අම්මගෙ මස් කරිය | දිනමිණ

අම්මගෙ මස් කරිය

 ‘‘ටොම්සන් මහත්තයා.. ඇම්බන් මහත්තයා.. ඉක්මනට දුවගෙන එන්නකෝ..’’ උන්නැහේගේ කෑගැහිල්ලට දෙදෙනාම සාලයට දුවගෙන ආවෝය.

‘‘ඇයි උන්නැහේ.. මොකක් හරි කරදරයක්ද? ’’ කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

‘‘කරදරයක්මත් නෙවෙයි ටොම්සන් මහත්තයා... මං මේ රේඩියෝ එක අහගෙන හිටියේ... මෙන්න එක සැරේම වෙළෙඳ දැන්වීමක් ගියා... මට ඒක හිතාගන්නත් බෑ.. මොකක්ද මේ කියන්නේ කියලා.. ඒක මට මේ කටින් කියන්නත් මොකක්ද වගේ..’’ කියා උන්නැහේ කීවේය.

‘‘හරි ඉතින් අහගෙන ඉම්මුකෝ... වෙළෙඳ දැන්වීමක් නම් ආයෙත් සැරයක් යයිනේ... අහගෙන ඉම්මු..’’ කියා ටොම්සන් මහත්තයා රේඩියෝව ඉදිරිපිට පුටුවේ හිඳගත්තේය. ඇම්බන් මහත්තයාත් ඒ අයිනේ පුටුවක හිඳගත්තේය. ඒ වෙලාවේ රේඩියෝවෙන් ඇහුණේ ගීතයකි. ගීතයක් කීවාට ඒක කකුල් දෙකටහැදි කෑගැසිල්ලකි.

‘‘ෂා.. හරිම රසයි අම්මගෙ මස්කරිය... ’’ කියා දැන්වීම නැවතත් රේඩියෝවෙන් ඇසුණේය.

‘‘ඉතින් මොකක්ද උන්නැහේට කලබලවෙන්න තියෙන්නේ... ඒ කියන්නේ මස් කරියක් ගැනනේ...’‘ කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘‘හරි.. මස් කරියක් ගැන තමයි.. කාගේ මස්ද?’’

ටොම්සන් මහත්තයාත් ඇම්බන් මහත්තයාත් එකිනෙකාගේ මුහුණු බැලුවෝය.

‘‘ඇත්ත නේන්නම් ටොම්සන් මහත්තයා... මේ කියන්නේ අම්මගෙ මස් ගැනනේ... එහෙම නෙවෙයිද?’’ කියා ඇම්බන් මහත්තයා කීවේ පුදුමයෙනි.

‘‘කියන්නේ නම් අම්මගෙ මස් කරිය ගැන තමයි. ඒ කියන්නේ අම්මගෙ මස් කරියකට හදලද? කිව්වත් වගේ කියවෙන්නේ නම් එහෙම තමයි...’’ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ඒක තමයි ටොම්සන් මහත්තයා.. මට එක පාරටම ඇහුණේ එහෙම තමයි... එහෙමත් මස් කරි තියෙනවද? මට තේරෙන්නේ නෑ... අම්මගෙ කිරි නම් අපි බීලා තියෙනවා.. ඒ වුණාට අම්මගෙ මස් කරි රස කර කර කාලා තියෙනවාද? මට තේරෙන්නේ නෑ...’’ කියා උන්නැහේ කීවේය.

‘‘මොනවා කරන්නද උන්නැහේ...? මේක අබුද්දස්ස කාලයක්නේ...’’ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘අපි කතා කරලා බලමුද ඔය රේඩියෝ එකට... සමහර විට තවත් රේඩියෝවල ඔය දැන්වීම යනවා ඇති...’’ කියා ඇම්බන් මහත්තයා යෝජනා කළේය.

‘‘ඒක හොඳයි.. ඉන්න මං මගෙ දුරකථනයෙන් කතා කරන්නම්. ’’ කියා ටොම්සන් මහත්තයා අර ‘කාටවත් යටත් නැති’ ගුවන් විදුලියට කතා කළේය.

‘‘මං මේ ටොම්සන් මහත්තයා කතා කරන්නේ...’’

‘‘ඔව්.. ටොම්සන් ... මොකක්ද කැමති ගීතය... තියෙනවානං දෙන්නං... ආයේ මොනවද? අපි ගාව තියෙනවා නියමෙට හිට් වෙන සින්දු ටිකක්... ඉතින් මොකක්ද සින්දුව..? කාවද මේකට එකතු කරගන්නේ? ටොම්සන් තාම ඉස්කෝලේ යනවද? නැතිනම් මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයට ලියලා ප්‍රතිඵල එනකං ගෙදර ඉන්නවාද?’’ කියා නිවේදකයා කියාගෙන කියාගෙන ගියේය.

‘‘ආ.. මං ගැනද ඔය අහන්නේ...? මං සාමාන්‍ය පෙළ ලියලා නෑ... මං ඉස්කෝලේ ගිහිල්ලත් නෑ.. ඒ වුණාට රේඩියෝ එක අහනවා...’’

