ටියුෂන් එකෙන් පාක් එකට...! | දිනමිණ

ටියුෂන් එකෙන් පාක් එකට...!

 අපේ රටේ තරුණ පරම්පරාව කුමන දිශාවකට සේන්දු වෙමින් සිටින්නේද? ඔවුනට අනාගතයක් තිබේද? වැනි ගැටලු අප ඉදිරියෙහි ප්‍රාදූර්භූත වන්නේ තරුණ පරපුර විසින් ම කරනු ලබන ක්‍රියාදාමය මතය. දිනපතා පුවත්පත් හා වෙනත් මාධ්‍ය ඇසුරු කරන විට තරුණ පරපුරට අදාළ විශේෂ ප්‍රවෘත්ති ගණනාවක් ප්‍රසිද්ධියට පත්වේ. ඒවායින් ගම්‍ය වන්නේ එක අතෙකින් තරුණ පරම්පරාව අයාලේ යන බව ය. තව අතෙකින් තරුණ පරම්පරාව සාහසික වී ඇති බවය. තවත් අතෙකින් ගම්‍ය වන්නේ ඔවුනට කිසිදු සැලැසුමක් හා අනාගත වැඩපිළිවෙළක් නැති බවය. මෙබඳු තරුණ පරපුරකට රට භාරදිය හැකි ද?

ගම්පහ ප්‍රදේශයේ සිද්ධියක් ඊයේ පුවත්පත් වාර්තා කර තිබිණි. එම වාර්තාවට අනුව තරුණ-තරුණියෝ අසූ හතක් අදාළ ප්‍රදේශය තුළ අයාලේ ගොස් සිටිති. මහජනයාගේ පැමිණිලි කිරීම්වලින් අනතුරුව පොලිසිය ක්‍රියාත්මක වී පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. මේ තරුණ පිරිස ‘ටියුෂන් ක්ලාස්’ යන මුවාවෙන් ගෙදරින් පිට වී නගරයට පැමිණ ජෝඩු වශයෙන් විසිර ගොස් ඇත. සමහරු දුම්රිය ස්ථානයේ පෙම් කරමින් සිටියෝ ය. තව සමහරු උඩුගම්පොළ පොකුණ ආශ්‍රයෙහි මං තීරුවෙහි පෙම් කරමින් සිටියෝ ය. තවත් සමහරු අත්වැල් බැඳගෙන ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයේ ඇවිදිමින් සිටියෝ ය. මෙය නුසුදුසු දෙයක් නොවේද?

මේ අතර තරුණයන් අටදෙනකු ළඟ තිබී මත්ද්‍රව්‍යවලට ආදේශක වශයෙන් ගත හැකි ද්‍රව්‍ය ගණනාවක් ද සොයාගත් බව පොලිසිය පෙන්වා දෙයි. උපකාරක පන්තිවලින් පැන ගිය මේ අයගේ ඉලක්කය පැහැදිලි නැත. කුමක් වුව එම ඉලක්කය යහපත් දෙයක් නොවන බව ඉතා පැහැදිලිය . කමින් බොමින් තම ආරක්ෂාව සලසාගත හැකි ක්‍රම ශ්‍රී ලංකාවේ පවතින්නේ වුව ඒ ගැන සැලැකීමක් මහජනයා අතර නැත. හොරුන් ගැන කීවද සියලු හොරුන් අල්ලන ප්‍රතිපත්තියක් රජයට තිබේ ද යනු ගැටලුවකි. සමහරු ඉතා කැමැත්තෙන් සිරභාරයට යටත් වී රිමාන්ඩ්ගත වන්නේ එමඟින් දේශපාලන ප්‍රතිරූප තවදුරටත් ගොඩනඟා ගත හැකි බැවින් ය.

කුමක් වුව තරුණ පරපුර මීට වඩා බුද්ධිමත් විය යුතුය. මීට සති කිහිපයකට පෙර එක පිට එක දියේ ගිලීම් තුනක් වාර්තා විය. එය පුවත්පත් වාර්තාකර තිබුණේ ගම්පොළ තුනයි, උඩවලව දෙකයි, මුතූර් තුනයි වශයෙන් ය. ගම්පොළ දී ළාබාල පාසල් දරුවෝ තිදෙනෙක් මිය ගියහ. ඒ ගැන රටම කම්පා විය. එහෙත් ප්‍රතිඵලයක් නැත. වැරැද්ද හඳුනාගන්නා විට ද දරුවන් විනාශය කරා ගෙන ගොස් තිබිණි. ඊට ආසන්න දිනයකදී උඩවලව ජලාශයේ ගිලී තවත් තරුණයෝ දෙදෙනෙක් මිය ගියහ. තරුණයෝ යැයි කියූවද ඔව්හු පාසල් සිසුවෝ ය. මුතූර් මුහුදට ගසාගෙන ගියේ ද ආගමික කටයුත්තක් සඳහා ගිය තරුණයන් ය. මේ මරණවලට හේතුව හිතුවක්කාරකම ය. නොහික්මුණුකම ය .

