තොර­තුරු පනත රිදී රේඛා­වකි | දිනමිණ

තොර­තුරු පනත රිදී රේඛා­වකි

තිඹි­රි­යා­ගම බණ්ඩාර

යන්ත්‍රයක එක් මුරිච්චි ඇණයක් කැඩී යෑම මුළු යන්ත්‍රයෙහි ම විනාශයට හේතු විය හැකි ය. එය ශක්තිමත් වීම යන්ත්‍රයෙහි නිවැරදි ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපායි. අමෙරිකානු නව ජනාධිපතිවරයාගේ උද්දච්ච තීන්දුවක් ක්‍රියාත්මක වීමට අධිකරණය හරස් විය. වහසි බස් දොඩමින් සිටි ට්‍රම්ප් නිරුත්තර විය. ඔහු ජාතිකත්වයට බර වූ නායකයෙකි. එහෙත් එබඳු දේශපාලන යාන්ත්‍රණයක් වුව නිරෝගී ව ක්‍රියාත්මක කළ හැක්කේ ලෝක සම්මුතීන් හා රටවල් අතර අත්සන් තැබූ ගිවිසුම්වලට පටහැනි නොවන පරිදි ය. සරණාගතයන්ගේ අයිතිවාසිකම් ද එබඳු ය. අමෙරිකාව ලෝක බලවතා යැයි ද දුප්පත් රටවල් විවිධ අයුරින් හසුරුවන්නා ද හැඳින්වීමේ පුරුද්දක් පවතී. එහෙත් එරට ව්‍යවස්ථාව හා සම්ප්‍රදායන් අනුව රාජ්‍ය නායකයාට තනි අභිමතය පරිදි වැඩ කළ නොහැකි ය. ජාතිකත්වය හා දේශප්‍රේමය ඔප් වඩවන අපේ රටේ බලය අහිමි වූ දේශපාලන කණ්ඩායම්වලට ද මෙය හොඳ පාඩමකි. බලය අහිමි වූයේ කුමන කරුණු මත ද බලය යළි ලබාගැනීම සඳහා තමන් වෙනස් විය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව සිතා බැලීමට ඔවුන්ට හොඳ අවස්ථාවක් ලැබී තිබේ.

බටහිර ආක්‍රමණ සහ අතපෙවීම්, රට බෙදන ව්‍යවස්ථාව සහ මහජනයාගේ ජීවන බර පිළිබඳ දෙස් දෙවොල් තබන ඔවුහු වත්මන් ආණ්ඩුව විසින් ගනු ලබන හොඳ තීන්දු දෙස නෑසූ කන්ව සිටිති. තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීම එසේ මඟහරිනු ලබන එක් වැදගත් මාතෘකාවකි. තොරතුරු පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ජනපතිගේ හා අගමැතිවරයාගේ ආශීර්වාදය ලැබිණ.

ජනමාධ්‍ය අමාත්‍යවරයා ද නියෝජ්‍ය අමාත්‍යවරයා ද ඉමහත් කැපවීමෙන් කටයුතු කළහ. ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ මඟපෙන්වීම ද මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ සහය ද ලැබිණ. මෙය මෙතෙක් ලොව සම්මත වූ හොඳම තොරතුරු පනත් අතරින් සත්වැන්න බවට පත් ව තිබීම සතුටට කරුණකි. මීට පක්ෂ විපක්ෂ කා හටත් එයින් ප්‍රයෝජන ලැබෙන බව කිව යුතු ය. ආණ්ඩුවට සැඟවී ගල් පහර එල්ල කරන පාර්ශ්වවලට ද කරුණු සහිතව විධිමත්ව චෝදනා ගොනු කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත අනුබලයක් වනු නිසැක ය.

