දඟකාර හැරී කුමරුගේ හිත ගත් හැඩකාර නිළිය | දිනමිණ

දඟකාර හැරී කුමරුගේ හිත ගත් හැඩකාර නිළිය

ෆවුස් මොහොමඩ්

එංගලන්ත රජ පවුලේ දඟකාරයා ලෙස කවුරුත් හඳුන්වන හැරී කුමරුගේ ආදරය දිනාගැනීමට පොර කෑ ලොව පුරා සුරූපි තරුණියන් අපමණය. 32 හැවිරිදි හැරී කුමරු මෙතරම් කාලයක් ලොව පුරා විවිධ රටවල නිල සංචාරවලත්, පෞද්ගලික සංචාරවලත් නිරතවෙද්දී ඔහුට සමීපවීමට උත්සාහ කළ අතිශය රූමත් තරුණියෝ ඇති තරම් සිටියහ. ඉන් ඇතැම් තරුණියන්ට සිය බලාපොරොත්තුව ඉටු කරගැනිමට වාසනාව අත්වූ බව සැබෑය. එහෙත් ඒවා දින කිහිපයකට පමණක් සීමා වූ සම්බන්ධතා බවට පත්වූයේ කඩවසම් බවින් සහ ජනප්‍රියත්වයෙන් පිරිපුන් මේ රාජකීය දඟකාරයාගේ හදවතේ සදහටම ලැගුම් ගැනීමට තව කෙනකුට ඉඩකඩ වෙන් කර දෙමිනි.

මේ දඟකාර කුමරුගේ ප්‍රේමය දිනාගන්නා වාසනාවන්තිය ගැන කවුරුන්දැයි සොයා ගැනීමට බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පත් වාර්තා කරුවන් තිබුණේ දැඩි වුවමානවකි. ඒ සඳහා ඔවුහු කාලයක් තිස්සේ හැරී කුමරු ලුහු බඳිමින් සිටියහ. කලක් ලොව පුරා මාධ්‍ය අතර අතිශය කුතුහලය දනවන පුවත් මවන්නියක බවට පත්ව සිටි ඩයනා කුමරියගේ අභාවයෙන් පසුව එවැනි ආකර්ශනයක් දිනාගැනීමට සමත්වූ එකම රාජකීය චරිතය වූයේ හැරී කුමරුය. එබැවින් මාධ්‍ය ලෝකයේ වැඩි අවධානයක් යොමුවූයේ ඔහුගේ පෙම් පහස විඳින තරුණියන් හඹා යාමටය. ඒවා තම පුවත්පත්වලට ඉහළ ආදායම් වාර්තා ලබාදෙන උණුසුම් මෙන්ම රසවත් පුවත් බව ඔවුහු හොඳින්ම දැන සිටියහ.

හැරී කුමරු පසුගිය කාලය පුරාම නොයෙකුත් විදෙස් සංචාරවල නිරතවෙද්දී ජාත්‍යන්තර මාධ්‍ය ඔහු පසුපස හඹා ගියේ එවැනි හෝඩුවාවක් ගැන දැන ගැනීමටය. මෙවැනි ඇතැම් අවස්ථාවල දී හැරී කුමරුට සමීපව සිටි රූමත් තරුණියන් අරභයා පෙම් කතන්දර ගෙතුණු අවස්ථා ඇති තරම් තිබිණි. එහෙත් කල් යත්ම ඒවා වැරැදි ඉලක්ක බවට පත්වූයේ ඔහු සිය ජීවිතයේ සදාකාලික සහකාරිය සොයා ගැනීම කෙරෙහි වැඩි උනන්දුවක් නොදැක්වීම නිසාය.

බ්‍රිතාන්‍ය ඔටුන්නට හිමිකම් කියන රජ පවුලේ සාමාජිකයන් අතර පෝලිමේ සිටින මේ කඩවසම් ඉලන්දාරියා සිය රාජකීයත්වයට කදිමට ඔබින සහකාරියක සොයා ගනු ඇතැයි බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් ද වරින් වර ඉඟි පළ කරද්දී කවුරුත් සිතුවේ ඔහු ලොව ප්‍රභූ පැලැන්තියේ තරුණියක් විවාහ කරගනු ඇතැයි කියාය.

