සිංහල සිනමාව නොදැවී හැත්තෑවයි | දිනමිණ

සිංහල සිනමාව නොදැවී හැත්තෑවයි

 ක්‍රිකට් ක්‍රීඩාවේදී නම්, පිතිකරුවකුගේ නොදැවී හැත්තෑව ක්‍රීඩාලෝලීන්ගේ අපේක්ෂා දල්වන්නේ පිතිකරුගේ ශතකයක සිහිනයක් වෙනුවෙනි. එහෙත් අපගේ සිංහල සිනමාව නොදැවී හැත්තෑ වසර සපිරූ ජනවාරි 21 වැනිදා ක්‍රිකට් ක්‍රීඩකයකුගේ ශතකයක් වෙනුවෙන් දැල්වෙන අපේක්ෂාව මෙරට සිනමා ලෝලීන්ගේ හෝ ප්‍රේක්ෂකයන්ගේ සිතෙහි දැල්වී ඇද්ද යන්න සිතා ගැනීමට අපහසු තත්ත්වයකි. 1947 - 2017 දක්වා ගෙවී ගිය දශක හතක කාලය තුළ සිංහල සිනමාවේ ස්වර්ණ ජයන්තිය ද පසු වී තවත් වසර විස්සක්, දශක දෙකක් ගෙවී ඇතිමුත්, අපගේ සිනමා කලාවේ පුනරුද අවධියක් මෑත දශකයක් තුළ දක්නට නොවීම කනගාටුවට හේතුවකි. වසරකට සාමාන්‍යයෙන් තිරගත වූ සිංහල චිත්‍රපට සංඛ්‍යාව හතක් හෝ අටක් වූ පණහ දශකයේ රේඛාව හැරෙන්නට සිංහල යයි සැලකීමට හැකි චිත්‍රපට බිහිවූවා දැයි යන්න ප්‍රශ්නයකි. එකල ජනප්‍රියව පැවති වේදිකා නාට්‍ය විශේෂයෙන් මීගමුවේ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ ජනප්‍රිය නාට්‍ය ඉන්දීය චිත්‍රාගාරවලදී රූගත කොට මෙරට සිනමා ශාලාවල ප්‍රදර්ශනය කළ ද, එය අපගේ චිත්‍රපටද යන්න ප්‍රේක්ෂකයන්ට ප්‍රශ්නයක් වූ බවක් නොපෙනේ. ප්‍රථම කතානාද චිත්‍රපටය, කඩවුණු පොරොන්දුව චිත්‍රපට විචාරක ජයවිලාල් විලේගොඩ ගේ හැඳින්වීම අනුව එකල භාෂා දොළහක් කතා කරමින් සිටි ඉන්දීය සිනමාවට තවත් එක් භාෂාවක් එක්වීම පමණි. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මෙන් නොව ඔහුට සමගාමීව චිත්‍රපටකරණයට බට සිරිසේන විමලවීරගේ චිත්‍රපට දේශීය කතා වස්තු මත නිර්මාණය වූ චිත්‍රපට වීය. එහෙත් ඒවා චිත්‍රපට ලෙස කලාත්මක ගුණයෙන් වියුක්ත, සැබෑ ලෝකයෙන් ඈත්වූ නිර්මාණ විය. මේ දශකයේ චිත්‍රපට සඳහා සම්මත වට්ටෝරුවක් වූ බව පැහැදිලිය. පෙම්වතා, පෙම්වතිය, දුෂ්ටයා, දුප්පත් පෙම්වතා හෝ දුප්පත් පෙම්වතිය, කුලවන්ත, කුලහීන පවුල්, පැය තුනක් හෝ ඊට වැඩි කාලයක් තුළ දර්ශනය වූ චිත්‍රපටයක යටත් පිරිසෙයින් ගීත දහයක් හෝ දොළහක් වූ බව පෙනේ. කඩවුණු පොරොන්දුවෙහි ගීත දොළහක් වූ අතර අශෝකමාලා හි ගීත දහයක් වීය. කපටි ආරක්ෂකයා හි ගීත දහහතරක් ඇතුළත්ව තිබිණ. ගීතයක ධාවන කාලය විනාඩි හතරක් පමණ වුවත් ගීත දහහතරක් සඳහා පැයකට ආසන්න කාලයක් චිත්‍රපටයෙන් වෙන්වී තිබිණ. වට්ටෝරුවට අවශ්‍ය කරන භාණ්ඩ අතර මල්වතු, මුහුදු වෙරළ පෙම් ජවනිකා, සිහින දකිමින් ගයන ගීත, පෙම්වතාගේ පාර්ශ්වය හා දුෂ්ටයාගේ පාර්ශ්වය අතර සිදුවන සටන් ජවනිකා, සමාජ ශාලා දර්ශන, ස්ත්‍රීන් පැහැරගෙන යාම්, ආයා අප්පු විනෝද ජවනිකා මෙන්ම නිත්‍ය විහිළුකරුවන්ගේ හාස්‍යයෙන් තොර විහිළු තහළු ද චිත්‍රපටයේ අනිවාර්ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වේ. එහෙත් පණහ දශකය ආරම්භයේදී ම සිංහල සිනමාවේ තිස්නව වන චිත්‍රපටය ලෙස ආචාර්ය ලෙස්ටර් ගේ රේඛාව නරඹන්නට ලැබුණ ද, එය සිංහල සිනමා වංශ කතාවේ සැබෑ සිංහල චිත්‍රපටය ලෙස සටහන් වුවද, හැටේ දශකයට පිවිසෙන තෙක් අපගේම යයි කිව හැකි චිත්‍රපටයක් තිරගත නොවූ බව ඉතිහාසය පවසයි.

