කොළඹ පාපන්දු සමාජය ඉන්දියාවට බැට දෙන්න දැන් සිටම සූදානම් | දිනමිණ

කොළඹ පාපන්දු සමාජය ඉන්දියාවට බැට දෙන්න දැන් සිටම සූදානම්

ප්‍රින්ස් ගුණසේකර

 ආසියානු පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඒ. එෆ්. සී කුසලාන ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියේ මූලික වටයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දියාවේ මොහුන් බාගන් ක්‍රීඩා සමාජයට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලබා සිටින කොළඹ පාපන්දු සමාජය විදෙස් ක්‍රීඩකයින් සිවු දෙනකු සමග සටනට සූදානම් වෙයි. එයට අමතරව ක්‍රීඩා සමාජ 4කින් ප්‍රබල ක්‍රීඩකයින් 6ක් මෙම තරගාවලිය වෙනුවෙන් කොළඹ පාපන්දු සමාජයට එක්වීමට නියමිතය.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලිඛිතව දැනුම්දී ඒ හරහා ක්‍රීඩා සමාජවලින් ක්‍රීඩකයින් නිදහස් කර ගැනීමට කොලඹ පාපන්දු සමාජය මේ වනවිටත් කටයුතු යොදා ඇත. මෙලෙස කොළඹ ක්‍රිඩා සමාජයට බදවා ගන්නා ක්‍රීඩකයින් මෑත කාලයේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නියෝජනය කළ, අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තරගවල ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයින් වේ. මේ සියලු දෙනාම කෙටි කලකට කොළඹ පාපන්දු සමාජයට එක්කර ගැනීමට තීරණයවී තිබේ.

කලුතර බ්ලූස්ටාර් පිලේ නයිජීරියානු ක්‍රීඩක මොහොමඩ් හම්සා සමග කොළඹ පාපන්දු සමාජයේ අයිවරි කොස්ට් ක්‍රීඩක මොමාස් යාපෝ, නයිජීරියානු ජාතික ඩේවිඩ් ඔසාජී හා අෆීස් ඔලේෆී විදෙස් ක්‍රීඩකයින් සිවු දෙනාවන අතර ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ අෂුකර් රහ්මාන් හා සජිත් කුමාර, රිනවුන් පිලේ රිෆ්නාස් මොහොමඩ්, බ්ලූස්ටාර් පිලේ ඊ. බී. චන්න හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ගෝල් රකින ක්‍රීඩක ප්‍රභාත් රුවන් කොළඹ පාපන්දු සමාජයට මේ තරගාවලිය වෙනුවෙන් එක්කර ගන්නා තෝරාගත් ක්‍රීඩකයින් වේ.

කොළඹ පාපන්දු සමාජය පසුගිය වසරේ චැම්පියන් ලීග් පාපන්දු ශූරතාව දිනා ගැනීම හේතුවෙන් ආසියානු පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඒ. එෆ්. සී කුසලාන ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.කොළඹ පාපන්දු සමාජය 2008දී ආරම්භවූ අතර වෙළද සේවා පාපන්දු සංගමයේ සභාපති, ව්‍යාපාරික සායිෆ් යූසුප් මහතාගේ පෞද්ගලික මුදලින් නඩත්තු වේ.

සායිෆ් යූසුප් මහතා සියලු ක්‍රීඩකයින්ට මාසිකව වැටුප් පිරිනමමින් අනෙකුත් සියලු පහසුකම් ලබාදෙමින් කොළඹ ක්‍රීඩා සමාජය ඉදිරියට ගැනීමට සෑම වසරකම මිලියන ගණනින් තම ධනය වැය කරමින් සිටීම අගය කළ යුත්තකි. ඔහු මුදල් වැය කරනවා පමණක් නොව ක්‍රීඩකයින් සමගව ඉතා සුහදව හා මිත්‍රශීලීව කටයුතු කිරීම දියුණුවේ රහසවී තිබේ.

