මිහිඳු සෙන්පුර කෙළවරක් නැති කරදර

උදිත ගුණවර්ධන
ඡායාරූප-රංජිත් අසංක

ජල ගැටලුව නිසා නිවාස සංකීර්ණයේ කිහිප දෙනෙකු සියදිවි හානිකර ගත් අවස්ථාද තිබේ. ජල බිල ගැන ඇති මූලිකම ගැටලුව අධික මිල වූවද මෙම බිල නිකුත් කරන ක්‍රමය ගැන මූලික ගැටලුවක් නිවැසියෝ මතු කරති. එනම් ඔවුනට මෙම බිල්පත් පැමිණෙන්නේ ජල මණ්ඩලයෙන් නොව නාගරික සංවර්ධන අධිකාරියෙන් වීමය. ඔවුන් කියන පරිදි පෙර නිවාසවල සිටියදී ඔවුන්ට ලැබී ඇත්තේ රුපියල් දහස නොඉක්මවන ජල බිල්පතකි. පෙර ජල අවශ්‍යතා සහ අද ජල අවශ්‍යතා අතර විශාල වෙනසක් නොවී ඇති පසුබිමක ඔවුන්ගේ ජලබිල්පත තුන් ගුණයකින් නැතිනම් හතර ගුණයකින් ඉහළයාම ගැටලු සහගතය.

මාතරින් ගමන් අරඹන සාගරිකා කන්තෝරු කෝච්චිය ගාල්ල, අම්බලන්ගොඩ පසුකරමින් කළුතරට එන්නේ එක පිම්මටය. එකපිම්මේ ගමන් කරන දුම්රිය කොළඹ කොටුවට, මරදානට එනවිට වේගය බාලවීම “සාගරිකා” දෛනික පුරුද්දක් කරගෙන සිටින්නීය. එහෙත් ඒ දෛනික පුරුද්දට මීට අවුරුදු අටකට පෙර එක් දිනයකදී විරාමය වැටුණි. එදා කොළඹ පුරවැසියන්ගෙන් කොටසක් සාගරිකාගේ පමණක් නොව රුහු‍ණෙන් පැමිණි බොහෝ දුම්රියන්හි ඉදිරි ගමනට බාධා කළහ. පුරවැසියන් එසේ විරෝධය පෑවේ දුම්රිය ගමනට හෝ දුම්රිය නිලධාරින්ට නොවේ. හමුදා බලතල සහිතව බලපුළුවන්කාරකම පෙන් වූ නාගරික සංවර්ධන අධිකාරිය සහ එවකට සිටි ආරක්ෂක ලේකම්වරයාට එරෙහිවය. ඉංග්‍රීසි බසින් වහල් දූපත යන අර්ථය සහිතව ප්‍රසිද්ධියට පත් කොම්පඤ්ඤවීදිය අවට ජනතාව වහලුන් ලෙස සලකන්නට එදා සිටි බලය ඇත්තෝ කටයුතු කළහ. මහ නගර සභාවට වරිපනම් බදු ගෙවූ පාරම්පරික නිවෙස්, ඉඩම් හිමිව සිටි වැසියන්ට එදා අත් වූයේ වහලුන්ටත් එහා ගිය අන්ත දුක්ඛිත ඉරණමකි.

කොම්පඤ්ඤ වීදිය දුම්රිය පොළ, මහලේකම් කාර්යාලය දුම්රිය නැවතුම ආශ්‍රිතව දිවි ගෙවූ පවුල් සිය ගණනකට එක රැයකින් නිවෙස් අහිමි කිරීමට එදා සිටි ඉහළ නිලතල දැරූ බලවතුන් කටයුතු කළේ “නාගරික සංවර්ධනය” නමින් හැඳින් වූ සුදු පිරුවටයට මුවා වීමෙනි. නැවත පදිංචි කරන්නේ කොහේද? මෙම ප්‍රදේශයේ විසූ පිරිසේ සමාජීය සබඳතා බිඳ නොවැටෙන ලෙස ඉවත් කිරීම් කරන්නේ කෙසේද? ආදී කිසිදු කරුණකට බලධාරින් තුළ කිසිදු අදහසක් හෝ සැලැසුමක් නොතිබුණි.