අපේ තරුණ පරම්පරාව වැඩිහිටි ඔවදන් පිළිගන්නේ නැත. උපදේශන පිළිගන්නේ නැත. එය තරුණ ස්වාභාවය යැයි පිළිගත හැකි වුව ඔවුන් අනතුරුදායක තත්ත්වයන් හඳුනාගත හැකි තැනක සිටිය යුතුය. ජපන් දරු‍වෝ සුනාමිය හඳුනති. ඉතාලි දරුවෝ යමහල් විදාරණය හඳුනති. ඒ අධ්‍යාපනය නිසාය. ජපානයේ විෂය මාලාවට සුනාමිය ගැන ඉගැන්වීම අනිවාර්ය කර තිබේ. අමෙරිකාවේ පාසල් දරුවන්ට ක්‍රීඩාව සුවිශේෂය. ඒ අතරින් පිහිනීම ප්‍රමුඛම තැනක් ගනී. අමෙරිකානුවකු දියේ ගිලී මියයන්නේ කලාතුරෙකින් ය. මේ අනුව බලනවිට අපේ අධ්‍යාපනයේ ද වැරැද්දක් ඇති බව පෙනී යයි.

අපේ තරුණ ශිෂ්‍ය ප්‍රජාව ටියුෂන් යන මුවාවෙන් පැමිණ අයාලේ යන්නේ ඇයි? ඔවුනට එක අතෙකින් අනාගත අපේක්ෂා නැත. තව අතෙකින් මේ විභාග ක්‍රම ගැන විශ්වාසයක් නැත. රැකියා සම්පාදනය ගැන ද විශ්වාසයක් නැත. සියලු තැනම සිදුවන්නේ බලවත් ගනුදෙනු හා ව්‍යාපාර ය. ටියුෂන් කඩ යනු ව්‍යාපාරයකි. එහි ගුරුවරු මුදල ගැන මිස ශිෂ්‍යයන්ගේ අනාගතය ගැන නොසිතති. සමහර ගුරුවරු ශිෂ්‍ය ප්‍රජාවගේ ආකර්ෂණය දිනාගැනීම සඳහා කුණුහරුපයක් - දෙකක් ද කියති. ඇතැම් ටියුෂන් ගුරුවරුන්ට තමා උගන්වන විෂයයට අදාළ සුදුසුකම් ද නැත.

දැනට පවතින තත්ත්වයට අනුව ගෙදරින් නික්මෙන තරුණ සිසුවාට හෝ සිසුවියට හෝ මුළු ලෝකයම විවෘතය. ටියුෂන් කඩය ඔවුන් ගැන වගකියන්නේ නැත. ටියුෂන් කඩයට ගිය සිසුවා ගැන පාසල වගකියන්නේ ද නැත. මාපියන්ගේ අදහස වන්නේ දරුවා ඉතා හොඳින් අධ්‍යයන කටයුතුවල යෙදෙන බවය. එම අධ්‍යයන කටයුතු ගැන සොයා බලන්නට මාපියන්ට ද වේලාවක් නැත. ඔව්හු ඊට වඩා බරපතළ තරගයක නියුක්ත වී සිටිති. මේ සිදුවීම් පෙළ එකට ගැට ගසා බලන විට බරපතළ අනතුරක් පිළිබඳ පෙරනිමිත්තක් අපට පෙනී යයි.

ශිෂ්‍ය පරම්පරාවට වගකියන්නේ කවුද යන ගැටලුව මෙහි ලා ප්‍රමුඛ වේ. රටේ නිදහස් අධ්‍යාපනයක් ක්‍රියාත්මක ය. ඒ තරමටම පෞද්ගලික අධ්‍යාපනයත් ක්‍රියාත්මක ය. අධ්‍යාපනය ප්‍රචලිතවීම සඳහා නූතන ලෝකය මේ ක්‍රම දෙක ම භාවිත කරයි. එහි වරදක් නැත. එහෙත් ශිෂ්‍ය ප්‍රජාව නිසි මඟට යොමු කර ගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් අපට තිබිය යුතුය. සිසුන් අයාලේ යන්නේ අසහනය නිසා යැයි කිව හැකිය. අධීක්ෂණයක් නැතිකම නිසා යැයි කිව හැකි ය. ඊට අදාළ තවත් හේතු සාධක ඉදිරිපත් කළ හැකිය.එහෙත් හේතු දැක්වීමෙන් පලක් නැත. අවශ්‍ය වන්නේ මේ තත්ත්වයෙන් ගොඩ යා හැකි ක්‍රමයකි.

මා පියෝ තම සේසතම වැය කොට දරුවනට අධ්‍යාපනය ලබාදීමට කැප වෙති. ඉන් ප්‍රකාශ වන්නේ මාපියන් සතු දාරක ස්නේහයයි. එහෙත් දරුවෝ මාපියන්ගේ අ‍පේක්ෂා බිඳ දමමින් ඔව්හු ද විනාශ වෙති. කළ යුත්තේ කුමක්ද?

නව අදහස දක්වන්න