එසේ වුවත් හැරී කුමරුගේ හදවතේ සදාකාලිවම ලැගුම් ගන්නට සිය පළමු විවාහයෙන් දික්කසාද වූ අමෙරිකානු නිළියකට නම් වාසනාව අත්වනු ඇතැයි කිසිවකු සිතුවේ නැත. මේ රූමත් නිළිය හැරී කුමරු සමග මාස කිහිපයක් තිස්සේ පෙම් සම්බන්ධතාවක පැටලී සිටින බව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ 8 වැනිදා කෙන්සින්ටන් මාළිගාව තහවුරු කරනතුරුම එය කිසිවකු විශ්වාස කළේ ද නැත.

යුරෝපීය සුදු ජාතිකයකුට හා අමෙරිකානු කළු ජාතික කාන්තාවකට දාව කැලිෆෝනියාවේ උපන් 35 හැවිරිදි මීගන් මර්කල් නැමැති මේ තරුණිය එරට රූපවාහිනි නිළියක හා මෝස්තර නිරූපන ශිල්පිනියක ලෙස සිය ජිවිකා වෘත්තිය ආරම්භ කළේ 2002 වසරේදීය. ඉන් අනතුරුව විවිධ රුපවාහිනි මාලා චිත්‍රපට මගින් ජනප්‍රියත්වට පත්වූ ඇය චිත්‍රපට නිශ්පාදකවරයකු වූ ට්‍රෙවර් එංගල්සන් සමග විවාහ වූයේ 2011 සැප්තැම්බරයේදී විවාහ වූයේ වසර 7ක් පුරා පෙම්වතුන් ලෙස ගත කිරීමෙන් පසුවය. එසේ වුවත් මේ විවාහය වසර දෙකකට වඩා ඇදී ගිය එකක් නොවීය. පමණට වඩා පහසුකම් සොයන්නියක තම ජීවිතයට වැඩකට නැතැයි කියමින් එංගල්සන් ඇය දික්කසාද කළේ 2013 වසරේදීය.

‘යූ.එස්.වීක්ලි‘ සඟරාවට අනුව මීගන්ට හැරි කුමරු මුලින්ම හමුවී ඇත්තේ පසුගිය වසරේ මැයි මාසයේ කැනඩාවේ ටොරොන්ටෝ නුවර රූගත කිරීමක් අතරතුරදීය.

‘එයාලා මුලින්ම හොඳ යාළුවෝ විදිහට මාසයක් දෙකක් ඇසුරු කළා. දෙන්නට දෙන්නා අතර ප්‍රේමය දළුලා වැඩෙන්නට පටන් ගත්තේ ඉන් පසුවයි.‘ යූ.එස්.වීක්ලි සඟරාව එසේ සඳහන් කළේ මෑතකදීය. ඒ වනවිට හැරී කුමරු සහ මීගන් අරභයා නොයෙකුත් ඕපාදූප පුවත් බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පත්වල පළවන්නට පටන්ගෙන තිබුණත් කෙන්සින්ටන් මාළිගයේ නිල නිවේදනය නිකුත්වනතුරුම කවුරුත් සිතුවේ ඇය ඔහුගේ තවත් එක් කෙටිකාලීන පෙම්වතියක බවය.

ඉන් පසුව ටැබ්ලොයිඩ් පුවත්පත්වල හැරී කුමරුගේ අලුත්ම පෙම් ගිනුම ගැන වාර්තා පළ වූයේ පසුගිය දෙසැම්බරයේ නත්තලේ උණුසුම් ආසන්නයේදී මේ යුවළ ලන්ඩනයේ සුපිරි වෙළඳසැළක නත්තල් ගසක් තෝරමින් සිටියදී ගත් ඡායාරූප කිහිපයක් ද සමගිනි.