“මට මේ ඒරියා එක ඉක්මනින් සුද්ද කරලා දෙනවා” එදා සිටි නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම්වරයා තමන්ගේ යටත් නිලධාරීන්ට නියෝග දුන්නේ එසේය. ඔහුගේ එම නියෝගය සමාන කළ හැක්කේ යුද්ධයකදී තම සතුරු ප්‍රදේශයක් මුදා ගැනීමට අණ දීම වැනි තත්ත්වයකටය. එහෙත් වෙනසකට ඇත්තේ මේ ප්‍රදේශයේ සිටියේ අහිංසක නිරායුද මිනිසුන් පිරිසක් වීමය. එහෙත් ඔවුන්ව සිය නිවෙස්වලින් පළවා හැරියේ ත්‍රස්තවාදීන් පිරිසක්, පාතාල අපරාධකරුවන් පිරිසක් පළවා හරිනවා වැනි දරුණු හා නපුරු විධික්‍රම උපයෝගි කර ගනිමිනි. සමහරුන්ට තම නිවෙස්වල තිබූ ආම්පන්න පවා ඉවත් කර ගන්නට ඉඩ නොලැබුණි. එය සැබෑ ලෙසම අකටයුත්තකි. අයුක්තියකි.

කොම්පඤ්ඤවීදිය, මහලේකම් කාර්යාලය දුම්රිය පොළ ආශ්‍රිත ප්‍රදේශවල දිවි ගෙවූ අයට මහා ආදායම්, සුව යහන්, යාබද නාන කාමර, වායු සමීකරණ නිවෙස් නොතිබුණද ඔවුන්ගේ නිවෙස්වල මෙන්ම සිත්වලද සාමය සතුට උතුරා යමින් තිබුණි. අද වෙනත් තැනක පදිංචිව සිටින එදා මෙහි පදිංචි වූවෙකු අප සමඟ කීවේ “එදා අපිට මොනවා නොතිබුණත් සතුට තිබුණා” කියාය. එහෙත් ඔවුන් සතු වූ සතුට උදුරාගෙන යාමට මහ කාලයක් ගත වූයේ නැත. නාගරික සංවර්ධනය මුවාවෙන් පැමිණි මෙම බලහත්කාරයට එදා කොම්පඤ්ඤ වීදිය, වනාත, බේස්ලයින් පාර ඇතුළු නාගරික ප්‍රදේශ රැසක ජනතාව ගොදුරු විය. ඔවුනට මුලින් තාවකාලික ස්ථාන ලැබුණ අතර ඉන් පසු ඔවුන්ව දෙමටගොඩ දුම්රියපොළ අසළ ඉදිකළ මිහිඳු සෙන්පුර තට්ටු නිවාස සංකීර්ණයට යොමු කරනු ලැබීය. එදා බලධාරින් සඳහන් කළේ මෙහි ඉහටත් උඩින් පහසුකම් ඇති සුරපුරයක් බවය. එහෙත් සුරපුරයේ තරම පසක්වීමට ජනතාවට වැඩි කාලයක් ගත වූයේ නැත. මුහුණට සුන්දර දසුන් මැව්වද මිහිඳු සෙන්පුර ඇතුළත කතාව කිසිසේත්ම සුන්දර නැත. මෙහි ඇති බලවත්ම ගැටලුව බවට පත්ව ඇත්තේ ඉඩකඩ මදිකමය. නඩත්තුව නැතිකම ඊටත් වඩා බලවත් ගැටලුවක් බවට පත්ව තිබේ. සාමාන්‍ය පිළිගැනීම අනුව නිවෙසක් ලෙස පිළිගැනීමට නම් වර්ග අඩිදහසක් හෝ තිබිය යුතුය. අවම ප්‍රමාණය වර්ග අඩි නවසියයකි. එහෙත් මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණයේ ඇතැම් නිවෙස් වර්ග අඩි හාරසිය පනහ තරම් කුඩා වී තිබේ. එදා නිවාස සැලැසුම් කළ සැලැසුම් ශිල්පීන් අදහස් කර ඇත්තේ වර්ග අඩි අටසියය හෝ නවසියය අතර ප්‍රමාණයකට නිවාසවල ප්‍රමාණය විශාල කිරීමටය. එහෙත් එදා සිටි දේශපාලන අධිකාරිය කියා ඇත්තේ වර්ග අඩි හාරසිය පනහ හොඳටම ප්‍රමාණවත් බවය.

මිහිඳු සෙන්පුර පරෙවි කූඩු බඳු ගෙවල් හැදෙන්නේ මේ වාතාවරණය තුළය. එදා සිටි දේශපාලකයාගේ, ලේකම්වරුන්ගේ බලය අද ගිලිහී ගොස් ඇතත් නිවාස සංකීර්ණයේ හත් අට දහසකට අධික ජනතාවගේ ගැටලු එකින් එක වැඩිවෙමින් පවතී. මේ ගැන විසැඳුමක් දීමට හෝ ඒ ගැන සොයා බැලීමට කිසිවකු නොමැතිවීම කනගාටුවට කරුණකි.

