තොරතුරු පනත හලාවතට නැති හැඩ

තොරතුරු පනත බලා‍ත්මක වීමෙන් පසු විශේෂයෙන් රාජ්‍ය අයතනවලින් තොරතුරු ඉල්ලා සිටීමේ අයිතිය මහජනතාවට ලැබෙයි. එහෙත් හලාවත කලාප අධ්‍යාපන කාර්යාලය ඊට කිසිසේත් සූදානම්වී නොසිටි බව සහීරා පැවසුවාය. තොරතුරු ඉල්ලා සිටිම සඳහා පිරවිය යුතු පෝරම එහි නොතිබූ බවත් තොරතුරු නිලධාරියකු පත්කර තිබේද යන්න සම්බන්ධව සෙසු නිලධාරීන් කිසිවකුත් කරුණු නොදැන සිටි බවත් ඇය පැවසුවාය.

මෙරට උපදින සෑම දරුවකුටම නිසි වයස සම්පූර්ණවූ පසු පාසලකට ඇතුළුවී අධ්‍යාපනය ලැබීම සඳහා අයිතියක් තිබේ. එම අයිතිය තහවුරු කිරීමේ වගකීම දරුවාගේ මව්පියන්ට මෙන්ම අධ්‍යාපන බලධාරීන්ටද පැවරෙයි. මෙම දෙකොට්ඨාසය අතරින් දරුවා පාසල් ගත කිරීම සඳහා පළමු වගකීම පැවරෙන්නේ මව්පියන්ටය. ඔවුන් ඒ සඳහා ගන්නා උත්සාහයට අවශ්‍යය සහය ලබාදීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමය. දෙමව්පියන් දරුවන් පාසල් ගත කිරීම සඳහා පෙළඹවීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය හා ළමා රක්ෂණ අධිකාරිය මගින් නොයෙක් නීතී හා රෙගුලාසි පනවා තිබේ. වයස අවුරුදු පහ සම්පූර්ණ වීම දරුවා පාසල් ගත කිරීමේ නිසි වයස ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය හා ළමා රක්ෂණ අධිකාරිය දක්වා ඇත. පාසල් ගත කරන දරුවකු අනිවාර්යයෙන්ම වසර 14 ක් අධ්‍යාපනය ලැබිය යුතු බවට පැවැති නීති අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වෙනස් කර 2016-04-20 දරන අනිවාර්ය අධ්‍යාපන රෙගුලාසි ගැසට් පත්‍රය මගින් වයස අවුරුදු 16 දක්වා වැඩිකර තිබේ. මේ අනුව මෙරට වයස අවුරුදු පහ සම්පූර්ණ කළ සෑම දරුවකුටම පාසලකට ඇතුළුවී වයස අවුරුදු 16 දක්වා අධ්‍යාපනය ලැබීමේ අයිතිය රජය විසින් තහවුරු කරනු ලැබ ඇත.

රටේ පවතින නීතියට අනුව දරුවන් පාසල් යැවීම මව්පියන්ගේ හෝ ඔවුන්ගේ භාරකරුවන්ගේ වගකීමය. පාසල් නොයන දරුවන් සොයා බලා ඔවුන් සුදුසු පාසල් කරා යොමු කිරීම මහජන මුදලින් නඩත්තු වන අධ්‍යාපන බලධාරීන්ගේ යුතුකමය. මෙම දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක් තම යුතුකම දරුවා වෙනුවෙන් ඉටු නොකළ විට කඩවන්නේ දරුවාගේ මූලික මිනිස් අයිතිවාසිකමකි. යහපාලන රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ ළඟම පාසල හොඳම පාසල යන සංකල්පය පෙරදැරිවය. හොඳම පාසල ළඟම තිබියදී ඊට ඇතුළු වීමට නොහැකිව වසර තුනක් තිස්සේ නිවසටවී සිටින හලාවත ආනන්ද මාවතේ පදිංචි ශෙෆාන් ශානිල් පෙරේරා පසුගිය ජනවාරි මස 14 දින සැමරුවේ සිය හත්වන උපන් දිනයයි. අධ්‍යපන අමාත්‍යාංශය මගින් දක්වා තිබෙන පාසල් අධ්‍යාපනය ලැබිය යුතු වයස් සීමාව පසුකර දෙවසරක් ගතව ඇතත් මේ දරුවා පාසල් ගත නොකිරීමේ වරද කිසිවකුත් මේවන තුරු බාරගෙන නොතිබීම විශේෂත්වයකි.