ඒ වනවිට මීගන් මර්කල් හැරී කුමරුගේ නිවහන වන කෙන්සින්ටන් මාලිගයේ නිත්‍ය අමුත්තියක බවට පත්ව සිටියාය. පසුගිය ගිම්හානය පුරා කැනඩාවේ පුවත්පත්වල පිටු පිරෙන්නට වූයේ ටොරොන්ටෝ නුවර එක්තරා නිවාස සංකීර්ණයක පිහිටි ඇගේ නිවසට නිතර ගොඩ වදින අයුරු දැක්වෙන ඡායාරූපවලිනි. ඔහු මීගන් මුණගැසීමට ටොරොන්ටෝ නුවරට ගියේ නත්තල් සමයේදී දින 14ක බටහිර ඉන්දීය කොදෙව් දූපත් සංචාරයක නිරතවෙමින් සිටින අතරතුරදීය.

පෙනෙන හැටියට නම් ලොව පුරා පොදු ජනතාවගේ කුමරිය ලෙස වේල්සයේ ඩයනා කුමරිය ලැබූ අසීමිත ජනප්‍රියත්වයට නොදෙවැනි ජනප්‍රියත්වයක් ලබා ඇති හැරී කුමරුගේ අනාගත සහකාරිය වීමේ හැම සුදුසුකමක්ම මීගන්ට තිබේ. ඇය හැරි කුමරුට වඩා අවුරුදු 3ක් වැඩිමල් වීම එතරම් බරපතළ කාරණාවක් ලෙස කවුරුත් නොසළකති.

ඩයනා කුමරිය මෙන්ම හිස මඳක් පහතට නැඹුරු කරමින් හිනැහෙන හැරී කුමරු ඉමහත් සෙනෙහසින් දරුවන් තුරුළු කරගන්නා අයුරු දකින සැමගෙම දෑස් තෙමෙන්නේ ඩයනා කුමරිය සිහිපත්වීම නිසාය. සිය මෑණියන් මෙන්ම ලොව පුරා ජනතාවට ආදරය කරුණාව දක්වන හැරී කුමරු ‘හදවත් දිනූ කුමාරයා‘ ලෙසින් කාගෙත් ආදරයට පාත්‍රවී සිටින අතර ඔහුගේ අනාගත සහකාරිය හැම අතින්ම හැරී කුමරුගේ සංවේදි සිතට අත්වැලක් සපයනු ඇතැයි ඔහුගේ සමීපතම මිතුරන් කියති.

හැරී කුමරුගේ ආදරණීය මෑණියන් ඩයනා කුමරිය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ හදවත් කඳුළින් පුරවා දමා අකාලයේ ජීවිතයෙන් සමුගන්නා විට ඔහු 12 හැවිරිදි කොලු ගැටයකු විය. පොදු ජනතාවගේ කුමරිය ලෙස කාගෙත් ආදරය දිනාගත් ඩයනා සිය අවසන් කාලයේ ලොව පුරා විවිධ සුබසාධන වැඩ සටහන් රැසකටම දායකවෙමින් බෙහෙවින් කාර්ය බහුලව සිටියාය.

තම ජීවිතයට වඩාත්ම බලපෑම ඇති කළ චරිතය බවට පත්වූ ආදරණීය මෑණියන් වෙනුවෙන් තව තවත් සමාජ සත්කාරක වැඩසටහන්වලට එක්වීම හැරී කුමරුගේ එකම අරමුණ වී තිබේ. මීගන් මර්කල් ද ඔහු මෙන්ම දරුවන්ටත්, සුබසාධන කටයුතුවලටත් දැඩි උනන්දුවක් දක්වන්නියකි. ලොව පුරා පැතිරී යන එච්.අයි.වී. මාරාන්තික ඒඩ්ස් වෛරසයෙන් පීඩාවට පත් දිළිඳු දරුවන් වෙනුවෙන් ඩයනා කුමරිය ආරම්භ කළ සුබසාධන ව්‍යාපෘතියේ මුලු වගකීම කරපින්නා ගත් හැරී කුමරුගේ හුදෙකලා ලෝකයේ පාලුව මකා දැමීම මේ අමෙරිකානු නිළියගේ එකම අභිප්‍රාය වී තිබේ.