නිවාස සංකීර්ණය නඩත්තු කරන්නේද පංගුපේරුවටය. රජයේ සේවකයන් ඇතුළු යම් සමාජ ශක්තියක් ඇති අයට ලබාදුන් අලුත් මහල් නිවාසවල නඩත්තු කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කෙරේ. එහෙත් කොළඹ වතුවල සිට නිවාස සංකීර්ණයට පැමිණි අය සිටින පැරැණි මහල් නිවාස සංකීර්ණයේ නඩත්තු කටයුතු එහෙම්පිටින්ම ඇනහිට තිබේ.

“අපි සල්ලි එකතු කරලා අපේ ගෙවල්වල අඩුපාඩු හදා ගන්නවා” අප විමසූ කළ නිවැසියන් ලබා දුන්නේ එවැනි පිළිතුරකි. තමන් පදිංචි ස්ථාන තමන් විසින් නඩත්තු කිරීම ගැටලුවක් නොවුණද රුපියල් දහසක මුදලක් නඩත්තු ගාස්තු ලෙස අය කර ගන්නා තත්ත්වයක නඩත්තු කටයුතු නිවැසියන් වෙතම තල්ලු කිරීම කිසිසේත්ම සාධාරණ නැත. එහෙත් අද සිදු වන්නේ එවැනි දේය.

අවුරුදු දහයක් පැරැණි මෙම ගොඩනැගිලිවල විවිධ නඩත්තු කටයුතු සිදුකළ යුතු වූවද ඒ ගැන පැමිණිලි කළද කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන දෙයක් බවට පත්ව තිබේ.

ගොඩනැගිලි ඉදිකිරීමේ දෝෂ නිසා කොරිඩෝවල වැසි ජලය රැ‍ඳෙන තත්ත්වයක් ඇතිව තිබේ. මේ නිසා මෙම ජලය නිවැසියන් එක්ව දෛනිකව ඉවත් කළ යුතුව තිබේ. නිවැසියන් කියන පරිදි මෙය අතිමහත් කරදරයකි. ඉහළ තට්ටුවල කුණු පහළ තට්ටුවල ඇති කොරිඩෝ සහ වහල මතට පතිතවීම නිසාද බලවත් සෞඛ්‍ය තර්ජනයකට මහල් නිවාසවාසීන් පත්ව සිටිති. මේ සියල්ලටම වඩා සෞඛ්‍ය තර්ජනය බවට පත්ව තිබෙන්නේ කාණු පද්ධතියේ ඇති අවහිරවීම් සහ අප ජලය එකතැන රැඳීම්ය. මේ තත්ත්වය ඩෙංගු උවදුරට අත වැනීමකි. මුල් කාලයේදී මේවා නඩත්තු කළද අද වන විට මේ සියල්ල නිසි ලෙස සිදු කිරීම බලධාරින් අතහැර තිබේ. මහල් නිවාස සංකීර්ණයේ ඇවිද යාමේදී අප දුටු අප්‍රසන්නම දර්ශනය වූයේ යාබදව ඉදිවෙමින් පවතින නිවාස සංකීර්ණයේ තෙවන අදියරේ කටයුතු කරන සේවකයන්ගේ වැසිකිළි හා කැසිකිළි නළ මාර්ගයෙන් නිවාස සංකීර්ණයේ විවෘත කානු පද්ධතියට එක්කර ඇති අයුරුය.

