පිය සෙනෙහසේ සුවඳ සොයන හිතුවක්කාරී | දිනමිණ

පිය සෙනෙහසේ සුවඳ සොයන හිතුවක්කාරී

ෆවුස් මොහොමඩ්

 

මම එහෙම පිටින්ම වෙනස් කෙල්ලෙක්. කාලයක් මම ඇත්තටම පිස්සු හැදිලයි හිටියේ. හැදෙන වයසේ දරුවන්ට අම්මා තාත්තා නැති සාංකාව මමත් මගේ නව යොවුන් වියේ දී සෑහෙන්න විඳෙව්වා. මගේ මානසික ආතතියයි, සාංකාවයි පාලනය කරගන්න කිසි කෙනෙකුගේ උදව්වක් නැතිව ඒ කාලයේ විඳපු දුක දන්නෙ මං විතරයි. ‘

බටහිර පොප් සංගීතයේ ඔටුනු පළන් රජු ලෙස විරුදාවලිය ලබා සිටි සුප්‍රකට ගායක මයිකල් ජැක්සන්ගේ එකම දියණිය ඊයේ පෙරේදා එසේ කීවේ රෝලිං ස්ටෝන් සඟරාවටය.

ඒ සඟරාව සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පැරිස් ජැක්සන් නමින් කවුරුත් අමතන 18 හැවිරිදි ‘පැරිස් කැතරින් මයිකල් ජැක්සන්‘ නමැති මේ රූමත් තරුණිය කිසි වග විභාගයක් නැතිව ළමා වියේ මුහුණ පාන්නට සිදුවූ නොයෙකුත් අකරතැබ්බයන් හෙළිදරවු කළාය. ඇය විසින් අනාවරණය කරනු ලැබූ සියල්ලට වඩා මාධ්‍යයේ අවධානය යොමුවූයේ සිය පියාගේ මරණය ඝාතනයක් බවට සැකයක් ඇතැයි කී බරපතල ප්‍රකාශය ගැනය. පියාගේ මරණය ගැන දියණිය කළ ඒ ප්‍රකාශයට මිස ඇගේ ජිවිතයේ හැලහැප්පීම් අරභයා හෙළිදරවු කළ කරුණු එතරම් අවධානයට ලක් නොවීය.

අසහාය ගායක මයිකල් ජැක්සන්ගේ එකම දියණිය ලෙස කාගෙත් අවධානය දිනාගත් පැරිස්ගේ ළමා විය බිඳ වැටීමට බලපෑ ප්‍රබලතම සාධකය වූයේ මීට අවුරුදු 8කට පෙර සිදුවූ ජැක්සන්ගේ අභාවයයි. ඔහුගේ දෙවැනි බිරිය ඩෙබී රෝට දාව උපන් පැරිස් පියා අහිමිවෙද්දී 11 හැවිරිදි දැරියකි. ඒ වෙද්දී මාපිය දෙපළ දික්කසාද වී සිටි බැවින් දියණියගේ හිමිකාරත්වය පැවැරී තිබුණේ ජැක්සන්ටය. ඉන් පසුව ඇය ජැක්සන්ගේ මව කැතරින්ගේ භාරයට පත් වූවත් දැරියගේ ළමා වියම ගෙවී ගියේ මාපිය නැති මානසික සාංකාවකිනි.

කරදර බාධක මැඩගෙන තරුණ වියට පා තැබිමට සෑහෙන සටනක් දීමට සිදුවූ බවත් ඇය රෝලිං ස්ටෝන්ස් සඟරාවට පැවැසුවාය.

‘ඒ කාලයේ මම ඇසුරු කළේ මුලුමනින්ම වැරැදි මිනිස්සු පිරිසක්. ඔවුන් මගේ ජිවිතය එක්ක සෙල්ලම් කළා. ඒ නිසාම ආච්චිට සිද්ධවුණේ මාව පාසලෙන් අස් කරගෙන ගෙදර තියාගෙන උගන්වන්නයි. මම මේ කියන්නේ මගේ ජීවිතයේ අවුරුදු 13-15 අතර කාලය ගැනයි. ‘ ඇය එසේ කීවාය.

