ඌරු සුරතලී | දිනමිණ

ඌරු සුරතලී

මදාරා මුද­ලිගේ

කැනඩාවේ ඔන්ටාරියෝහි ජීවත් වන ස්ටීව් ජෙන්කින්ස් සහ ඩෙරෙක් වෝල්ටර් යුවළ අසාමාන්‍ය ලෙස සතුන්ට ඇලුම් කරන දෙදෙනෙකි. ඔවුන් කොතරම් සතුන්ට ඇලුම් කරන්නේද යත් මේ වන විට ඔවුන්ගේ නිවසේ සුනඛයින් දෙදෙනෙක්, බළලුන් දෙදෙනෙක් සමඟ ක්ෂුද්‍ර ගැහැනු ඌරෙකු (අභිජනනයෙන් නිපදවන ලද) ජීවත් වෙති.

මෙම සතුන් අතරින් ක්ෂුද්‍ර ගැහැනු ඌරා කැනඩාවේ ගොවිපළකින් ලබාගෙන ඇත. 2012 දී නිවසට රැගෙන එනවිට මෙම ඌරාගේ බර ප්‍රමාණය රාත්තල් 670 කි. දවසින් දවස වර්ධනය වූ ඇය සුරතල් බවින් ද නොඅඩු විය. ඇයගේ දඟකාර ඉරියව් කෙරෙහි ස්ටීව් සහ ඩෙරෙක් යුවළ ආකර්ෂණය වූයේ නොදැනීමය. දැන් සිව් වන වියේ පසුවන මෙම ගැහැනු ඌරා මේ යුවළගේ සමීපතමයා ය. ඔවුහු ගැහැනු ඌරාට “එස්තර්” යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට පටන් ගත්හ.

යීට්ස්, බාර්ලි, බඩඉරිඟු, ඉදුණු කෙසෙල්, එළවළු වර්ග මෙන් ම නැවුම් පලතුරු වර්ග එස්තර්ට ලබා දීමට දිනකට අවශ්‍ය ආහාර සඳහා ඩොලර් 36ක් වැය කරන මේ යුවළ එස්තර්ට සත්ත්ව ආහාර හැකි තරම් අඩුවෙන් ලබාදීමට පුරුදුව සිටිති. එස්තර් එම නිවසෙහි සුරතල් ලෙස හැසිරෙන්නේ එම නිවසේ ජීවත්වන අනෙකුත් සත්ත්වයන්ටද කිසිදු හිරිහැරක් නොකරමිනි.

මුළුතැන්ගෙට ගොස් තම ආහාර අවශ්‍යතාව කෙසේ හෝ ඉටුකර ගැනීමට ඇය කිසිදිනක පසුබට නොවන්නී ය. එමෙන් ම ඇය ස්ටීව් - ඩෙරෙක්ගේ නිදියහන වෙත ගොස් සුව නින්දක් ලබාගන්නේ ඇතැම් විට මෙම නිවසේ ජීවත්වන අනෙකුත් සුනඛයින් හා බළලුන් ද සමඟයි.

නිවසෙහි අලුත්වැඩියා කටයුතු මෙන්ම මිදුලෙහි පිරිසිදු කිරීම් කටයුතුවලටද එස්තර් සහභාගී කර ගැනීමට ‍ඩෙ‍රෙක් උනන්දු වේ. ශීත ඍතුවේදී ඩෙරෙක් තම සමීපතම සුරතලා වන එස්තර්ට නිල් පැහැති ජම්පරයක් වැනි ඇඳුමක් අන්දවනු ලබයි. තවත් විටෙක බොරු කොණ්ඩා මෝස්තරයක් පළඳමින් එස්තර්ගේ දඟකාරකම් දෙස බලා සතුටු වෙයි. එස්තර් සමඟ සෙල්ෆි ඡායාරූප ගන්නා ඩෙරෙක් එම ඡායාරූප සමාජ වෙබ් අඩවි වල ප්‍රචාරය කර ඇත. ඒ තමන්ගේ සත්ත්ව ආදරය මුළු ලොවටම දැන ගැනීම පිණිසය. එස්තර් හට ෆේස්බුක් ගිණුමක් ද ඇති අතර එහි මිතුරන් 1000,000ක් පමණ සිටින බව මාධ්‍ය වාර්තා කරනු ලබයි.

ඉකුත් නත්තල් දිනයේ දී ස්ටීව් ඩෙරෙක් යුවළගේ නිවසෙහි නත්තල් සාදයේ අමුත්තා ලෙස සහභාගී වූයේ එස්තර්ය.

“ඇත්තටම අපිට එස්තර්ගේ ශරීරයේ ප්‍රමාණය පිළිබඳව ඉදිරියට සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඒ කෙසේ වුවත් අපිට ඇය විශේෂ ගතිලක්ෂණවලින් යුක්ත සතෙක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.

සමහර අවස්ථාවලදී ඇය අපේ යහන මත නිදා ගන්නවා. එස්තර් තරමක විශාල වුවත් ඇයට පමණක් අපි විශේෂ ලෙස සළකන්නේත් නැහැ.”

ලොවෙහි ජීවත්වන සතුන්ට ඇලුම් කරන මිනිස් ප්‍රජාවට ස්ටීව් සහ ජෙන්කින්ස් යුවළගේ සත්ත්ව ප්‍රේමය ප්‍රකට කරන ඡායාරූප ඩේලිමේල් පුවත්පත මඟින් පසුගිය දිනක පලකර දී තිබුණේ මිනිසුන් සහ සතුන් අතර පවතින සමීපතාව කෙබඳුද යන් පෙන්වා දෙමිනි.

නව අදහස දක්වන්න