තම දරුවා පාසල් ගත කිරීමට මව්පියන් ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වීමෙන් පසු ඔවුන් දැන් මානව හිමිකම් කොමිෂන් සභාවේ පිහිට පතා ඇත. මේ අනුව මව්පිය පාර්ශවය දරුවාට අධ්‍යාපනය ලබා දීමට උනන්දු බව පැහැදිලිය. එසේ නම් දරුවා වසර තුනක් තිස්සේ පාසල් නොයෑම සම්බන්ධව වරද පැවරෙන්නේ අධ්‍යාපන බලධාරීන් ‍වෙතය. ළඟම පාසල හොඳම පාසැල කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශය පිඹුරුපත් සකසමින් සිටින අවස්ථාවක තම දරුවාට ළඟම හොඳම පාසල අහිමි කළ හලාවත ආනන්ද ප්‍රාථමික විදුහලේ බලධාරීන් සම්බන්ධව ශෙෆාන්ගේ මව වන සහීරා නිර්මාලි අධ්‍යාපන බලධාරීන්ට කළ පැමිණිලි සංඛ්‍යාව අපමණය. ඒවාට සිදුවූ දෙයක් හෝ නොදන්නා‍ සහීරා පවසන්නේ පරීක්ෂණ ප්‍රගතිය විමසන්නට ගිය සෑම අවස්ථාවකම නිලධාරීන්ගේ රැවුම් ගෙරවුම් මිස යහපත් ප්‍රතිඵලයක් අත්විඳින්නට අවස්ථාව නොලැබුණු බවයි.

රජය මගින් තොරතුරු දැන ගැනීමේ පනත බලාත්මක කිරීමත් සමඟ අධ්‍යාපන බලධාරීන් තමන්ට වසර දෙකක් තිස්සේ වසන් කළ තොරතුරු දැන ගැනීම සඳහා ඇය පෙබරවාරී මස 06 දින හලාවත අධ්‍යාපන කාර්යාලයට ගියේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙනය. ඒවන විටත් රජය විසින් පනත බලාත්මක කළේ පෙබරවාරි මස 03 දිනය තොරතුරු නිදහස් දිනය ලෙසද නම්කර තිබූ අතර එදින සිට නිවාඩු දින තුනක් එක දිගට පැමිණි නිසාවෙන් සහීරා 6වන දින තෝරා ගෙන තිබිණි.

“ම‍ගේ දරුවා දැන් අවුරුදු තුනක් පාසලක් නැතුව ගෙදර. අපේ ගෙයින් එළියට බැහැපු ගමන් පේන්නේ හාලාවත ආනන්ද ප්‍රාථමිකේ. ඒ පාසලේ 2015 අවුරුද්දට මගේ පුතා දාන්න මම ඇප්ලිකේෂන් දෙකක් දැම්මා. එකක් ආසන්න පදිංචිය යටතේ. අනික සහෝදර පදනම යටතේ. පදිංචියෙන් ලැබුණේ ලකුණු 95 යි. සහෝදර පදනමෙන් ලකුණු 73. 5 ක් ලැබුණා. මාත් සැමියත් දෙන්නම දැන් අවුරුදු 38 ක් විතරම පදිංචි පාසල කිට්ටුවමයි. ලකුණු 05 ක් කැපුවේ ඔප්පුව අපේ නමට ලියලා අවුරුදු තුනක් නිසයි. මගේ දුවලා දෙන්නම යන්නෙත් මේ පාසලට. එක් කෙනෙක් නවය වසරේ. අනෙක් දුව හය වසරේ. මාත් මගේ මහත්තයාගේ තාත්තත් ගියේ මේ පාසලට. සහෝදර පදනම යටතේ අපිට කොහොමද ලකුණු අඩු වෙන්නේ. සුදුවැල්ලේ ඉන්න පොලිසීයේ වැඩකරන කෙනෙක්ගේ දරුවා සහෝදර පදනමින් ආනන්දෙට එනවා. සුදුවැල්ලේ ඉඳලා ඉස්කෝල හතරක් පහුකරලා මේකට එන්න තියෙන්නේ. ඒ ඉස්කෝල හතරෙන් දෙකකට විතරයි ලකුණු කපලා තිබෙන්නේ. හරිනම් තවත් ලකුණු 10ක් කැපෙන්න ඕන. ඒ දරුවට පාසල අහිමි කරන්න කියලා අපි කොහොමත් කියන්නේ නැහැ. අපි කියන්නේ අපේ දරුවාගේ අයිතිය ආරක්ෂා කරලා දෙන්න කියලයි. මගේ දරුවා දැන් අවුරුදු තුනක් ගෙදර. ඉස්කෝලේ යන්න ඕන කියලා හැමදාම අඬනවා. මානසිකව වැටිලා ඉන්නේ. පළවෙනි වසරට ළමයා දාන්න ඇඳුනුත් මහලයි තිබ්බේ. දැන් ඒවා මදි. පුතා මානසිකව වැටිල ඉන්නේ. අම්මේ මට කවදාවත් ඉස්කෝලේ යන්න ලැබෙන්නේ නැද්ද කියලා අහනවා. අක්කලාගේ පොත් බලලා ගෙදරදී පොත්වල එක එක දේවල් ලියනවා. මමත් දන්න දේවල් කියලා දෙනවා. මේ අවුරුද්දේ තුනේ පන්තියේ ඉන්න ඕන ලමයා තාම ගෙදර...” සහීරා පවසයි.

