සයි­ටම් අයි­ටම් ගෙද­රට ඇවිත් | දිනමිණ

සයි­ටම් අයි­ටම් ගෙද­රට ඇවිත්

බණ්ඩි රාල

සයිටම් අයිටම් එක මොකක් වෙයිද? සතියේ දැවෙන ප්‍රශ්නය ගෙදරටත් ඇවිත්. පොඩි එකා පහුගිය සතියේ සයිටම් විරෝධී පාගමනක් ගිහින් කඳුළු ගෑස් ආදියත් කාගෙන ගෙදර ඇවිත් හිටියා. මායියා පොලීසියේ මහත්තුරුන්ට දෙස් දෙවොල් තිය තිය කොල්ලගෙ කකුල් තැව්වා. ඔළුවේ තෙල් ගාලා මසාජ් පාරක් දුන්නා. ටී.වී එකේ ප්‍රවෘත්තිවලට ඇස් කන් ඇරගෙන හිටපු වෙලාවෙ එකම සිද්ධිය ගැන වුණත් එක එක විදිහේ කතන්දර ගොඩක් එක්ක සයිටම් අයිටම් එක ගැනත් කියැවුණා. සෑහෙන කාලෙකින් සැමියාගෙන් කිසිවක් අසා දැනගන්නට ඕනෑකමක් නොදැක්වූ මායියා පුටුව පස්සට ඇදලා හරිබරි ගැහිලා වාඩිවුණා.

“ඇත්තටම මොකක්ද මේ සයිටම් කියන්නේ? මායියා අහනවා.

“ඒක පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් සහිත විශ්වවිද්‍යාලයක්“

“නිකං ගමේ ඩිස්පැන්සරිය වගේ එකක්ද?

“විශ්වවිද්‍යාලයක් යෝදියේ..“මං ටිකක් සැරෙන් කීවේ.

“එහෙනම් ඕකට එච්චර විරුද්ධ වෙන්නේ ඇයි? මං ඩිස්පැන්සරියක් කියලා හිතුවේ හැමෝම මේ බෙහෙත් හොඳ නෑ. දොස්තරලා හොඳ නෑ වගේ කතා කියන හින්දා. කවුරුත් ඔය කතාව හරිහැටි කියන්නෙ නෑනේ“ මායියා ටිකක් විපිලිසර වුණා.

ඇත්ත නේන්නම්. සයිටම් කතා හැමතැනම. සමහර විට ඇඩ්වර්ටයිසින්වලට බජට් එකක් වෙන් කරන්නෙ නැතුව නොමිලේ වෙළෙඳ දැන්වීම් ලැබෙන එකම ආයතනය මේක වෙන්න ඇති. ලැබෙන ප්‍රසිද්ධිය. ජනප්‍රියත්වය කියලා නිමක් කරන්න බෑ. සයිටම් ගැන කියන කතා කරන මොකෙක්වත් සමහර විට ඒකෙ දිග පළල හරිහැටි දන්නෙ නෑ. හැමෝම තමන්ට ගැළපෙන කෑල්ලක් අල්ලගෙන දාර්ශනික කතා කියනවා. සමහර විට තමන්ගෙ අදහස් වගේ අනුන් ගිල්ලවපු ලණුව ඔහේ වමාරනවා. “හොර උපාධි කඩේ වසාදමව්“ පොඩි එකාද ඇතුළු විශ්වවිද්‍යාල සිසුන්ගේ සටන් පාඨය ඕකයි.

“ඈහ් බන්. උඹලා කියනවා වගේ ඇත්තටම ඕක කඩයක්ද? දැන් ඔය සීනි තේ කොළ ටිකක් සල්ලි දීලා ගන්නව වගේ ඕකෙන් උපාධිය ගන්න පුළුවන්ද? මං පොඩි එකාගෙන් ඇහුවා.

“එහෙම බෑ. ඒකට ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඒත් ඉතිං සල්ලි දීලා බඩුවක් ගන්නවා වගේ තමයි. අනිත් අය ගන්නෙ සල්ලි දීලා නෙවෙයිනෙ. “

“එතකොට ඒ අයට කවුද වියදම් කරන්නේ? මං ආයෙම ඇහුවා.

“රජයනෙ.“ පොඩි එකා ලිස්සා යන්න හදනවා. කෙටි උත්තර කියන්නෙ බාරගන්න අමාරුම උත්තර විශේෂයක්. මං ඒක අත්දැකීමෙන් දන්නවා.