‘‘අන්න බලන්න... හැමෝටම ආදර්ශක් දෙන අසන්නෙක්.... ඒ කියන්නේ ගෙදර ඉඳලා ඉගෙන ගත්ත කෙනෙක්.. ඒ කියන්නේ ඉගෙන ගන්න ඉස්කෝලේ යන්න ඕනැම නෑ... ඒක නේද? ’’

‘‘මෙහෙමයි.. මං අහන්න හදපු දේ අහන්න දුන්නේ නෑනේ.. දැන් ඔය අම්මගෙ මස් ගැන කියන වෙළෙඳ දැන්වීම ඔය රේඩියෝවේ කවුද අනුමත කරලා තියෙන්නේ...?’’ කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

‘‘මොකක්ද? අම්මගෙ මස්? එහෙම එකක් ගියාද? ’’

‘‘ගියා නේන්නම්.. ඒකනේ අහන්නේ...? අඩු ගණනේ වෙළෙඳ දැන්වීමක වචන ටිකවත් ගළපා ගන්න බැරි රේඩියෝවක්ද ඕක.. ඇයි ඔය තරම් වගකීමක් නැතිව කටයුතු කරන්නේ? මේවා මේ රටේ ජනයාට අහන්න නේද දාන්නේ...? ’’ කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

‘‘දුරකථනය විසන්ධි වුණා... ටොම්සන් ආයෙත් උත්සාහ කරලා බලන්න.. සමහරවිට තාක්ෂණික දෝෂයක් වෙන්න ඇති... ’’

‘‘අර කිව්වත් වගේ මුං ඔක්කොටම තාක්ෂණික දෝෂ තමයි... ’’ කියා උන්නැහේ සිනහසුණේය.

‘‘කාටද කියන්නේ උන්නැහේ... අම්මගෙ මස් කරි රසයි කියන මාධ්‍යයක් නේ අපට තියෙන්නේ... හැබැයි මේවායේ ඉන්නේ නම් මාධ්‍ය ඔස්තාද්ලා... දැන්වීම් හදන්නෙත් ඔස්තාද්ලා... ඒවා විකාශ කරන්නෙත් ඔස්තාද්ලා... රටේ ජනයාගේ කරුමය තමයි...’’ ටොම්සන් මහත්තයා කීවේය.

‘‘අනික ටොම්සන් මහත්තයා... එක අතකට බැලුවාම මේවා ඔක්කොම විශාල බොරු... දැන් බලන්න පෝය දවසට මස් කඩ වහනවා.. ඔය සුපිරි වෙළෙඳසල්වල එදාට විතරක් ඒ පැත්ත වහලා දානවා.... ඒ වුණාට එහෙත් මස්පුච්චාගෙන කනවා... පාර දිගට මස් පුච්චනවා එළියේ... ඔය සුපිරි වෙළෙඳසල් තියෙන තැන්වලට ගියාම දිගටම තියෙන්නේ මස්පුච්චාගෙන කන අවන්හල්..’’

‘‘ඒක තමයි. ආදි කාලේනේ මස්පුච්චාගෙන කන්න පුරුදු වුණේ. ඒක මානව සමාජයේ ආදිකාලීන පුරුද්දක්නේ.. පස්සේ මානව සමාජය සංස්කෘති වෙනකොට මේ පුරුදු පෞද්ගලික වුණානේ..ඒ කියන්නේ මස්කන අයත් ඉන්නවා.. මස් නොකන අයත් ඉන්නවා.. ඉතින් මේ වගේ සමාජයක් - නිකම් සමාජයක් නෙවෙයි. අවිහිංසාව මුල්කරගත්ත සමාජයක කොහොමද මෙහෙම මාධ්‍යයෙන් මස් විකුණන්නේ...? ඒකට කිසිම සදාචාරයක් නැහැනේ..’’

‘‘අරකිව්වත් වගේ.. හරක් මස් ගැන නම් ලොකු විරෝධයක් සමාජයේ ගොඩනැගුණා තමයි.. ඒ වුණාට අනිත් මස්වලට ඒවා අදාල නෑනේ.. දැන් මේ බලපුවාම අම්මගෙ මස්කරි ගැන කවුරුවත් කතාකරන්නේ නෑනේ.. මේ විදිහට මස් රස කර කර කන එක මාධ්‍යයෙන් සමාජයට ඉදිරිපත් කරන එක ගැන කෝ විරෝධතාවක්... මේවා නිකම් බොරු තමයි... ’’ කියා උන්නැහේ කීවේය.

‘‘එහෙම තමයි.. තව හෙට අනිද්දට මොනවා මාධ්‍යයෙන් විකුණයිද දන්නේ නෑ.. සල්ලි හම්බ වෙනවා නම් ඕනැ දෙයක් විකුණන්න මාධ්‍ය උදව් කරයි... ඒක තමයි නිදහස් මාධ්‍ය කියන්නේ...’’ කියා ටොම්සන් මහත්තයා හුන් තැනින් නැඟිට එළියට යමින් කීවේය.

බන්දුල පී දයාරත්න
[email protected]

නව අදහස දක්වන්න