ජනපති කුසලාන පාසල් පාපන්දු කිරුළ හමීඩ් අල් හුසෙයිනි විදුහලට | දිනමිණ

ජනපති කුසලාන පාසල් පාපන්දු කිරුළ හමීඩ් අල් හුසෙයිනි විදුහලට

රුසෙයික් ෆාරුක්

මීගමුව මාරිස්ටෙලා විදුහල් පිල ගෝල් 5-4කින් පරදවා අන්තර් පාසල් ආරාධිත පාපන්දු තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන ජනාධිපති කුසලානය අත්පත් කරගැනීමට හමීඩ් අල් හුසෙයිනි විදුහල් පිල සමත්විය.

එම විදුහලේ 80 ආදි සිසු කණ්ඩායම විසින් සංවිධාන කරනු ලැබූ මේ තරගාවලියේ අවසන් මහා තරගය පෙරේදා පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැති අතර ජයග්‍රාහී හමීඩ් අල් හුසෙයිනි විදුහල් පිලට කුසලානය පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරිණි.

අවසන් මහා තරගයේ නියමිත කාලය තුළ දෙපිලටම ගෝල රැස් කිරිමට නොහැකිවූ අතර හමීඩ් අල් හුසෙයිනි විදුහල් පිල තරගයේ ජයග්‍රහණය අත් කරගත්තේ දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තීරණය කිරීමෙනි.

එම විදුහලේ මහේන්ද්‍රන් දිනේෂ් තරගාවලියේ හොඳම දැල් රකින්නාට හිමි සම්මානය දිනාගත් අතර වටිනාම ක්‍රීඩකයා ලෙස එම විදුහල් පිලේ ඒ.ජී.එම්.සජිඩ් සම්මාන ලැබුවේය. හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ මාරිස්ටෙලා විදුහල් ‍පිලේ ජේ.ටි.එස්.ප්‍රනාන්දු විසිනි.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අබ්දුල් හමීඩ් ෆතා කාසිම් අල් මුල්ලා, හමීඩ් අල් හුසෙයිනි විදුහල්පති එම්.එස්.එම්.ෆයිසාල්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

 

නව අදහස දක්වන්න