නිවාස සංකීර්ණවාසීන් බලවත් ලෙස විරෝධය පළ කිරීම නිසා යම් ප්‍රමාණයකට මේ අප්‍රසන්න දේ නැවතී තිබුණද එය සම්පූර්ණයෙන් නතර වී නැත. සැබෑ ලෙසම මෙය ජාතික හා අන්තර්ජාතික වශයෙන් පිළිගත් යහපත් සෞඛ්‍ය පුරුදු අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. මේ ගැටලුවටම ඈඳුනු තවත් ගැටලුවක් බවට පත්ව ඇත්තේ නිවාස සංකීර්ණයේ දෙවන අදියරේ ඉදිකළ නිවාසයන්හි වැසිකිළි නළ පද්ධතිය තුළ සිදුවන කාන්දුවීම්ය. ඉහළ ඇති නිවෙසේ වැසිකිළි නළ පහළ නිවෙසේ මුළුතැන්ගෙයි අසළින් පහළට යන අතර කිසියම් අවහිර වීමක් වීමකදී මළද්‍රව්‍ය පහළ නිවෙසේ මුළුතැන්ගෙයට කාන්දුවීමට පටන් ගනී. පසුගිය දිනවල මෙවැනි තත්ත්වයක් උද්ගත වූ අතර ඒ තත්ත්වය පාලනය කර තිබෙන්නේ දැඩි පරිශ්‍රමයක් දැරීමෙනි. අවුරුදු තුනක්වත් ගතවී නැති මෙම ගොඩනැගිලිවල මෙවැනි දුබලතා ඇතිවීම පුදුමයට කරුණක් වන අතර නිවාස ඉදිකිරීමේ බාල ප්‍රමිතිය මෙමඟින් මනා ලෙස පැහැදිළි වේ.

මිහිඳු සෙන්පුර ජනතාව මුහුණ දෙන තවත් බලවත්ම අපහසුතාවක් බවට පත්ව ඇත්තේ ජල බිල්පත් පිළිබඳ ගැටලුවයි. ඊට බලවත් ලෙස මුහුණ දී තිබෙන්නේ අවුරුදු දහයකට පෙර මිහිඳු සෙන්පුරට මුලින්ම පැමිණි පිරිස් ය. ඔවුන්ට මාසයකට රුපියල් හාරදහස පන්දහස ඉක්මවන ජල බිල්පත් පැමිණෙන අතර මෙවැනි බිල්පතක් ගෙවීමට ඔවුන්ට නොහැකිය. එහි ප්‍රතිඵලය වන්නේ බිල්පත් ගෙවීම් අතපසු වී රුපියල් තිස්දහස හතළිස් දහස වැනි විශාල හිඟ මුදල් ප්‍රමාණයක් එකවර ගෙවීමට සිදුවීමය. බොහෝ අවස්ථාවල මෙවැනි මුදලක් එක්වර ගෙවීමට නිවැසියන්ට නොහැකිවන අතර එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ජලය විසන්ධි කිරීමය. වෙනත් කිසිදු ජල මූලාශ්‍රයක් නොමැති එහි වැසියන් එවිට කරනුයේ කනකර උකස් කර හෝ ජල බිල්පත් ගෙවා ජලය ලබා ගැනීමයි. ජල ගැටලුව නිසා නිවාස සංකීර්ණයේ කිහිප දෙනෙකු සියදිවි හානිකර ගත් අවස්ථාද තිබේ. ජල බිල ගැන ඇති මූලිකම ගැටලුව අධික මිල වූවද මෙම බිල නිකුත් කරන ක්‍රමය ගැන මූලික ගැටලුවක් නිවැසියෝ මතු කරති. එනම් ඔවුනට මෙම බිල්පත් පැමිණෙන්නේ ජල මණ්ඩලයෙන් නොව නාගරික සංවර්ධන අධිකාරියෙන් වීමය.

ඔවුන් කියන පරිදි පෙර නිවාසවල සිටියදී ඔවුන්ට ලැබී ඇත්තේ රුපියල් දහස නොඉක්මවන ජල බිල්පතකි. පෙර ජල අවශ්‍යතා සහ අද ජල අවශ්‍යතා අතර විශාල වෙනසක් නොවී ඇති පසුබිමක තම ජලබිල්පත තුන් ගුණයකින් නැතිනම් හතර ගුණයකින් ඉහළයාම ගැටලු සහගතය. එහෙත් අද මිහිඳු සෙන්පුර වැසියන්ට මුහුණ දීමට සිදුව ඇති ඉරණම මෙයයි.

තමන්ගේ පාරම්පරික නිවාස පූජා කරමින් මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණයේ වර්ග අඩි හාරසිය පනහකට කොටු වූවන්ට ජල බිල්පතින් පවා සිදුවන්නේ අරියාදුවකි. මේ ගැන අදහස් දක්වන නිවැසියන් කියන්නේ නාගරික සංවර්ධන අධිකාරියට ජල බිල්පත් ගෙවීම වෙනුවට ඍජුව ජල මණ්ඩලයට බිල්පත් ගෙවීමට අවස්ථාව සලසා දෙන ලෙසය. ඔවුන්ගේ මේ ඉල්ලීමට කිසියම් සහනදායක පිළිතුරක් ලබාදීම බලධාරින්ගේ යුතුකමකි.