“රජය වියදම් කරන්නෙ කාගෙ සල්ලිද?

“මේ මට උසාවිය වගේ ඕවට උත්තර දිදී ඉන්න වෙලාවක් නෑ“ එහෙම කියාගෙන පොඩි එකා යන්න සැරසුණා. ඒ වෙලාවෙ මායියත් ළඟට කිට්ටු වුණා.

“ යකෝ අනුන්ගෙ සල්ලිවලින් ඉගෙන ගන්න එවුන් තමන්ගෙ සල්ලි වලින් ඉගෙන ගන්න එවුන්ට විරුද්ධ වෙන එක කැත නැද්ද?" මං ඇහුවා. පොඩි එකා ඒකට උත්තරයක් දුන්නෙ නෑ. කමිසයත් දාගෙන කඩමණ්ඩිය දිහාට යන්න ගියා. ඊට පස්සෙ මායියා කතාවට පැටළුණා.

“ඇත්තට ඉතිං අපේ පොඩිඑකාලාගෙ අධ්‍යාපනයත් නිදහස් කීවට නිදහස්ම නෑනේ. ඕකට ටියුෂන් පංති යන්න කොච්චර නම් අපි වියදම් කළාද? සල්ලි දීලා ටියුෂන් ගත්තා කියලා එහෙම ගත්තු ඔක්කෝමලා විභාග පාස් වුණේ නෑනෙ. උන් ඔක්කොම කැම්පස් ගියෙත් නෑනෙ.“ මායියා කියනවා.

“ඒක නේන්නම්. ඒත් මුන් කියන්නෙ සයිටම් යන ඔක්කෝටම සල්ලිදීලා කඩෙන් බඩුවක් ගන්නවා වගේ උපාධියක් ගන්න පුළුවන් කියලනේ“ මං කීවා.

“දැන් ඉතිං ඔය නඩුකාර උන්නාන්සෙ මොකක්ද තීරණයක් දීලලුනොවැ තියෙන්නෙ. ඊට පස්සෙවත් මේ අවුල විසඳෙන්නෙ නැත්තෙ ඇයි?" මායියා අහනවා.

“ඇත්තම කියනවා නම් ඊට පස්සෙ තමයි ප්‍රශ්නෙ පටන් ගත්තෙ. ඒ කියන්නෙ දැන් මේක ඊට කලින් කිහිපදෙනකුගෙ ප්‍රශ්නයක් විතරක් වෙලා තිබ්බා නම් දැන් ඒක ඔක්කෝගෙම ප්‍රශ්නය බවට පත්වෙලා. කොටින්ම කියනවා නම් දැන් රටේ ජාතික ප්‍රශ්නය සයිටම්.“

මං එහෙම කීවම මායියත් ඔළුව හොළවනවා. මං කියන දේකට මායියා ඔළුව හොළවා එකඟතාව පළකිරීම කරන්නේ සෑහෙන කාලෙකින්.

“ඇත්තටම මට බය අපේ පොඩි එකාලා ගැන. මුන් මේවට පැටලිලා අඬු කඩා ගත්තම අපි එපායැ ඒවට නැහෙන්න“ මායියා තමන්ට දැනෙන තැනින් ඇත්ත ප්‍රශ්නයට අවතීර්ණ වුණා.

“අන්න හරි“ මං කීවා.

“මොකක්ද“මායියා හැරිලා අහනවා.

“ඔන්න ඔය වගේ හැමෝම මේ ප්‍රශ්නෙ දිහා බලන්නෙ තමන්ට අහුවෙන තැනින්. ඒකමයි ඕක ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙන්නෙ. පක්ෂ විපක්ෂ හැමෝම කුහක නොවී අනුන්ටත් ඇහුන්කන්දීලා මේ රටේ පොදු ප්‍රශ්නයක් බවට පත්කරගෙන විසඳුමක් හොයනවා නම් මෙච්චර වියවුලක් වෙන්නෙ නෑ“ මං කීවා. මායියා ගස්සාගෙන කුස්සිය දිහාට යන්න ගියා. ටිකකට කලින් එක මතයකට ඇවිත් ඔළුව හොල්ලපු මායියා ටිකකින් විරුද්ධ මතයක් ඉවසන්නෙ නැතුව යන්න ගියා. ගෙදර එකඟතාවක් හදාගන්න බැරුව රටේ එකඟතා හදන්න යන එක අන්තිම මෝඩ වැඩක්. මමත් කරබාගෙන කාමරයට ගියා. 

නව අදහස දක්වන්න