හැටේ දශකය ඇරැඹුමෙහිදීම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් රේඛාවට නොදෙවැනි වූ වෙනස් සිංහල චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන්ට පිරිනමමින් ඉන්දීය සිනමාවේ ආභාසයෙන් මිදී අපූරු චිත්‍රපටයක් ලෙස පොදුජන ප්‍රේක්ෂකයන්ට ළං වූ සංදේශය ඉතිහාසයට එක් කළේය. මිහිරි ගීත හතකින් අපූර්ව ගේය පදරචනයෙන් ස්වතන්ත්‍ර ගී තනුවලින්, මිහිරි ගායනාවෙන් පොහොසත් වූ සංදේශයෙහි නළුවරණය ද (Casting) නව හැඩයක් ගත් සෙයක් පෙනිණ. වට්ටෝරු ලක්ෂණවලින් මිදුණු සංදේශයෙහි රඟපෑ කාන්ති ගුණතුංග, අයිරාංගනී මීදෙණිය, ගාමිණී ෆොන්සේකා, ෂේන් ගුණරත්න, ආතර් වැන්ලැන්ගන්බර්ග්, රෙග් වැන්ක්‍යුලන්බර්ග් (පෘතුගීසි කපිතාන් හැලයිතාන්) වින්සන්ට් වාස්, හියුගෝ ප්‍රනාන්දු, ඩේවිඩ් ධර්මකීර්ති ආදීන්ගේ රංගන ඉතා ඉහළ තලයක වීය. ප්‍රධාන චරිතයට තෝරාගෙන තිබූ ආනන්ද ජයරත්නගෙන් (බණ්ඩාරරාල) කැරලි නායකයා ලෙස අවශ්‍ය වූ රංගනය ඉදිරිපත් නොවූ බව විචාරක මතය විය. හැටේ දශකය ආරම්භක දශකයට වඩා ප්‍රේක්ෂක ප්‍රසාදයට ලක්වූ චිත්‍රපට ප්‍රදර්ශනය වූ දශකයක් වීම පෙනේ. ඉන්දීය ආභාසයෙන් කෙමෙන් මිදී කලාත්මක මෙන්ම ජනප්‍රිය වාණිජ ලකුණ ද සටහන් කළ චිත්‍රපට රැසක්ම ප්‍රදර්ශනය වීම කැපී පෙනේ. කුරුළු බැද්ද, රන්මුතු දූව, සිකුරු තරුව, ගම්පෙරළිය, ගැටවරයෝ, චණ්ඩියා, සාරවිට, දෙලොවක් අතර, සත්සමුදුර, පරසතු මල්, රන්සළු, ගොළු හදවත, දහසක් සිතුවිලි, හන්තානේ කතාව, බක්මහ දීගේ ඒ අතර වේ. ඉනුදු ගම්පෙරළිය මෙරට සිනමා වංශකතාවට ලෝක සිනමාවේ පරිච්ඡේදයක් වෙන්කරමින් 1965 නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි රණ මයුර සම්මානය දිනා ගත්තේය. හැටේ දශකයට එක් වූ කලාත්මක චිත්‍රපට රැසක්ම ආචාර්ය ලෙස්ටර්ගේ අධ්‍යක්ෂණ වීම ද වෙසෙනින්ම සඳහන් කළ යුතුය.