මිහිඳු සෙන්පුර නිවැසියන්ගේ සිත සරලව හා සුන්දරව ගතවන බවට බැලූ බැල්මට කිසිවකුට පෙනෙන්නට පුළුවන. එහෙත් ඔවුන්ගේ ජීවිත ඇතුළත කතාව පෙනෙන තරම් සුන්දර නැත. ඔවුන්ගේ ජීවිතවලට අවශ්‍ය සෞඛ්‍ය, ආරක්ෂාව, නිවාස නඩත්තු කටයුතු, පිරිසුදු බව ඇති කිරීම, ජල බිල්පත් ගැටලු ඇතුළු දේ විසැඳීම සැමගේ යුතුකමක් සහ වගකීමකි. මේ හැම දෙයක් ගැනම අවධානය යොමු කර විසැඳුම් ලබාදීම බලධාරින්ගේ යුතුකමකි.

වතුර බිල ලොකු අවුලක් 
කේ.එම්.එස්.හමීඩ්

අපිට තියෙන ලොකුම ගැටලුව තමයි ජල බිල්පත්වල තියෙන ගැටලුව. මේ බිල්පත් අවුල නිසා අපි ලොකු අවුලක වැටිලා ඉන්නේ. මේක මට විතරක් බලපාන දෙයක් නොවෙයි. ෆ්ලැට් එකේ ගොඩක් අයට බලපාන ප්‍රශ්නයක්.

අපිට මාසෙකට රුපියල් පන්දහසක බිලක් එනවා. මේ බිල හෝටලයකට එන තරම් ලොකු බිලක්. අපේ ගෙදර තුන් හතර දෙනෙක් ඉන්නේ. අපි වතුර පරිස්සමින් පාවිච්චි කරන්නේ. එහෙම තියෙද්දි තමයි අපිට මේ වගේ ලොකු බිලක් එන්නේ.

තට්ටු දෙකේ ගෙයක් දමලයි ආවෙ
ජගත් කුමාර

අපෙන් නඩත්තුවලට කියලා රුපියල් දහසක් ගන්නවා. ඒත් කරන නඩත්තුවක් නැහැ. අපි මිහිඳු සෙන්පුරට ආවේ කොම්පඤ්ඤවීදියේ හොඳ තට්ටු දෙකේ ගෙයක් දාලා. එදා අපි දෙයියනේ කියලා නිදහසේ ජීවත් වුණා. අද ඒ නිදහස නැහැ. අද ෆ්ලැට්වල කිසිම නඩත්තුවක් නැහැ. මේවා බලන්න කවුරුත් එන්නෙත් නැහැ. පැමිණිලි කළාට වැඩක් නැහැ. අපි අද අපායකට වැටිලා ඉන්නේ.

නඩත්තුව අලුත් නිවාස විතරයි
එම්.සම්සුදීන්

නාගරික සංවර්ධන අධිකාරියෙන් නඩත්තු කරන්නේ අලුතින් ඉදිකළ ෆ්ලැට් දෙක විතරයි. අපි තමයි මෙතැනට මුලින්ම ආවේ. ඒත් අපේ ෆ්ලැට්වලට කිසිම උදව්වක් නඩත්තුවක් නැහැ. එක පැත්තකින් ජල බිල ඩබල් ට්‍රිබල් කර එවනවා. අපි ප්‍රශ්න ගොඩක් මැද්දේ හිරවෙලා ඉන්නේ එක පැත්තකින්

ලොකුම ප්‍රශ්නය ඉඩකඩ මදිකම
විජේරත්න

අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ඉඩකඩ ප්‍රමාණය මදිවීම. ගෙයක් කීවට මේ ගෙවල් ඉතාමත් කුඩයි. හැරෙන්න ඉඩ මදි. නාන කාමරය ගත්තත් ඒක ඉතාමත් කුඩයි. මේක ඇතුළෙ අපේ අවශ්‍යතා සපුරා ගන්න බැහැ. ඒත් කරන්න දේකුත් නැහැ. වැසිකිළිවල බට කාන්දු වීමකුත් වෙනවා. මේ තත්ත්වය එක දිගට නොතිබුණත් කාලෙන් කාලෙට මේ කාන්දුවීම වෙනවා.

තාම මේ ගොඩනැගිල්ල හදලා අවුරුදු පහක් නැහැ. ඒත් මේ වගේ දේවල්වලින් පේනවා මේ බිල්ඩින්වල ප්‍රමිතිය මොකක්ද කියලා.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...