් නිලමේවරු කැමැත්තෙන් අත්සන් නොකළ බවයි. ඒ නිසා තමයි දවස් 10 ක් දුරට මේක ඇදිලා ගියේ. අපේ නිලමේවරුන්ගේ සහයෝගය ඇතිව 1815 පෙබරවාරි 14 දා තමයි ඉංග්‍රීසීන් රජු අල්ලන මෙහෙයුම ආරම්භ කළේ. ඊට දින හතරකට පස්සේ මැද මහනුවර බෝමුරේ ආරච්චිලගේ ගෙදරදී ඉංග්‍රීසීන් රජුව පණ පිටින් අල්ලා ගත්තා. කිසිම ලේ වැගිරීමක් නැතිව තමයි සුද්දෝ උඩරට අල්ලා ගන්නේ. අපේම කලා ශිල්පීන් නිර්මාණය කළ මේසයක් හා පුටුවක් තමයි එදා ගිවිසුම අත්සන් කරන්න පාවිච්චි කළේ. මේ මේසය හා පුටුවට දැන් අවුරුදු 200 කට වැඩි බව කවුරුත් පිළිගන්නවා. මෙහි අපේ පාරම්පරික කලා ශිල්පීය හැකියාවන් පෙන්නුම් කරනවා. මෙහි පෞරාණික බව, භාවිත කළ සිද්ධිය හා භාවිත කළ පුද්ගලයින් පිළිබඳ සැලකුවහම එය පුරාවිද්‍යාත්මක විටිනාකමක් ඇති ආරක්ෂා කළ යුතු භාණ්ඩයක් බව පැහැදිලියි. අනෙක් කාරණය ඌව වෙල්ලස්ස කැරැල්ලට සම්බන්ධවූ අපේ විරුවන් දේශද්‍රෝහීන් ලෙස නම් කිරීම හා මෙම මේසය අතර සම්බන්ධයක් නැහැ. ඒ සිද්ධිය වන්නේ 1818 ජනවාරි 10 වෙනදා. උඩරට කැරල්ලට 1817 සැප්තැම්බර් 16 ඉඳාලා 1818 නොවැම්බර් 26 දක්වා තිබුණා. මේ සටනේදී අපේ දස දහසක් පමණ මරණයට පත්ව තිබෙන බව වධක පිටිය භාරව සිටි ජර්මන් ජාතික හෙන්රි මාෂල් පවසා තිබෙනවා...” පුරා විද්‍යා ගවේෂක, ජනශ්‍රැති පර්යේෂක, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, මහනුවර ලෝක උරුම උපදේශක කමිටු සාමාජික විරාජ් විරංජන බාලසූරිය මහතා පවසයි.

ඌව වෙල්ලස්ස නිදහස් සටනට සම්බන්ධ වූ 900ක පමණ පිරිසක් දේශ ප්‍රේමීන් ලෙස නම් කිරීමේ ඓතිහාසික ගැසට් පත්‍රයට ජනපතිවරයා මාර්තු මස 01 දින අත්සන් තැබීමට නියමිතය. කැරැල්ල සඳහා හේතු පාදකවූ උඩරට ගිවිසුම අත්සන් කළ මේසය හා පුටුව ඒත් සමඟ දැන් කතා බහට ලක්ව තිබේ. තමන් අතින්වූ වරද නිවැරදි කර ගැනීම පිණිස දේශයේ නිදහස වෙනුවෙන් සටන් වැද දිවිදුන් උදාර පරපුරකට ගෞරවය කැන්දා ගෙන එනු පිණිස සියවස් දෙකක් පුරා පැවැති වරදක් නිවැරදි කරන්නට ජනපතිවරයා කටයුතු කර ඇත. එම කටයුත්තත් සමඟ පුරා දෙසිය වසක් අජීවී වස්තුවක් ලෙස පැවැති උඩරට ගිවිසුම අත්සන් කළ මේසය හා පුටුවට ජීවයක් ලැබී තිබේ. එදා රාජ ද්‍රෝහීන්වූ පිරිස මෙදා දේශ ප්‍රේමීන් වූ පසු යළිත් මෙම මේසය හා පුටුව අජීවී වස්තූන් බවට පත්ව මතකයෙන් ගිලිහී යනු ඇත. ‍‍

කුරුළුවංශ
ඡායාරූප-ගාමීණී රණසිංහ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...