පවු කළ ගැහැනු | දිනමිණ

පවු කළ ගැහැනු

 හවස ඉර බහින්න ඔන්න මෙන්න කියලා තැඹිලිපාට ආකාසෙ පැත්තකට වෙලා ඉන්නවා. ආච්චි අම්මා නිල් පුංචි මල් වැටිච්ච සුදුපාට සාරිය ඇඳලා ඉස්තෝප්පුවෙ ආච්චි අම්මාටම අයිති පුටුවේ ඉඳගෙන පාර දිහා බලාගෙන ඉන්නවා. මම හැමදාමත් ආසකරපු සමන්පිච්ච සැන්ට් පුසුඹ ආච්චි අම්මගේ සාරියෙන් මිදිලා ඇවිත් මගේ නහය ගාව දඟ කරනවා. ඒ තමයි මම දවසෙ ආසම වෙලාව. ආච්චි අම්මට ලෝකෙ හැමදාම පෙනුනෙ තද කහපාට, තැඹිලි පාට වගේ පාටකින් මගෙ හිතේ. තදකළු පාට දවස් වුණත් කළඑළි පාටකින් පාට කරන්න ආච්චි අම්මට තිබුණෙ හරි අපූරු හැකියාවක්.

ඒත් එදා වෙනස් දවසක්. හේතුව හරියටම කියන්න දන්නෙ නැති වුණාට එයා එදා හිටියෙ දුකෙන්. වෙනදා තියෙන පාට පිරුණ හිනාව වෙනුවට මූණ කළු වලාකුළකින් වැහිලා තිබුණා. හරියටම හේතුවක් හිතාගන්න බැරි වුණාට “ගෑනු වෙලා උපදින්න නොසෑහෙන්න පවුකරන්න ඕන දරුවො” කියලා ආච්චි අම්මා කිව්වා. “ඇයි ආච්චි එහෙම කියන්නෙ?” කියලා අහපු අවුරුදු හයක් වෙන ගෑනු දරුවට ආච්චි අම්මා හරි හමන් උත්තරයක් දුන්නෙ නෑ. දවස් ගතවෙලා ගිහිල්ලා සති අවුරුදුවලට හැරිලා ආච්චි අම්මා යන්නම ගිහින් සෑහෙන දවසකුත් ගෙවුණා.

ගෑනු ජීවිතේ දුකයි, පිරිමි ජීවිතේ සැපයි කියලා තේරෙන්න ඉන්දියන් සාගරේ මුතු ඇටේ ඇතුළේ නොසෑහෙන්න දේවල් සිද්ධවුණාට මගේ ජීවිතේ ගෙවුණෙ ඒ සත්‍යයෙන් එපිට. මම හිතාන හිටියෙ තමන්ගෙ ජීවිතේ වගකීම තියෙන්නෙ තමන්ගෙ අතේ හින්දා ජීවිතේ සතුට දුක තීරණය කරන්නෙ තමන් විසින්මයි කියලා. එහෙම වුණාට සමහර සමාජ සම්මතයන් අබිබවන්න හිතේ හයියට බෑ කියලා තේරෙන්න හුඟාක් කල් ගියා. ඒත් මම තාමත් හිත යටින් කැමතියි, ගෑනු අපි පවුකරලා නෑ කියලා හිතන්න.

ඉපදිච්ච දවසෙ ඉඳලම මගේ ආගම වුණේ බුද්ධාගම. මම ආගමට එපිටින් තිබුණු බෞද්ධ දර්ශනය හැමදාමත් අගයකොට සැලකුවා. නිවන් දකින්න, මල් පූජා කරන එක අත්‍යවශ්‍ය නෑ කියලා දහම් පාසලේ ඉගැන්නුවෙ නැති වුණාට බෞද්ධ දර්ශනයෙ ලියවිලා තිබුණා. ගෑනු උදවියට අරහත් මාර්ග ඵල ලබන්න යන්න තියෙන්නෙත් පිරිමි උදවියට යන්න තියෙන පාරෙමයි කියන එක බුදු හාමුදුරුවො බොහොම පැහැදිලිව දේශනා කළා. ගැහැනු උදවියට වෙනස්කමක් වෙන්න ඕනෙ කියලා ඒ කොහේවත් ලියවිලා තිබුණෙ නෑ.