“මගේ දරුවාට පාසලක් ලබා නොදෙන්නේ ඇයි කියන හේතුව මම දැන ගන්න ඕන. අඩු තරමේ පරීක්ෂණයෙන් අපි වැරදි නම් ඒක හරි දැනුම් දෙන්න ඒ අයට තිබුණා. මෙතන අපි නිවැරදියි. ඒ නිසා තමයි පරීක්ෂණ වාර්තා එළියට නොඑන්නේ. සියලු දේ නීතියට අනුව සපුරලා තියෙත්දී දරුවට පාසලක් දෙන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නයට උත්තර දැන ගන්න තමයි මම පෙබරවාරි 06 වෙනිදා හලාවත කලාප අධ්‍යාපන කාර්යාලයට ගියේ. ළමයාට පාසලක් නොලැබුණාම මම ඒගැන මීට වසර දෙකකට කලින් හලාවත කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිල්ලක් කළා. ඒ පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනයේදී පාසලෙන්, අපෙන් ප්‍රකාශ ගත්තා. ඒවට මොනවා වුණාද දන්නේ නැහැ. මම මේ විමර්ශන ගැන තොරතුරු ඉල්ලා ලිපියක් බාර දෙන්න ගියාම කලාප කාර්යාලයේ කවුරුවත් ඒක භාර ගන්න සූදානම් වුණේ නැහැ. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයේ හිටියේ නැහැ. දෙවැනියා හිටියේ. එයා තොරතුරු පනතක් සම්මත වුණාද කියලවත් දන්නේ නැහැ. තොරතුරු දෙන්න අපි බැඳිලා නැහැ කියලා ඒ මහත්තයා කිව්වා. මම කිව්වා රජය තොරතුරු පනත බලාත්මක කරලා තියෙන්නේ ඒ නිසා මේ ලිපිය බාරගෙන අපට තොරතුරු ලබා දෙන්න කියලා. කාර්යාලයේ තොරතුරු නිලධාරියෙක් පත්කරලා හිටියේ නැහැ. රජය තොරතුරු පනත බලාත්මක කරලා තියෙත්දීත් නිලධාරීන් ඒක ක්‍රියාත්මක නොකරන එක හරිම වැරදියි. දැන් අවුරුදු තුනක් පාසලක් නැතුව දරුවාට ගෙදර ඉන්නට වෙලා. ඒකට පාර කපපු අ‍යගෙන් විමර්ශනයේ ‍තොරතුරු ලැබෙයි කියා මම හිතන්නේ නැහැ...” ඇය කීවාය.

තොරතුරු පනත බලා‍ත්මක වීමෙන් පසු විශේෂයෙන් රාජ්‍යය අයතනවලින් තොරතුරු ඉල්ලා සිටීමේ අයිතිය මහජනතාවට ලැබයි. එහෙත් හලාවත කලාප අධ්‍යාපන කාර්යාලය ඊට කිසිසේත් සූදානම්වී නොසිටි බව සහීරා පැවසුවාය. තොරතුරු ඉල්ලා සිටිම සඳහා පිරවිය යුතු පෝරම එහි නොතිබූ බවත් තොරතුරු නිලධාරියකු පත්කර තිබේද යන්න සම්බන්ධව සෙසු නිලධාරීන් කිසිවකුත් කරුණු නොදැන සිටි බවත් ඇය පැවසුවාය.

