ගුවන් හමුදාව පරදා කොළඹ කොල්ලෝ පෙරට | දිනමිණ

ගුවන් හමුදාව පරදා කොළඹ කොල්ලෝ පෙරට

ප්‍රින්ස් ගුණසේකර
කොළඹ පාපන්දු පිලේ නයිජිරියානු ක්‍රීඩක මොහොමඩ් යාපෝ පළමු ගෝලය වාර්තා කිරීමෙන් අනතුරුව සතුට බුක්ති විදිමින්.

ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු සුපිරි අට වටයේ කොළඹ පාපන්දු සමාජය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර කැලණිය ක්‍රීඩා සංකීර්ණ පිටියේ ඊයේ පැවැති තරගයෙන් ගෝල් 2-1ක ජයක් ලබාගත් කොළඹ පාපන්දු සමාජය පෙරමුණට පැමිණෙයි. කොළඹ පිල තරග 3කදී තරග දෙකක් ජයගෙන තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කොට ලකුණු සටහනේ මේවන විට ලකුණු 7ක් ලබා සිටි.

මේ ආකාරයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව පිලද රිනවුන් පරදා ලකුණු 7ක් ගෙන පෙරමුණේ සිටියද ඔවුනට එරෙහිව විරෝධතාවක් ගොණුවී ඇති බැවින් එම ස්ථානය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත. රිනවුන් ඉදිරිපත් කළ විරෝධතාව මේ සතියේදී විභාග කොට ඔප්පු වුවහොත් යුද හමුදා පිල ලබාගත් ලකුණු තුනක් ඔවුන්ට අහිමිවී පහළට ඇද වැටීමේ ඉඩකඩ නිර්මාණයවී ඇත. විරෝධතාව ඔප්පු නොවුණහොත් යුද හමුදාව හා කොළඹ පාපන්දු සමාජය සමතැන් ගනී.

කොළඹ පාපන්දු සමාජය හා ගුවන් හමුදාව අතර පැවැති තරගයේ පළමු භාගයේදී පළමු මිනිත්තු දහය තුළදී ගුවන් හමුදාව ගෝල් 1-0ක් ලෙස ඉදිරියෙන් සිටියද මිනිත්තු 45 අවසානයේ ගෝල් 2-1ක් ලෙස කොළඹ ක්‍රීඩකයෝ ඉදිරියට පැමිණියහ. කොළඹ පිල වෙනුවෙන් එම ගෝල් දෙක ධනුෂ්ක මධුසංඛ හා නයිජීරියානු ක්‍රීඩක මොහොමඩ් යාපෝ වාර්තා කළහ.

දෙවැනි භාගයේදී දෙපිලම ඉතා ප්‍රබල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර 88වැනි මිනිත්තුවේදී ධනුෂ්ක මධුසංඛට ගෝලයක් වාර්තා කිරීමට තිබූ පහසු අවස්ථාවක් මඟ හැරී යෑම අවාසනාවන්ත සිදුවීමක් විය. ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ගෝල් රකින්නාද නොමැතිව ගෝල් කණුව සම්පූර්ණයෙන්ම විවෘතව තිබූ අවස්ථාවේ මේ පළපුරුදු ක්‍රීඩකයා අතින් ගෝලයක් අහිමිවීම ඇඳහිය නොහැකි අවස්ථාවක් විය.

කොළඹ පාපන්දු සමාජය මේ මස අගදී ජාත්‍යන්තර පාපන්දු තරගාවලියකට සූදානමින් සිටින හෙයින් මේ සුපිරි අටවටයේ තරග වැදගත් අත්දැකීමක් බවට පත්ව ඇත. ආසියානු පාපන්දු සම්මේලන ඒ. එෆ්. සී කුසලාන ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියේ කොළඔ පාපන්දු සමාජය හා ඉන්දියාවේ මොහුන් බාගන් ක්‍රීඩා සමාජය අතර පළමු තරගය මේ 31වැනිදා කොළමදී පැවැත්වෙන අතර දෙවැනි තරගය පෙබරවාරි 7වැනිදා කල්කටා හිදී පැවැත්වීමට නියමිත හෙයින් ඔවුන්ගේ පූර්ව සූදානම මෙමගින් සිදුවනු ඇත.

නව අදහස දක්වන්න