‘අවුරුදු 14 වෙද්දී මට ඕන වුණේ රංගන ශිල්පිනියක් වෙන්නයි. ඒ කාලේ තමයි මම නන්නාඳුනන තරුණයකුගේ ඇසුරකට වැටුණේ. ඒ කාලයේ මට ජීවිතය ගැන වැඩි අවබෝධයක් තිබුණේ නෑ. කොහොමවුණත් මම ඒ ගැන වැඩිපුර දේවල් කියන්න කැමැති නෑ. කොහොමහරි ඒ දේවල් වැඩෙන ගැහැනු ළමයකුට කොහෙත්ම හොඳ අත්දැකීම් නම් නෙවෙයි. මේ තරුණයාගෙන් මට සිද්ධ වුණු කරදර මම කාටවත් කිව්වෙත් නෑ. අඩු තරමේ ආච්චිටවත් කිව්වේ නෑ.‘ පැරිස් කිසිදු චකිතයකින් තොරව සිය අමිහිරි අත්දැකීම් එසේ දිග හැරියාය.

වසර 2013 වෙද්දී ඇය තුන් වතාවක්ම සිය දිවි හානි කරගැනීමට උත්සාහ කොට තිබුණේ මේ සියලු කරදර මැද්දේය.

‘මට ඒ කාලේ හිතුණේ මම තවදුරටත් ජීවත් වෙන්න ඕන ළමයෙක් නෙවෙයි කියලයි. මගේ ජීවිතයේ මට වැදගත් වුණු එකම දේ..මගේ තාත්තා..නැතිවුණාට පස්සේ මම මානසිකව සම්පූර්ණයෙන්ම වගේ වැටිලයි හිටියේ. කිසි දෙයක් තනියෙන් කරගන්න බැරි ළමයෙක් තව දුරටත් මොකට ජීවත්වෙනවද කියලයි මට නිතරම හිතුණේ. ඒකයි මම ජිවිතය නැති කරගන්න උත්සාහ කළේ. ‘ ඇය දැන් එසේ කියන්නීය.

ඒ වෙද්දී ඇය මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස හුරුවී සිටි අතර මත්ලෝලියකු ලෙස වටපිටාවේ කාගෙත් අවමානයට ද ලක්වී සිටියාය. දැරිය පුනරුත්තාපන මධ්‍යස්ථානයකට යොමු කිරීමට ඇගේ මිත්තණිය පියවර ගත්තේ ඇය තුන්වැනි වරටත් ජීවිතය හැර යන්නට උත්සාහ කිරීමෙන් පසුවය.

ජීවිතය ගැනත්, අනාගතය ගැනත් සුභවාදී ලෙස ඇය සිතන්නට පටන් ගත්තේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ජැක්සන් පවුලේ විශාල වතුයායක පදිංචියට යාමෙන් පසුවය. මෝස්තර නිරූපන ශිල්පිනියක ලෙසත්, නිලියක ලෙසත් ජීවිතය අලුතින් පටන් ගත යුතු බව ඇයට ඒ වනවිට අවබෝධ වී තිබිණි.

‘සමහරු හිතුවේ මම අවලස්සන ළමයෙක් කියලයි. තවත් සමහරු නම් එහෙම හිතුවේ නෑ. මම මෝස්තර නිරූපනයට එක්වූ කාලයේ එක්තරා ඡායාරූප ශිල්පියෙක් මට කිව්වා ඕනෑම කෙනෙක් ආකර්ශනය කරගන්න පුලුවන් අමුතුම රූපයක් මට තියෙනවා කියලා. අන්න ඒක තමයි මට මුලින්ම මා ගැන හිතන්න පෙළඹීමක් ඇති කළ කාරණාව වුණේ. එදායින් පස්සේ මම හිතුවා ආපහු හැරෙන්නෙ නෑ කියලා.‘ ඇය සිනහමුසු මුහුණින් යුතුව එසේ කියන්නීය.

ලොව අසීමිත ජනප්‍රියත්වයක් ලැබූ පුද්ගලයකුගේ දියණියක වුවත් පැරිස්ට සමාජයේ තිබුණේ එතරම් ප්‍රසන්න පිළිගැනීමක් නොවේ. ඇතැමුන් ඇය ප්‍රතික්ෂේප කළ අතර තවත් සමහරු ඇය ගැන සිතුවේ මයිකල් ජැක්සන්ට තනිකරම අපකීර්තියක් ගෙන දෙන ආකාරයේ හිතුවක්කාර දියණියක ලෙසටය.

මයිකල් ජැක්සන්ගේ මේ අපූරු දියණිය පැරිස් ගැන මුලින්ම කාගෙත් අවධානය යොමුවුණේ සිය පියාගේ අවසන් මොහොතේ සිදුකළ සංවේදී කතාවෙනි. 11 හැවිරිදි කුඩා දැරියක ලෙස ඉකි බිඳිමින් ඇය සිය පියා ගැන කියද්දී සැමගේ නෙත් කඳුළින් තෙත් විය.

‘මම ඉපදුණු දා ඉඳලා තාත්තා තමයි මට හැමදේම. මම එයාට ගොඩාක් ආදරෙයි.‘

මේ කුඩා දැරිය ඉකි ගසමින් මයිකල් ජැක්සන්ගේ අවමංගල උත්සවය පැවැති ලොස් ඇන්ජලීස් නුවර දී විසි එක්දහසට අධික ජනකායක් හමුවේ එසේ කීවාය. ඇගේ නැන්දනිය ජෙනට් ඇතුළු ජැක්සන් පවුලේ සියලුම ඥාතින් ද, බටහිර ගීත ලොව සුප්‍රකට ගායක ගායිකාවන් රැසක් ද ඒ මොහොතේ ඇය සිප වැළඳ හඬා වැටෙන්නට වූහ. තම දරුවන් සමාජයෙන් සඟවා තැබීමට ජැක්සන් කටයුතු කිරීම නිසා එදා ඔහුගේ අවමංගල උත්සවයේදී දියණිය එලෙස සංවේදි කතාවක නිරතවන තුරුම ඇය ගැන කිසිවකුත් වැඩි පුර දැන සිටියේ ද නැත.

සියලුදෙනා හා එක්ව එදා ඇය සිය පියාගේ ජනප්‍රියතම ගීතය ‘වී ආ ද වර්ල්ඩ්‘ (WE ARE THE WORLD) ගැයුවාය.

එහෙත් එදායින් පසුව සියල්ල වෙනස්විය. සිරුරෙන් මෙන්ම මනසින් ද, ගති ගුණ අතින් ද ඇය එහෙම පිටින්ම වෙනස් දැරියක වූවාය. සැබැවින්ම ඇයට ඇතිවූයේ තනිකම හා පාලුව තුනී කරගැනීමට ‘ඉක්මනින්ම තරුණ වීමේ ‘ ආසාවකි.

තනිකම මකා දැමීමට ඇය මත්පැන් හා දුම්වැටිය ළඟට ගත්තාය. රාත්‍රියේ දැනෙන කාංසිය නැති කර ගැනීමට සමාජශාලාවල රස්තියාදු වීමට පටන් ගත්තාය. ඇගේ නව යොවුන් විය එහෙම පිටින්ම ගෙවී ගියේ එලෙසිනි.

හිතේ හැටියට වියදම් කිරීමට ඇයට ඇති තරම් මුදල් තිබිණි. වසර 2009 ජීවිතයෙන් සමුගනිද්දී මයිකල් ජැක්සන් සිය ගීත ඇල්බම් මිලියන 50කට අධික සංඛ්‍යාවක් අලෙවි කොට තිබූ අතර ඉන් ලැබූ ඩොලර් බිලියන ගණනාවක බූදලය බෙදී ගියේ ඔහුගේ දරුවන් තිදෙනා වන වැඩිමල් පුතු 19 හැවිරිදි ප්‍රින්ස්ට, දුව පැරිස්ට සහ බාල පුතු 14 හැවිරිදි බ්ලැන්කට් අතරේය. එබැවින් අවුරුදු 21 පිරෙනතුරු දරුවන්ට ඔවුන්ගේ වියදම සඳහා වසරකට ඩොලර් මිලියන 8ක මුදලක් ලැබේ.

