එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙලේ නිල වෙබ් එළිදැක්වේ | දිනමිණ

එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙලේ නිල වෙබ් එළිදැක්වේ

මේ වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 14 වැනි ජාත්‍යන්තර වෙසක් සැමරුම සහ ලෝක බෞද්ධ සමුළුව වෙනුවෙන් නිර්මාණය කළ නිල වෙබ් අඩවිය ‍ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කෙරිණි.

‘සමාජ සාධාරණත්වය සහ තිරසාර ලෝක සාමය සඳහා බෞද්ධ ඉගැන්වීම’ තේමාව යටතේ මැයි 12 වැනිදා සිට 14 වැනිදා දක්වා ජාත්‍යන්තර වෙසක් උළෙල ශ්‍රී ලංකාවේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන අතර ඒ පිළිබඳ ‍සියලු තොරතුරු www.unvesak2017.org/ නව වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය රාජකීය පණ්ඩිත ඉත්තෑපානේ ධම්මාලංකාර, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ අනුනායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස, විද්‍යෝදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත බලංගොඩ සෝභිත යන නායක ස්වාමීන් වහන්සේලා ද බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ද්‍රවිඩ භාෂාවෙන් පරිවර්තනය කළ නීති අණපනත් නීති වෙළුම් වශයෙන් සම්පාදනය කර එහි ප්‍රථම නීති වෙළුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අද ජනාධිපති කාර්යාලයේදී පිළිගැන්වීය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත ඌනා මැක්කෝලි යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

අදහස් 1ක් ඇත

we tried several times to log into the above web site, but failed.

නව අදහස දක්වන්න