වගවීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකාවට කල්දෙන්න

මහින්ද අලුත්ගෙදර

ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව සමඟින් ඉදිරියට යන ශ්‍රී ලංකාවට වගවීමේ ක්‍රියාවලිය සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය විසින් ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත යෝජනාවක් ඉදිරිපත් කරයි.

වගවීමේ ක්‍රියාවලියේ දක්නට ඇති සාර්ථකත්වය මෙන්ම ප්‍රතිසන්ධානය, සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ආදිය සම්බන්ධයෙන් ලබා තිබෙන ප්‍රගතිය සැලකිල්ලට ගෙන බ්‍රිතාන්‍ය විසින් පසුවිපරම් යෝජනාවක් වශයෙන් මෙය ඉදිරිපත්කර තිබෙන අතර, ස්විට්සර්ලන්තයේ ජිනීවාහි දී පෙරේදා (13) ආරම්භ වූ මානව හිමිකම් කවුන්සල ක්‍රියාකාරී කමිටුවේ දී බ්‍රිතාන්‍ය නියෝජිතවරයා විසින් මෙය ඉදිරිපත් කර තිබේ.

බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාවට අමතරව සිරියාව සහ දකුණු සුඩානය යන රටවල් සඳහා ද මෙවැනි යෝජනා දෙකක් ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 34 වැනි සැසිවාරය මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ෂෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 27දා සිට මාර්තු මස 24 දා දක්වා පැවැත්වීමට නියමිත අතර, එහි දී එක් එක් රටවල මානව හිමිකම් තත්ත්වය මෙන්ම එය ප්‍රවර්ධනය වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග, යුද ගැටුම්, ආර්ථික වර්ධනය ආදී වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ද එම කාර්යාලය ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව සකස් කළ වාර්තාව ද මෙවර සැසියේ දී ඉදිරිපත් කිරීමට නියමිත අතර ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව, මානව හිමිකම්, යහපාලනය ආදිය සැලකිල්ලට ගැනීමේ දී ශ්‍රී ලංකාව මේ වන විට ලබා තිබෙන ප්‍රගතිය එම වාර්තාව මඟින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි පසුගිය 2015 වසරේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව සම්මත කර ගැනීමෙහිලා සහාය දුන් රටවල් අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාවේ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය දරන උත්සාහය පිළිබඳ තෘප්තිමත් වන බවට මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ සඳහන් කර තිබෙන අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මඟින් සම්මත කළ යෝජනාවලිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ දී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සහාය හිමිවිය යුතු බව ද හෙතෙම පෙන්වා දී තිබේ.

යුද ගැටුම් පැවැති සමයේ ශ්‍රී ලංකාවේ සිදුවී යැයි පවසන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වූ ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන්ගේ වාර්තාව පසුගිය 2015 වසරේ මාර්තු මස 2දා ස්විට්සර්ලන්තයේ ජිනීවා හි දී ආරම්භ වූ ජගත් මානව හිමිකම් කවුන්සලයේ 28 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද එය ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව මාස හයක කාලයක් සඳහා කල් ලබාදෙන ලදී.

ඒ අනුව මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාව පසුගිය 2015 වසරේ සැප්තැම්බර් මස 16දා ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ ප්‍රකාශයට පත් කරන ලදී.

එක්සත් ජාතීන්ගේ විශේෂඥයන්ගේ සහාය ඇතිව අදාළ යෝජනාව සඳහා වන දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර, සියලු භාෂාවන් පදනම් කර ගනිමින් මුහුණට මුහුණලා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාගන්නා බව ද එම උපදේශන ක්‍රියාවලිය සඳහා වන මූලික රාමුව සකස් කර තිබෙන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කරනු වස්, නව ආණ්ඩුවේ සම අනුග්‍රහයෙන් සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව තුළ, යුද්ධයට අදාළ බොහෝ ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීමටත් ඒවාට සාධාරණ විසඳුම් සොයා ගැනීමටත් අවස්ථාවක් උදාවන බව පෙන්වාදෙන එම අමාත්‍යාංශය අදාළ යෝජනාවෙන් මූලික යොමුව වන්නේ යුද්ධයේ අවසන් අදියර පිළිබඳ කාරණාවන් වුවද, ඊට වඩා පුළුල් පැති පිළිබඳත් එහි අවධානය යොමුවන බව කියයි.

මේ යෝජනාව පදනම් කෙරෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වාර්තාව තුළ ආවරණය කෙරෙන්නේ 2002-2009 කාලය පමණක් වෙයි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...