දරු තිදෙනා රැක බලා ගන්නවාට ජැක්සන්ගේ මවට ද වාර්ෂිකව ඩොලර් මිලියනයක් ලැබේ.

පැරිස් සිය විනෝදකාමී ජීවිතයට වියදම් කළේ ඒ මුදල්ය. ඇගේ වැඩිමල් සොයුරු ද ඊට දෙවැනි නැත. මෑතකදී ඔහු තම පෙම්වතියන්ට රන් භාණ්ඩ තෑගි කිරීමට ඩොලර් පනස්දහසක් වියදම් කළේය.

අසීමිත මුදල් කන්දරාවකුත්, ඇති තරම් නිදහසකුත් භුක්ති විඳින්නට පටන් ගැනීමෙන් පසුව දින ගණන් නිවසට නොපැමිණෙන මේ හිතුවක්කාර මිනිපිරිය පාලනය කරගැනීම මිත්තණියට බෙහෙවින් අසීරුවී තිබිණි. නීත්‍යානුකූලව පැරිස්ගේ භාරකාරත්වය මිත්තණියට අහිමිවූයේ ඇය තුන්වැනි වරටත් ජිවිතය දමා යාමට උත්සාහ කිරීම නිසාය. අනතුරුව ඇය සිය මව වෙත ගියාය.

පෙම්වතුන්ගේ කිසිදු අඩුවක් නොතිබුණු දඟකාර පැරිස් මුලින්ම පෙම් කළේ චෙස්ටර් කැස්ටලෝ නම් පාපන්දු ක්‍රීඩකයකුටය. පසුව ඇය ඩ්‍රම්ස් වාදකයකු වූ මයිකල් ස්නෝඩි සමග පෙම් ගිණුමක් පටන් ගත්තාය. එය වසරක් පුරා ඇදී ගිය එකකි. එහෙත් නිලියක ලෙස හා මෝස්තර නිරූපන ශිල්පිනියක ලෙස ඉදිරියට යාමට මේ පෙම් පළහිලව්ව බාධාවක් වීමෙන් පසුව ඇය කිසිදු පැකිලීමකින් තොරව ඔහු අත් හැර දැමුවාය. දැන් ඇගේ කල්පනාව නිදහසේ සිය රංගන වෘත්තිය කරගෙන යාමටය.

පැරිස් ලොස් ඇන්ජලීස් නුවර කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමට බලපෑ තවත් සාධකයක් වූයේ ඇගේ සිරුර පුරා කොටගත් පච්ච සංඛ්‍යාව නිසාවෙනි. ඒවා ගණනින් 50කටත් වැඩිය. ඉන් 8ක්ම සිය පියා වෙනුවෙන් කොටා ගත් ඒවාය. මීට අමතරව සුප්‍රකට ගායකයන් වන ජෝන් ලෙනන් සහ ප්‍රින්ස් වෙනුවෙන් ද ඇය තම සිරුරේ පච්ච කොටා ගත්තාය. එපමණක් නොව කුඩා වියේදී තමා රැක බලාගත් ආදරණීය මිත්තණියගේ නමත් කොටා ගැනීමට ඇය අමතක නොකළාය.

‘අපි කාටවත් ඒ කාලේ තාත්තා ගැන ලොකු හැඟීමක් තිබුණේ නෑ. අම්මගෙන් වෙන්වුණාට පස්සේ අපි තාත්තා එක්කයි ජිවත් වුණේ. එයා අපිව හැම තැනම එක්කරගෙන ගියා. පුලුවන් තරම් සතුටින් තිබ්බා. ඒත් අපිට හැමදාම නින්දට යද්දී තාත්තා ගැන ලොකුවට මොකුත් හිතුණේ නෑ. දැන් තමයි තාත්තා නැති අඩුව දැනෙන්නේ.‘ පැරිස් එසේ කියන්නේ හැඟීම්බර හඬකිනි.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...