පසුගිය ආණ්ඩු පාලන සමයෙහි කරු ජයසූරිය මන්ත්‍රීවරයා තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහෙත් ආණ්ඩු පක්ෂය ඊට විරුද්ධ විය. වමේ යැයි කියාගන්නා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වෙඩි කෑ ඌරකු මෙන් පනත් කෙටුම්පතට විරුද්ධව පාර්ලිමේන්තුවේදී වේගවත් කතාවක් කළේය. ඔහුට අනුව මෙය ද බටහිර වුවමනාකම් ඉටු කරන්නකි. පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප විය. ඊනියා වම්මුන්ට වඩා ප්‍රගතිශීලී දෘෂ්ටියක පිහිටි රනිල් වික්‍රමසිංහ මහතා තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් ආරම්භයෙහි සිට ම කැපවීමකින් කටයුතු කළේය.

තොරතුරු දැනගැනීමේ පනත් ‍ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක ක්‍රියාත්මක වේ. එම රටවල අත්දැකීම් අනුව පෙනී යනුයේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ස්ථාපිත කිරීම කෙරෙහි තොරතුරු පනත සෘජු බලපෑමක් ඇතිකරනා බව ය. සිල් රෙදි හා ඔරලෝසු ඡන්ද ගුණ්ඩු ලෙස රාජ්‍ය ධනය වැයකර බෙදා දෙන කෛරාටික දේශපාලකයන් ජීවත්වන රටක තොරතුරු පනත ක්‍රියාත්මක කිරීම ජනප්‍රිය වැඩක් නොවුණත් එය පොදුජන සුබසිද්ධියට හේතු වන්නකි. එහෙත් පන්සල් සෙල්ලමෙහි යෙදී සිටින ඊනියා දේශ හිතෛෂීහු තොරතුරු පනත පිළිබඳ වචනයක්වත් කතා නොකරති.

තොරතුරු පනත වැදගත් වන්නේ ජනමාධ්‍යවේදීන්ට යනු වැරදි මතයකි. ගමේ බෝක්කුවක් ප්‍රාදේශීය සභාව මඟින් ඉදිකළ විට එහි වැය ඇස්තමේන්තුව දැනගැනීමේ අයිතිය ගම්වැසියකුට තිබේ. මෙතෙක් පැවතුණේ තොරතුරු ඉල්ලීමට බිය වූ සමාජයකි. එහෙත් මෙතැන් සිට එසේ ඉල්ලන තොරතුරු ලබාදීමට අදාළ ආයතනයේ තොරතුරු නිලධාරියා බැඳී සිටී. තොරතුරු නොදුන් කළ ඊට එරෙහිව පියවර ගැනීමේ හැකියාව රටවැසියාට ඇත.

ජනවාරි 8 විප්ලවය ඔස්සේ දැනුවත් පුරවැසියෝ බොහෝ දේ අපේක්ෂා කළහ. ඇතැම් පාර්ශ්ව බලාපොරොත්තු කඩ වූ ස්වභාවයකින් පසුවෙමින් පරාජිත බලවේගවලට හොඳ කියන මට්ටමට ද පිරිහී සිටිති. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය වල්බිහිවූ සමාජයක් ගොඩගැනීම එක රැයකින් කළ හැක්කක් නොවේ. එය රටවැසියන්ගේ සහභාගිත්වයෙන්, මැදිහත්වීමෙන් හා සංවාදයෙන් දිනාගත යුත්තකි.

කඩා වැටී ඇති ආයතන ව්‍යුහයන් ගොඩගැනීම ද පියවරෙන් පියවර කළ යුතු වේ. මෙතෙක් කල් පැවතියේ දේශපාලකයන් දෙන දේ ලබාගැනීමට බලා සිටින රටවැසියන්ගේ සමාජයකි. ඒ තත්ත්වය වෙනස් විය යුතුය. දේශප්‍රේමයෙන් පිස්සු වට්ටන ලද සමාජයක් ජනවාරි 8 ට පෙර පැවතිණ. එහෙත් අවශ්‍යම මොහොතේදී බහුජන කැමැත්ත දේශපාලන මංපහරන්නන් කානුවට දැමීමෙහි සමත් විය. මේ සියලු කරුණු අනුව පෙනී යනුයේ තොරතුරු පනත ජනතා ජයග්‍රහණයක් බවය. එය සක්‍රීයව සජීවීව ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යෑම සඳහා රටවැසියන්ගේ දායකත්වය අත්‍යාවශ්‍ය සාධකයකි. 

නව අදහස දක්වන්න