1967 වර්ෂයේ සත් සමුදුර තිරගත වීම මෙරට කලාත්මක සිනමාවේ නව දිශානතියක ඇරැඹුම විය. ආචාර්ය සිරි ගුනසිංහ, වසන්ත ඔබේසේකර, ඩී. බී. නිහාල්සිංහ වැන්නන්ගේ ආගමනය සාකල්‍යයෙන්ම වැදගත් විය.

සිංහල සිනමාවේ තුන්වන දශකය, එනම් 1970න් ඇරැඹෙන අවධිය අද දවසේ හැත්තෑ වසර සපිරූ සිනමා වංශකතාවේ ස්වර්ණමය යුගය ලෙස මතකය. චිත්‍රපට කලාවේ මෙන්ම කර්මාන්තයේ ද පෙරළියක් සිදු වූ දශකයක් වන්නේ මෙරට චිත්‍රපට කර්මාන්තය රජයේ පාලනය යටතට පත්කිරීමට එදා බලයට පත්වූ සමඟි පෙරමුණු රජය කටයුතු කිරීමයි. මැතිවරණ ව්‍යාපාරයේදී නළු නිළි හවුල චිත්‍රපට කර්මාන්තය සඳහා රාජ්‍ය සංස්ථාවක් ඉල්ලා හඬ නැඟූ අතර 1972 දී ප්‍රථමවරට මෙරට සිනමා කර්මාන්තය වෙනුවෙන් රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවනු ලැබීය. හැත්තෑව දශකය ආරම්භයේදීම සිනමාවට පිවිසුණු පූර්ව අත්දැකීම් සහිත වසන්ත ඔබේසේකර (වෙස්ගත්තෝ) මෙන්ම කලාංශ රැසකම ප්‍රතිභාන්විතයා වූ මහගම සේකර තම ප්‍රථම සිනමා නිර්මාණය තුංමං හන්දිය සමඟ සිනමා වංශකතාවේ ‍දෙසිය දහඅටවන චිත්‍රපටය සටහන් කිරීම ද මේ දිගු ගමනෙහි මතක අතර සිහි වේ. 70 දශකය ඇරැඹුමෙහිදීම මෙරට සිදුවූ දේශපාලන පෙරැළියෙන් පසු ඇතිවූ තරුණ පිබිදීම මෙරට සියලු කලාවන්හි මෙන්ම ජනජීවිතයෙහි ද වෙනස්කම් රැසකට බලපෑම් කළ අවස්ථාවක් විය. 1971 කැරැල්ල යනුවෙන් සඳහන් වූ රැකියා විරහිත, උගත් තරුණ පිරිසකගේ පිබිදීම සිනමාව, සාහිත්‍යය, සංගීතය, වේදිකා නාට්‍ය ආදී වූ සමස්ත කලාවේම පරිවර්තිත යුගයක ඇරැඹුම ලෙස අත්වි‍න්දෙමු. සිනමා කලාවේ සිදුවූ පරිවර්තනය පෙර නොවූ විරූ සිනමාත්මක හා කලාත්මක සිනමාවක් වෙනුවෙන් බිහිවූ සුන්දර අවදියක් සේ මතකයට ඒ. චිත්‍රපටයෙන් අප දන්නා හඳුනන ගැහැනුන්, මිනිසුන් ඔවුන්ගේ චර්යාවන් අන්තර් සබඳතා යෞවනය, විවාහ ජීවිතය, සමාජ හා දේශපාලන සාධක, විරැකියාව, ජාතීන් අතර වූ විරසකය ආදී තේමා මත බිහිවූ චිත්‍රපට රාශියක නම් ගම් හැත්තෑව දශකය පුරා සිනමා වංශකතාවේ ලියැවිණ. මේ දශකයෙහි ද පෙර දශකය මෙන් සිංහල සිනමාවේ විශිෂ්ටතම අධ්‍යක්ෂවරයා සේ සැලකෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ නිධානය, 1972 දී තිරගත වීම ගම්පෙරළියෙන් පසු අපගේ සිනමාව පිහිට වූ අනභිභවනීය නිර්මාණ වාර්තාවකි. තරුණ අධ්‍යක්ෂවරුන්ගේ ආගමනය මෙන්ම ඔවුන් ගේ බොහෝ නිර්මාණ සඳහා ද 70 දශකයේ සිනමා ඉතිහාසයෙහි විශාල ඉඩකඩක් හිමිව තිබෙන'යුරු පෙනේ. ඩී. බී. නිහාල්සිංහගේ වැලිකතර (1971), ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව (1974), එයා දැන් ලොකු ළමයෙක් (1977), දෑස නිසා (ආචාර්ය ලෙස්ටර් - 1975), මතික් සන්දාසාරහර කළුදිය දහර (1975), වසන්ත ඔබේසේකරගේ 'වල්මත් වූවෝ' (1976), විජය ධර්ම ශ්‍රීගේ “දුහුළු මලක්” (1976), පතිරාජගේ බඹරු ඇවිත් (1978), සුනිල් ආරියරත්නගේ සරුංගලේ (1979) වැනි සිනමා නිර්මාණ නොදැවී, එහෙත් මන්දගාමී පිතිකරුවකු ගේ පහරදීම් සිහිගන්වන වර්තමාන සිංහල සිනමාවේ ජවසම්පන්න නිර්මාණ සේ දැනේ. අහස් ගව්ව යෞවන ජීවිත හරස්කඩක අභ්‍යන්තරය සලකුණු කළ අතර, වල්මත් වූවෝ උගත් තරුණ පරපුරේ අපේක්ෂා භංගත්වය, ඔවුන්ට මුහුණපෑමට සිදුවූ විරැකියා ප්‍රශ්නය දෙස නව දෘෂ්ටියකින් කතා කිරීම, ධීවර ගම්මානයක සුපුරුදු ජනජීවිතය දෙදරවා ගිය නාගරික ව්‍යාපාරික තරුණ බලවේග හැසිරීම් ස්වභාව ප්‍රතිනිර්මාණය වූ බඹරු ඇවිත් සිනමානුරූපී සිනමාවක හැඩරුව අප දුටු සිනමා කෘති වේ. 1976 දී තිරගත වූ දුහුළු මලක්, ආදරය, විවාහ ජීවිතය, අසම්මත ප්‍රේමය ආදී වූ ප්‍රශ්න හමුවේ ස්ත්‍රී පුරුෂ හැසිරීම් එමඟින් ඔවුන්ගේ ජීවිත මුහුණ දෙන ඛේදවාචකය අසම්මත ආදරයේ සුකුමාරත්වය, අපූරුවට ප්‍රකට කළ චිත්‍රපටයක් ලෙස ප්‍රේක්ෂක සිත් හි රැඳී පවතී. හැත්තෑව දශකයේ අගභාගයේ තිරගත වූ සුනිල් ආරියරත්න ගේ සරුංගලේ චිත්‍රපටය, මේ දශකයේ විශිෂ්ට චිත්‍රපට අතරට එක්වන්නේ එහි තේමාවෙහි වූ කාලීන බව ද සිනමා කෘතියක් ලෙස එහි නිර්මාණාත්මක ගුණයෙහි වූ අපූර්වතා නිසා ද බව පෙනේ.

