සඳකැන්-මැතිව්ස් ශ්‍රී ලංකාවට ජය ගෙනෙති | දිනමිණ

සඳකැන්-මැතිව්ස් ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

 

ලක්ෂාන් සඳකැන්ගේ දක්ෂ පන්දු යැවීමත් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයේ ඉනිමත් හේතුවෙන් දකුණු අප්‍රිකාව සමග ජොහැන්නස්බර්ග් නුවරදී ඊයේ පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 3ක ජයක් හිමිකර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. මේ සමග තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සම විය.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 19.3කදී ලකුණු 113කට සීමාකළ ශ්‍රී ලංකා ක්‍රීඩක‍යෝ පන්දු 2ක් ඉතිරිව තිබියදී තරගයේ ජය හිමිකර ගත්තේ කඩුලු 7ක් පමණක් අහිමිකර ගනිමිනි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේදී ආරම්භක පිතිකරු යුගලය සමගින් මුල්පෙළ පිතිකරුවන් සිවුදෙනා දවා ගනිමින් අභියෝග කිරීමට ලුන්ගි ගිඩි සමත් වුවද ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයේ ඉනිමක් දියත් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙය වීය. සිය 5වැනි විස්සයි20 අර්ධ ශතකය වාර්තා කළ මැතිව්ස් පන්දු 50කදී හතරේ පහරක් හා හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 54ක් රැස් කළේය.

ලකුණු 15ක් වෙද්දී ධනංජය සිල්වා (2) හා කුසල් මෙන්ඩිස් (4) දැවී ගිය අතර තෙවැනි හා සිවුවැනි කඩුලු ලෙස නිරෝෂන් දික්වැල්ල හා දිනේෂ් චන්දිමාල් දැවී ගියේ ගිඩිගේ පන්දු හමුවේ කඩුලු රකින ක්‍රීඩක මන්ගලිසෝ මොසෙල් උඩ පන්දු රැක ගැනීමෙනි. ඔවුන් දෙදෙනාටම රැස්කරගත හැකිවූයේ ලකුණු 22ක බැගිනි.

මැතිව්ස් හා චන්දිමාල් අතර සිවුවැනි කඩුල්ලට ලකුණු 51ක සබඳතාවක් ගොඩනැගුණි.

අනතුරුව ලකුණු 12ක් තුළ තවත් කඩුලු 3ක් බිඳ වැටුණි. අසේල ගුණරත්න (3), සීකුගේ ප්‍රසන්න (2) හා තික්ෂිල ද සිල්වා (3) දැවී ගිය පිතිකරුවන් වූහ.

7වැනි කඩුල්ල බිඳ වැටෙන විට ජයග්‍රහණය සඳහා පන්දු 8කින් ලකුණු 9ක් අවශ්‍යව තිබිණි. ඉන් අනතුරුව ලකුණක් ලබා ගැනීමට යාමේදී මැතිව්ස්ගේ පාදයේ ආබාධයක් ඇති විය. එම ඕවරයේ අවසන් පන්දු 2 න් අතිරේක ලකුණු 2ක් එක් විය. ස්මට්ස් යැවූ ඉනිමේ අවසන් ඕවරයේ පළමු පන්දුවෙන් දැවී යෑමෙන් ගැලවුණු මැතිව්ස් ඊළඟ පන්දුවට හයේ පහරක් එල්ල කරමින් ලකුණු සංඛ්‍යාව සමකර ගත්තේය. සිවුවැනි පන්දුවට එල්ල කළ හයේ පහරින් ශ්‍රී ලංකාවට ජය ගෙනා මැතිව්ස් අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තේය.

කාසියේ වාසිය දිනා ගනිමින් පන්දුවට පහරදිමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ආරම්භ පිතිකරු සබඳතාව ලකුණු 5දී නිමා කිරීමට නුවන් කුලසේකර සමත් වුයේ ට්‍රෙවර් ස්මට්ස් ලකුණු 4කට දවා ගැනීමෙනි. මුළු ලකුණු 13දී ඉසුරු උදාන යැවූ පළමු පන්දුවෙන්ම තෙයුනිස් ඩි බ්රුයින් (7) ධනංජය ද සිල්වාගේ උඩ පන්දුවක් රැකීම හමුවේ දැවී ගියේය.

මංගල විස්සයි20 තරගයට එක්වූ ලක්ෂාන් සඳකැන් යැවූ පළමු පන්දුවෙන්ම මන්ගලිසෝ මොසෙල් (11) දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

මංගල තරගයේදී පළමු පන්දුවෙන් කඩුල්ලක් දවාගත් පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා වූ සඳකැන් එවැනි දස්කමක් කළ ලොව 15වැනි පන්දු යවන්නා ලෙස වාර්තා පොතට එක් විය.

මුළු ලකුණු 57ක් වෙද්දී සඳකැන්ට දෙවැනි කඩුල්ල ලබාදුන් දිනේෂ් චන්දිමාල්, හෙයිනෝ කුන් ස්ටම්ප් කිරීමට හසුකර ගත්තේය. ඔහු පන්දු 20කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 29ක් රැස් කළේය.

පළමු තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කරා ගෙන ගිය ඩේවිඩ් මිලර්ගේ ඉනිම ලකුණු 11කට සීමා කිරීමට ධනංජය ද සිල්වා සමත්වූ අතර ඔහුද ඊයේ දිනයේ යැවූ පළමු ඕවරයේ පළමු පන්දුවෙන් කඩුල්ලක් දවා ගැනීම කැපී පෙනුණි. අනතුරුව යළි ක්‍රියාත්මකවූ සඳකැන් 12වැනි ඕවරයේදී සිවුවැනි හා හයවැනි පන්දුවලින් වේන් පානෙල් (3) හා ඇන්ඩිල් පෙලුක්වයෝ (0) දවා ගනිමින් කඩුලු සංඛ්‍යාව 4 දක්වා වැඩිකර ගත්තේය.

අනතුරුව පිට පිට ඕවර 3කදී අවසන් කඩුලු 3 දවාගත් ඉසුරු උදාන හා නුවන් කුලසේකර දකුණු අප්‍රිකාව ලකුණු 113කට සීමා කළේ ශ්‍රී ලංකාව හමුවේ විස්සයි20 තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව සටහන් කරමිනි.

මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් ‍2ක් සිදුකරමින් ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප් හා සුරංග ලක්මාල් වෙනුවට මංගල තරග වරම් ලබාදෙමින් ලක්ෂාන් සඳකැන්ද, වේග පන්දු යවන ඉසුරු උදානද කණ්ඩායමට කැඳවා තිබූ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වෙනසන් සිදුකර නොතිබුණි.

දෙපිල අතර තෙවැනි හා අවසන් විස්සයි20 තරගය 25වැනිදා කේප් ටවුන් හිදී පැවැත්වෙයි.

 

නව අදහස දක්වන්න