“පුතා ආනන්ද ඉස්කෝලෙට ගත්තේ නැති වුණාම මම කලාප කාර්යාලට ගිහින් ගෙදර ඉඳන් මීටර 150 ක් විතර දුරින් තියෙන විජය ඉස්කෝලේ ඉල්ලුවා. එයාලා බෑ කිව්වා. ගෙදර ඉඳලා කිලෝ මීටර 05 ක් විතර දුරින් තියෙන පාසලක් දෙන්න හැදුවා. මම කැමැති වුණේ නැහැ. ගේ ළඟම පාසල් දෙකක් තියෙත්දී ඇයි මම දරුවව එච්චර දුර ඉස්කෝලෙකට දාන්නේ. ළමයට පාසලක් ගන්න මම උපවාස කළා. ඒත් කවුරුවත් ඇහැක් ඇරලා බැලුවේ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයට 2015 මැයි මාසේ මම ලිඛිත පැමිණිල්ලක් කළා. පිළිතුරක් නැති නිසා විමර්ශන අංශයට ගිහින් ෆයිල් එකක් බාරදුන්න්නා. තුන් හතර පාරක් ගියා. මගේ ෆයිල් එක නැහැ කිව්වා. මම තව එකක් දුන්නා. පස්සේ කියනවා ඒකත් නැහැ කියලා. මේ විදිහට විමර්ශන අංශයට මම ෆයිල් තුනක් දුන්නා. ඒවටත් පිළිතුරු නැති නිසා දෙසැම්බර් මාසේ කුලියාපිටියට ගිහින් ඇමැතිතුමාව හම්බ වෙලා මගේ ප්‍රශ්නේ කිව්වා. එතන හිටපු රන්ජන් බණ්ඩාර සර්ට මේ ගැන සොයා බලන්න කියලා ඇමැතිතුමා උපදෙස් දුන්නා. එතුමා විමර්ශන අංශයට ඒක යොමුකළා කිව්වා. අයේත් ඇමැතිතුමාව කුලියාපිටියට ගිහින් හම්බවෙලා මාර්තු මාසේ තවත් ෆයිල් එකක් දුන්නා. ඒ පැමිණිල්ලට අනුව මාස හතරකට පස්සේ විමර්ශනයක් කළා. එතකොටත් මගේ දරුවා අවුරුදු එකහමාරක් ගෙදර. මානව හිමිකම් එකට පහුගිය මැයි මාසේ කරපු පැමිණිල්ලට අනුව අධ්‍යාපන අමාත්‍යාංශයට කරුණු දැක්වීමක් කරන්න කියලා නියෝගයක් දුන්නා. දැන් මානව හිමිකම් එකේ මේක විභාග කරනවා. ආනන්දේ බලධාරීන් ප්‍රශ්නයෙන් බේරෙන්න නොයෙක් බොරු කියනවා. ඒ අය චක්‍ර ලේඛන උල්ලංඝනය කරමින් කටයුතු කර තිබෙන බව හොඳටම පැහැදිලියි.”

මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක්

කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා

“ශ්‍රී ලංකාව විශ්ව ළමා අයිතිවාසිකම් සුරැකීමේ සම්මුතියට අත්සන් කළ රටක් ලෙස දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට බැඳී සිටිනවා. මේ සම්බන්ධව විශේෂ නීති රීතිත් රටේ පවතිනවා. තමන් පදිංචි නිවස ආසන්න‍යේ ඇති පාසලකට ඇතුළු වී අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම ළමයෙකුට තිබෙනවා. ඒ සඳහා යම් යම් නිර්නායක සකස් කර තිබෙන අතර ඒවා සැපිරූ කිසිදු ළමයෙකුට අදාළ පාසල නොදී සිටින්න කාටවත්ම බැහැ. 1978 ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව අනුව කිසිදු කෙනෙකු වර්ගීකරණය කොට සලකන්න බැහැ. හැමෝටම සමානව සලකන්න ඕන. ළමයෙකුට අධ්‍යාපනය ලබාදීම රජයේ වගකීමයි. කිසියම් දරුවෙක් වසර තුනක් පාසලක් නොමැතිව ඉන්නවා නම් ඊට අධ්‍යාපන බලධාරීන් වගකිය යුතුමයි. මේ වගේ සිදුවීම් වලදී මානව හිමිකම් කොමිසමේ පිහිට පතන්න ගියාම එතන නිර්දේශ ලබාදීමේදී සිදුවන ප්‍රමාදය තවත් විශාල ගැටලුවක්. මේ නිසාත් ළමයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. වයස අවුරුදු 16 දක්වා සෑම දරුවකුටම අනිවාර්යයෙන්ම අධ්‍යාපනය ලබාදිය යුතුයි. එසේ නොවන්නේ නම් එය වරදක්. යම් ආකාරයකින් ළමයකුගේ මව්පියන් දරුවා පාසල් නොයවන්නේ නම් ඔවුන්ට එරෙහිවද නඩු පවරන්න පුළුවන්. මෙතනදී පැහැදිලි ලෙසම දරුවාට අධ්‍යාපනය ලැබී‍මට ඇති හිමිකම කඩවී තිබෙනවා. අනිත් කාරනය දැන් තොරතුරු පනත බලාත්මකයි. රජය සීමා පනවා තිබෙන තොරතුරු හැරනේන වෙනත් ඕනෑම තොරතුරක් ඉල්ලා සිටීමේ අයිතිය ජනතාවට තිබෙනවා. කවුරු හරි තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවක රාජ්‍ය නිලධාරීන් තොරතුරු නොදෙන්නේ නම් ඉන් පැහැදිලි ලෙසම අදාළ පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිද්ධ වෙනවා. රජය මේ තොරතුරු පනත ගෙන ආවේ ජනතාවගේ අවශ්‍යතාව ඉටු කිරීමට බව රාජ්‍යය නිලධාරීන් තේරුම් ගන්න ඕන. මේ පනත් වලින් ප්‍රයෝජන ගන්න ජනතාව උනන්දු වෙන්නේ තොරතුරු නිලධාරීන් ක්‍රියා කරන අකාරය අනුවයි. මේ දරුවාට පාසලක් ලබා නොදීමට හේතු දරුවාගේ අම්මට දැන ගන්න අයිතියක් තිබෙනවා. ඒ අයිතිය තොරතුරු පනත බලාත්මකව තිබෙන අවස්ථාවක රාජ්‍යය නිලධාරීන්ට අහෝසි කිරීමට කිසිදු හැකියාවක් නැහැ...”

තොරතුරු දීම ප්‍රතික්ෂේප කරන්න බැහැ

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය

“තොරතුරු පනත බලාත්මක වූ පෙබරවාරී 03 ඉඳලා ජනතාවට රාජ්‍යය අයතනවලින් තොරතුරු ඉල්ලා සිටීමේ අයිතිය තිබෙනවා. පසුගිය වසර 10 කාලයක් ඇතුළත තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය පනත මගින් ජනතාවට සලසාදී තිබෙන අතර යම් තොරතුරක් දීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඊට හේතු දැක්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමයි. තොරතුරුවලට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කරනවා නම් නිලධාරීන් ඒකට හේතුව නිශ්චිතව දක්වන්න ඕන. ඒ වගේම එම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනයක් යොමුකළ හැක්කේ කාටද කෙසේද හා එය කළ යුත්තේ දින කීයක් ඇතුළතද යන්න සම්බන්ධව තොරුතුරු අපේක්ෂා කරන්නාව දැනුවත් කරන්න ඕන. අසත්‍යය තොරතුරු සැපයීම, තොරතුරු වසන් කිරීම, හිතාමතා අසම්පූර්ණ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණහොත් එය විභාග කරනවා. මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරෙන නඩුවකින් වැරදිකරු වුවහොත් රුපියල් 50000.00 කට නොවැඩි දඩයක්ද දෙවසරකට නොවැඩි බන්ධනාගාර ගත කිරීමක්ද නැතහොත් දඩය හා බන්ධනාගාර ගත කිරීම යන දෙකමද ලබාදිය හැකියි. මේනිසා තොරතුරු වසන් කිරීමක් හෝ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමක් සිදුකරන්නේ නම් ජනතාව එහිදී නිහඬව නොසිටිය යුතුයි.

එහෙම එකක් අපි දන්නේ නැහැ

ශෙෆාන් දරුවාට වසර තුනක් යනතෙක් පාසලක් නොලැබුණේ ඇයිද යන කාරණයට සම්බන්ධ තොරතුරු දැන ගැනීමට හලාවත අධ්‍යාපන කාර්යලයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සද්ධා මංගල සූබසිංහ මහතාට අයත් අංක 032-2222387 දරන අංකය පසුගිය 14 දින පස්වරු 1. 35 ට පමණ ඇමැතූ අවස්ථාවේ අධ්‍යක්ෂවරයා ‍කාර්යාලයේ නොසිටි අතර සේවක මහත්මියක් දුරකතන ඇමැතුමට පිළිතුරු දුන්නාය. එම දෙබස මෙසේය. . .

