සොහොන් බිමක අවුරුදු 08ක් ජීවත්වූ මිනිසෙක් | දිනමිණ

සොහොන් බිමක අවුරුදු 08ක් ජීවත්වූ මිනිසෙක්

තම ජීවිතයේ 75 වැනි සැනසුම් කණුව ගෙවමින් සොහොන් කනත්තක ජීවත්වන පුද්ගලයෙක් පසුගියදා හමුවිය.

"සිතුදේය නොමවෙයි.නොසිතූ දෙයම වෙයි.ලෝ දම් කැරකෙනවා."යන පැරණි ගී පදවැල සැබෑ කරමින් එම වයෝවෘද්ධ පුද්ගලයා මට හමුවූයේ ගලේවෙල බේලියකන්ද සොහොන් කනත්ත තුළ මළමිනී තැබීමට ඉදිකර ඇති ශාලාවක කොන්ක්‍රීට් ලෑල්ලක වාඩි වී සිටියදීය.

මා කවුදැයි ඔහුට හඳුන්වා දීමෙන් අනතුරුව පිළිසඳරව එක්විය.

ඔහු සිය ජීවිත කතාව මෙසේ විස්තර කළේය. "මගේ ගම පහළ හංවැල්ල ප්‍රදේශයයි.මට වයස අවුරුදු 75ක් පමණ වෙනවා.නම ඩී.ඩබ්ලිව්.රණවීර.

මගේ අනන්‍යතාවය ඔප්පු කිරීමට කිසිම ලියකියවිල්ලක් මා සතුව නෑ.මම අවිවාහකයි.වයස අවුරුදු 50දී පමණ මම හංවැල්ල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස රැකියාව කළා.

එසේ රැකියාව කරද්දී මම අල්ලස් චෝදනාවකට වරදකරු වී සිර ගත වුණා.

කෙසේ වෙතත් අභියාචනාවක් ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් මම නිදහස් වුණා.ඊට පසු මම ගම් පළාතෙන් පිටතට පැමිණ අනුරාධපුර පිරිවෙණක ඉංග්‍රීසි ඉගැන්නුවා.

ඊට පසු කුරුණෑගල ප්‍රදේශයේත් උපකාරක පන්ති කළා.පන්සල්වලත් හිටියා.එහෙම ඉඳලා බේලියකන්ද සොහොන් බිමට ඇවිත් අවුරුදු 8ක් විතර වෙනවා.

මම කිසිවෙකුගෙන් කිසිවක් යදින්න යන්නේ නෑ.ඊට හේතුව ඇතැම් අය යමක් දෙන්නේ අකමැත්තෙන් නිසයි.දුන්ණොත් පමණක් ගන්නවා.

ගමේ නෑදෑයෝ හිටියත් මම ඔවුන්ට කරදර කරන්න යන්නේ නෑ.මේ අවට සිටින අය මට නන් අයුරින් උදවු කරනවා.ඒ නිසා ජීවිතයේ අවසාන කාලයේ මෙතනම ජීවත්වෙන්නයි මම අදහස් කරගෙන ඉන්නේ.

මම මියගිය පසු මේ පැත්තේ මිනිස්සු මාව මෙම සොහොන් බිමේම භූමදානය කරාවි..."යයි සොහොන් කොත් දෙස හිස් බැල්මක් හෙලමින් මේ වයෝවෘද්ධ පුද්ගලයා පැවසීය.

චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි මේ පුද්ගලයා ජීවිතය ගැන කිසියම් කළකිරුණු ස්වාභාවයකින් සිටින සෙයක් පෙනේ

.ඔහු පාවිච්චි කරන සබන්,දත්බෙහෙත්,රෙදිපිළි,ආදී අඩුම කුඩුම කාඩ්බෝර්ඩ් පෙට්ටි කිහිපයක පිරිසිදුව හා පිළිවෙලකට අසුරා තබා ඇති අන්දම දක්නට ලැබිණි.ඔහුට ජීවත්වීමට ගැටළුවක් නැතුවා සේය.

රෑ වෙනවා,එළිවෙනවා, පමණක් ඔහුට දැනෙනු ඇත.ලෝකයා සුව පහසු යහන්වල රාත්‍රීය ගත කරද්දී ඔහු සීතල සිමෙන්ති බිමක සුලං වදිමින් නිදාගනී.

ඔහුගේ තනි නොතනියට රාත්‍රී කාලයේ සිටින්නේ නිශාචර පක්ෂීන් පමණි.

ඔහු මට නොකියූ තවත් බොහෝ දේ තිබිය හැකිය.අවට ප්‍රදේශවාසීන් පවසන්නේ මේ පුද්ගලයාගෙන් තමන්ට කිසිඳු හිරිහැරයක් හෝ කරදරයක් නැති බවයි.

සමාජයේ සිටින විවිධාකාර පුද්ගලයන්ගෙන් ඔහුද තවත් අයෙකි.ජීවිතයක හැටි.....

(ගලේවෙල මධ්‍යම සමූහ පී.ජී.ගුණතිලක)

නව අදහස දක්වන්න