සයිටම් ප්‍රමිතිය රකින්න රජය ගන්නා ඕනෑම පියවරකට සහාය | දිනමිණ

සයිටම් ප්‍රමිතිය රකින්න රජය ගන්නා ඕනෑම පියවරකට සහාය

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන්ගේ ප්‍රමිතිය සහතික කිරීමට රජය ඉදිරියේ දී ගන්නා ඕනෑම පියවරකට සහාය දීමට කටයුතු කරන බව සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

වෛද්‍ය උපාධිධාරීන්ගේ ප්‍රමිතිය සහතික කිරීමේ පුළුල් පරමාර්ථයෙන් යුතුව රාජ්‍ය නොවන අංශයේ වෛද්‍ය අධ්‍යාපනයට අදාළව ගන්නා රජයේ අනාගත පියවර සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට සහාය දීමට තීරණය කර ඇතැයි ද ඒ මහතා පවසයි.

අභියාචනාධිකරණයේ තීන්දුව මඟින් උපාධිධාරීන්ට ලබා දුන් අයිතීන්ට බාධාවක් නොවන ආකාරයට, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපත් කළ යෝජනා සයිටම් ආයතනයේ සැලකිල්ලට භාජනය වෙමින් පවතින බවත් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බවත් ඔහු පැවැසුවේය.

සයිටම් ආයතනයේ සිසුන්ට සාධාරණත්වයෙන් සැලකීමට හා සමාන අවස්ථා උදාකර දීමට අවශ්‍ය සියලු පියවර රජය හා නීති පද්ධතිය ගනු ඇති බවට සයිටම් ආයතනයේ සම්පූර්ණ විශ්වාසය බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. 

නව අදහස දක්වන්න