“මම දිනමිණ පත්තරෙන් කතා කරන්නේ, අධ්‍යක්ෂතුමා ඉන්නවාද”

“සර් අද ආවේ නැහැ.”

“ඔබ තුමිය කවුද දන්නේ නැහැ”

“ඇයි මහත්තයා මොකක්ද වෙන්න ඕන. කියන්න”

“තොරතුරු නිලධාරියෙක් ඔය කාර්යාලයේ පත්කරලා ඉන්නවාද ? ඒක දැන ගන්න කතා කළේ”

“පොඩ්ඩක් ඉන්න සර් අදාළ තැනට දාන්නම්.”

“දිනමිණ පත්තරෙන් කතා කරන්නේ. තොරතුරු දැන ගන්න කාටද දාන්න ඕන...” යනුවෙන් ඇය කාගෙන් හෝ විමසීමක් කරයි. පසුව ඇය වෙනත් ස්ථානයකට දුරකතන සම්බන්ධය යොමුකළාය.

එම ස්ථානයේ නිලධාරීනිය හා ඇතිවූ සංවාදය මෙසේය.

“මම දිනමිණ පත්තරෙන්. මම කතා කළේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාට” යැයි පවසත්ම ඇය කිවේ මේක අධ්‍යක්ෂවරයාගේ අංකය නොවන බවයි.

“මම අධ්‍යක්වරයාට ඇමැතුමක් ගත්තා. එතුමා කාර්යාලයේ නැහැ. තොරතුරු පනතට අදාළව තොරුතුරු ලබා ගන්න තොරතුරු නිලධාරියෙක් පත්කරලා ඉන්නවාද කියලා දැන ගන්න ඕන. මොකද ප්‍රවෘත්තියක් ලැබිලා තියෙනවා කලාප කාර්යාලයෙන් තොරතුරු ලබාගන්න ගියාම ඒකට තොරතුරු නිලධාරියෙක් පත්කරලා නැහැ කියලා. ඒක ඇත්තක්ද ?”

“පොඩ්ඩක් ඉන්න මම අහලා කියන්නම්.”

ඇය කාර්යාලයෙන් තවත් යමෙකුගෙන් විමසීමක් කරයි. “මෙතන නම් එහෙම එකක් අපි දන්නේ නැහැ. අධ්‍යක්ෂ තුමා ඉන්න වෙලාවක කතා කරන්න.”

“ඔබ තුමිය එහෙම එකක් දන්නේ නැහැ නේද ?”

“මම දැනුවත්ව නම් නැහැ.”

ශෙෆාන් පසුගිය ජනවාරි මස 14 දින සිය හත්වන උපන්දිනය සැමරුවේය. පාසල් ගොස් අධ්‍යාපනය ලබන්නට දැඩි වුවමනාවක් ශෙෆාන්ට ඇත. ඔහුට අකුරු කියා දෙන්නට ඊටත් වැඩි අවශ්‍යතාවක් ශෙෆාන්ගේ මව්පියන්ට තිබේ. මෙවැනි අවශ්‍යතාවත් හා වුවමනාවක් දරුවාටද මව්පියන්ටද තිබියදී මෙපමණ කලක් පාසල් නොගිය දරුවකු ලොව අධ්‍යාපන අයිතිය දෝතින්ම සුරකින බව කියන ශ්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් රටක පවා නොසිටිනු ඇත. ආනන්ද ප්‍රාථමිකයේ නිල ඇඳුම ඇඳ උදෑසන පාසල් යන ළමුන් දෙස වසර තුනක් ති‍ස්සේ බලා සිට කඳුළු සැලූ ශෙෆාන්ගේ දෙනෙත්වල කඳුළුද දැන් සිඳී ගොස් ඇත. වසර තුනක් තම දරුවාට පාසලක් නොලැබුනේ ඇයිද යන ප්‍රශ්නයට අධ්‍යාපන බලධාරීන් ගෙන් හේතු දැන ගැනීමට ශෙෆාන්ගේ මව්පියන්ට අයිතියක් තිබේ. තෙවසරක් තිස්සේ පාසලක් නොදී ශෙෆාන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය උල්ලංඝනය කළ අධ්‍යාපන බලධාරීන් දැන් පයින් ගසා ඇත්තේ රජය පනතක් ලෙස සම්මත කර බලාත්මක කළ තොරතුරු පනත යටතේ ශෙෆාන්ගේ මව්පියන්ට ඇති තොරතුරු දැන ගැනීමේ අයිතියටය.

අසේල කුරුළුවංශ
ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...