අසූව දශකය තුළ තිරගත වූ චිත්‍රපට අතර කලාත්මක සිනමා නිර්මාණ සේ සැලකිය හැකි චිත්‍රපට අල්පයකි. තරුණ අධ්‍යක්ෂවරයෙක් ලෙස වේදිකාවෙන් සිනමාවට පැමිණි ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් (1980), තිස්ස අබේසේකරගේ කරුමක්කාරයෝ (1980), ධර්මසේන පතිරාජගේ පාරදිගේ (1980), සුනිල් ආරියරත්න ගේ සිරිබෝ අයියා (1980), ඩී. බී. නිහාල්සිංහගේ රිදී නිම්නය (1982), වසන්ත ඔබේසේකරගේ දඩයම (1983), කැඩපතක ඡායා (1989), පරාක්‍රම නිරිඇල්ලගේ සිරිමැදුර (1989) වැනි චිත්‍රපට වුවත් දශකයේ විශිෂ්ටතම සිනමා කෘතිය වන්නේ වසන්ත ඔබේසේකරගේ දඩයම බවයි මගේ විශ්වාසය. අසූව, අනූව දශක තුළ මෙරට සිනමාවේ ජනප්‍රිය හා වාණිජමය ලක්ෂණවලින් හෙබි සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් කැඳවා ගැනීමට සමත් වූ චිත්‍රපට නිර්මාණය කළ අධ්‍යක්ෂවරුන් අතර එච්. ඩී. ප්‍රේමරත්න, ටී. අර්ජුන, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා ආදීන් වේ.

අතීතයෙන් වර්තමානයට සෙමින් පියනඟන සිංහල සිනමාව පෙරදා සිට වර්තමානය තෙක්ම සිනමාව අත්නොහැර සිටින ධර්මසේන පතිරාජ, සුමිත්‍රා පීරිස්, සුනිල් ආරියරත්න, බුද්ධි කීර්තිසේන, උදයකාන්ත වර්ණසූරිය, සෝමරත්න දිසානායක, බෙනට් රත්නායක, ඉනෝකා සත්‍යාංගනී, ජැක්සන් ඇන්තනී, ජයන්ත චන්ද්‍රසිරි ආදී ප්‍රවීණ හා නවීන සිනමාකරුවන්ගේ නිර්මාණ හේතුකොට ගෙන ද, අනූව දශකය පමණ සිට මෙරට සිංහල සිනමාව, එතෙර සිනමාවට යා කරන්නට තම නිර්මාණ කෞශල්‍යය ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, ප්‍රසන්න ජයකොඩි වැනි තරුණ නිර්මාණකරුවන් ද හැත්තෑව පසුකරන වයෝවෘද්ධ සිනමාව, පා පැටලී බිම ඇදවැටෙන්නට නොදී රැකගැනීමට උත්සාහ ගත්තන් ලෙස දකිමි. මේ පිරිස ගමන් ගන්නා මඟෙහිද සිනමා මාධ්‍යය හඳුනාගෙන නිර්මාණකරණයේ නිරතව සිටින ජවසම්පන්න නව තරුණ පරම්පරාවක මුහුණු ද දකින්නට ලැබීම සිතට මඳ අස්වැසිල්ලක් හෝ ගෙනෙනා පුවතක් ලෙස සටහන් කරමි.

බුද්ධදාස ගලප්පත්ති
[email protected]

 

නව අදහස දක්වන්න