කොළඹ පාපන්දු සමාජයේ ලේකම් ලෙස වසර ගණනාවක පරිපාලන අත්දැකීම් ඇති එම්. ප්‍රේමදාස මහතා කටයුතු කරන අතර ප්‍රධාන පුහුණුකරු ලෙස මොහොමඩ් රූමී මහතා හා ගෝල් කීපර් පුහුණුකරු ලෙස ලලිත් වීරසිංහ මහතා කටයුතු කරති.

මොහොමඩ් රූමී මහතා කොළඹ පාපන්දු සමාජයේ පුහුණුකරු ලෙස 2010දී එක්වීමෙන් පසුව ශූරතා රැසක් කොළඹ පාපන්දු සමාජය දිනා ගැනීම විශේෂත්වයකි. මෙරට ඇති ප්‍රධානතම පාපන්දු ශූරතා දෙක වන එෆ්. ඒ. කුසලානය හා ප්‍රීමියර් ලීග් පාපන්දු ශූරතාව 2015දී කොළඹ පාපන්දු සමාජය දිනා ගැනීමට සමත්වීම කැපී පෙණුනි.

ඒ. එෆ්. සී කුසලාන තරගාවලියට සූදානම්වීම උදෙසා කොළඹ ක්‍රීඩකයෝ මේ දිනවල බැද්දගාන පාපන්දු සංකීර්ණයේ නේවාසික පුහුණුව අරඹා ඇත. ඒ සදහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පහසුකම් ලබාදී ඇතැයි පුහුණුකරු මොහොමඩ් රූමී මහතා පැවැසීය. “ ක්‍රීඩා සමාජ කිහිපයකින් එක්කර ගන්නා ක්‍රීඩකයින් තවම අප සමග එක්වී නෑ. ඉදිරියේ චැම්පියන් ලීග් සුපිරි අටවටය තාවකලිකව නැවත්වූ පසු ඔවුන් එක්වීමට නියමිතයි. අපේ ප්‍රතිවාදී කණ්ඩායම ප්‍රබල එකක්. ගොඩක් මහන්සිවී පුහුණුවීම් කළ යුතු වෙනවා.

හොද විශ්වාසයක් තිබෙනවා ක්‍රීඩකයින් තුල. මෙය ජයග්‍රහණය කිරීම අපට පමණක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවටත් වැදගත්“ රූමී මහතා පාවැසීය.

ආසියානු පාපන්දු සම්මේලන ඒ. එෆ්. සී කුසලාන ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියේ කොළඔ පාපන්දු සමාජය හා ඉන්දියාවේ මොහුන් බාගන් ක්‍රීඩා සමාජය අතර පළමු තරගය මේ 31වැනිදා කොළමදී පැවැත්වෙන අතර දෙවැනි තරගය පෙබරවාරී 7වැනිදා කල්කටා හිදී පැවැත්වේ. 1889දී කල්කටාවේදී ආරම්භවූ මොහුන් බාගන් ක්‍රීඩා සමාජය එදා මෙදාතුර ඉන්දීය පළමු පෙළ ශූරතා රැසක් දිනා ඇති අතර පසුගිය වසරේ ඉන්දීය හීරෝ නිදහස් කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.

එමෙන්ම විශාල තරගකාරීත්වයක් ඇති ඉන්දීය සුපර් ලීග් පාපන්දු තරගාවලියේ අනු ශූරතාව දිනාගත් කණ්ඩායම වේ.

මොහුන් බාගන් ක්‍රීඩා සමාජයේ විදෙස් ක්‍රීඩකයින් ලෙස ස්කොට්ලන්ත, බ්‍රසීල, හයිටි හා ජපන් ජාතික වෘත්තීය පාපන්දු ක්‍රීඩකයින් එක්ව සිටිති.

ආසියානු කළාපයේ සියලු රටවල පළමු පෙළ පාපන්දු ශූරතාව දිනාගත් කණ්ඩායම් 30ක් පමණ මෙම ක්‍රීඩා සමාජ පාපන්දු ශූරතාවලියට එක්වන අතර කොළඹ පාපන්දු සමාජය ඉන්දීය මොහුන් බාගන් පිල පරාජයට පත් කළහොත් ඊළඟ වටයේදී භූතානය හෝ මාලදිවයින නියෝජනය කරන කණ්ඩායමක් මුණ ගැසෙනු ඇත.

 

නව අදහස දක්වන්න