මුලදි කවුරුත් සිතුවේ බ්‍රිතාන්‍ය රජ පවුල මේ හාදකමට කිසිදු අනුමැතියක් නොදෙනු ඇති බවකි. තවමත් බ්‍රිතානය කිරීටයට උරුමකම් කියන එලිසබෙත් මහ රැජන මෙවැනි විවාහයකට එකඟතාව පළ කිරීම එරට පුවත්පත් අභියෝගයකට ලක් කළ කාරණාවකි. එසේ වුවත් පසුගියදා මේ අමෙරිකානු නිළිය හැරී කුමරුගේ වැඩිමල් සොයුරා වන විලියම් කුමරු සහ කේට් කුමරිය මුණගැසීම කාගෙත් නළල්තල රැළි ගැන්වූ සිදුවීමක් බවට පත්වී තිබිණි. මේ හමුව සිදුවූයේ කේට් කුමරියගේ 35 වැනි උපන්දින උත්සවයට පසුදාය.

කෙන්සින්ටන් මාළිගාවේදී කේට් කුමරියට සිය අනාගත බිරිය හඳුන්වාදීමට පළමුවතාවට හැරි කුමරු පියවර ගත් අතර එහිදී මීගන් කේට් කුමරියගේ උපන්දිනයට සුබ පතා ත්‍යාගයක් ද පිරිනැමූ බව වාර්තා විය. කේට් කුමරිය ද සිය අනාගත නෑණන්ඩිය මුණගැසීමට ඉමහත් ආසාවකින් බලා සිටි බැව් හැරී කුමරුගේ සමීපතම මිතුරකු සඳහන් කළේය.

ඩයනා කුමරියගේ අභාවයෙන් පසුව හිස් වූ හැරී කුමරුගේ ජීවිතයට වැඩිමල් සොයුරියක සේ සියලු අවවාද අනුශාසනා ලබාදෙමින් ඔහුගේ ජීවිතය හැඩගැස්වීමට ඉදිරිපත්වූයේ කේට් කුමරිය බව කවුරුත් දනිති. එබැවින් ඔහුගේ විවාහයේදී කේට් කුමරිය අතිශය වැදගත් භූමිකාවක නිරතවනු ඇතැයි වාර්තා වී තිබිණි. කෙසේවෙතත් අමෙරිකානු නිළියට බ්‍රිතාන්‍ය රජ මාළිගාවේ දොරටු විවර කිරීමට ඇය එකඟවීම නම් කිසිවකු බලාපොරොත්තු නොවූ කාරණාවකි.

හැරී කුමරු කොහොමත් රාජකීය පවුලේ ඌෂ්ණය එතරම් තදින් හිතට නොගත් තරුණයෙකි. සිය මැණියන්ගේ අභාවයෙන් පසුව තම පියා වන චාල්ස් කුමරුගේ සෙවණේ හැදී වැඩුණත් තරුණ වියට එළැඹෙද්දී ඔහු බෙහෙවින් අකීකරු දරුවකු බවට පත්ව සිටි අතර මිතුරන් සමග සාමාන්‍ය තරුණයන් සේ ලන්ඩනයේ වීදි පුරා රස්තියාදුවේ යාම ඔහුගේ දෛනික රාජකාරියක් වී තිබිණි. දඩබ්බර වැඩ කිරීම නිසා ලෙස ටැබ්ලොයිඩ් පුවත්පත්වලින් ‘කැලෑ කොල්ලා‘ යනුවෙන් ඔහු ලේබල් ගතවී සිටියේ අවුරුදු 17 දී ගංජා උරන්නට ගොස් හසුවීමත්, මිතුරන් සමග එක්ව මත්පැන් පානය කොට පැපරාසි ඡායාරූප ශිල්පීන්ට දිගට හරහට ගුටිබැට දීමත් නිසාය.

ඒවා අතීතයට එකතුවූ සිදුවීම්ය. ඔහු දැන් ඇසූ පිරූ තැන් ඇති තැන්පත් තරුණයෙකි. සිය අනාගත සහකාරිය තෝරාගැනීමට ඔහුට නිදහස ඇතත් ඒවා රජ පවුලේ සම්ප්‍රදාය අනුව සිදු කළ යුතු කාර්යයකි. එසේ තිබියදී දික්කසාද වූ නිළියකට රාජකීයත්වයක් ලබාදීමට ඔහුට ඇති කැමැත්ත ඉදියේදී රජ පවුලේ අනාගතයට බලපාන තීරණාත්මක සාධකයක් වනු ඇතැයි කවුරුත් කියති. 

නව අදහස දක්වන්න