කතරගම කියන්නෙ බෞද්ධ පින්බිමක්. කිරි වෙහෙරෙ පින්පාට දැක්කත් හිත පිරෙනවා කියලා කට පුරෝලා කිව්වෙ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. ඒ හැමෝගෙම වගේම මගේ හිතත් පින්පාටින් පිරුණෙ ළඟදි දවසක කිරි වෙහෙර වැඳගන්න ගියාමයි. උඩමළුවෙ චෛත්‍යයට හවස ඉර එළිය වැටිලා කිරිපාටට බැබළුණා. සල්ලි දීලා ගත්ත නිල් මානෙල්, ඕළු මල් ආපහු අරගෙන යයි කියලා බය හිතිලා වගේ ගැහැනු පිරිමි උදවිය මල්වල නටුව ගලවලා, මල විතරක් බුදුහාමුදුරුවන්ට පූජා කරලා, “සාදු” කියලා වැන්දා. සමහර උදවිය උඩමළුවෙම තිබුණු මහසෙන් දේවාලෙට ගිහින් තමන්ගෙ ප්‍රශ්න විසඳලා දෙන්න කියලා මහසෙන් දෙවියන්ගෙන් ඉල්ලුවා. මහසෙන් දෙවියො ඒ උදවිය දිහා කරුණාබරිත බැල්මෙන් බැලුවා.

පිනෙන් පිරුණ හිත මැලවුණේ බෝධි වෘක්ෂය ළඟදි. පිරිමි උදවියට විතරක් බෝගහ ළඟට යන්න දොරටු විවර කරලා තිබුණා. “ගෑනු අය බිම ඉඳලා වඳින්න.” සුදුපාට ජාතික ඇඳුමක් ඇඳපු පිරිමි කෙනෙක් කට රවුම් කරලා හරි සද්දෙන් හමෝටම ඇහෙන්න කිව්වා. එහෙම කියපු පිරිමි මනුස්සයා ආඩම්බර බැල්මක් මූණෙ අලෝගෙන බෝධි වෘක්ෂයට පිවිසෙන පඩිපේලියේ මුදුනෙ හිටගෙන හිටියා. පිරිමි උදවිය හිමීට පඩිපෙල නැඟලා ගිහින් බෝධි මළුවට ගොඩවුණා. ගෑනු උදවිය බිම ඉඳලා “සාදු” කියලා වැන්දා. “ගෑනු අපිට බෝධිය දකින්න යන්න බැරි ඇයි?” කියලා කවුරුවත් ඇහුවෙ නෑ.

එහෙම ඇහුවොත් පවු සිද්ධවෙයි කියලා එයාලා හිතුවා මගෙ හිතේ. ඒ අතරෙ සමහර ගැහැනු උදවිය බෝධියට වඳින්නෙ නැතුව ආපිට යනවා මං දැක්කා. එහෙම යන්නෙ එයාලගෙ හිත රිදිලා හින්දා කියලා කවුරුවත් කිව්වෙ නෑ.

එක ආච්චි අම්මා කෙනෙක් හිතේ පිරිච්ච භක්තිය වැඩි කමටදෝ මන්දා හිමීට බෝධිය ළඟට යන පඩි පේලිය නැග්ගා. සුදු ඇඳුම ඇදපු පිරිමි කෙනා, ආච්චි අම්මව උරහිසෙන් අල්ලලා නැවැත්තුවා. “ඇතුළට යන්න බෑ...” සැර මූණක් මවාපාලා ඒ මනුස්සයා කිව්වා. “කිලි හින්දා වෙන්නැති යන්න දෙන්නැතුවැත්තෙ” කවුරු හරි ඇහෙන නෑහෙන හඬින් කියනවා මට ඇහුණා. “එතකොට දන්ත ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩියේ ගැහැනු කෙනකුගේ කෙස් වැටියෙ හැංගිලා නෙමෙයිද? ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළේ සංඝමිත්තා තෙරණියගේ දෑතින් නෙමෙයිද?” මම මගෙන්ම අහගත්තා.

“ගෑනු අපි පවුකරලා ඇති පුතේ...” මගේ ආච්චිඅම්මගේ කටහඬ දුරක ඉඳලා මට ඇහුණා.

ගැහැනු උදවියට ඔසප් නිවාඩු ප්‍රදානය කරන්න යනවා කියලා රාත්‍රී අටේ ප්‍රවෘත්තිවලට කිව්වා. අපි ගැහැනු උදවිය ගැන හිතනවා කියලා ප්‍රවෘත්ති කියපු මහත්තයා නොකියා කිව්වා. අපිට ඕන ලෝකේ පුරාවට කිසිම රටක නොලැබෙන ඔසප් නිවාඩු නෙමෙයි හැම රටේම තියෙන තමන් කැමති තැනකට ඇවිදගෙන යෑමේ නිදහස කියලා මගේ හිත ඇතුළෙ හිටපු පෙරලිකාර කටහඬක් මට කිව්වා.

දසුනි හෙට්ටිආරච්චි
[email protected] 

නව අදහස දක්වන්න