හම්බන්තොට ආයෝජන කලාපය සංවර්ධනයේ යෝධ පිම්මක් | දිනමිණ

හම්බන්තොට ආයෝජන කලාපය සංවර්ධනයේ යෝධ පිම්මක්

රක්ෂණ ශ්‍රියන්ත

 

අගමැති මිරිජ්ජවිලදී කියයි

බලගතු අලුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීම කිසිවෙකුටත් නැවැත්විය නොහැකි බවත්, චීනය ඩොලර් බිලියන 5 ක් අප රට තුළ ආයෝජනය කිරීමට එකඟ වීම ශ්‍රී ලංකාව ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණයක් බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හම්බන්තොට චීන ආයෝජන කලාපය ශ්‍රී ලංකා ආර්ථිකයේ 'යෝධ සංවර්ධන සංග්‍රාමයක්' ක්‍රියාත්මක කිරීමක් බවත් පවසයි.

තිරසර යුගයේ තුන් වන වසර ආරම්භ වන අවස්ථාවේ මේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදෙන යෝධ සංවර්ධන සංග්‍රාමය හම්බන්තොටින් පටන් ගන්නවා යැයිද අගමැතිවරයා කියා සිටියේය.

‘තිරසර යුගයක තෙවසරක ඇරඹුම‘ සමරමින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් රැකියා ආදායම් මාර්ග ලක්ෂ ගණනින් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව දියත් කෙරෙන ජාතික ආර්ථික වැඩපිළිවෙළ යටතේ රුහුණු ආර්ථික සංවර්ධන ප්‍රදේශය, ශ්‍රී ලංකාව සහ චීන සමුහ ආණ්ඩුව එක්ව නිර්මාණය කරන ශ්‍රී ලංකා චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය හම්බන්තොට මිරිජ්ජවිලදී පෙරේදා (07) සමාරම්භක උත්සව අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, ශක්තිමත් ස්ථීර අනාගතයක් හම්බන්තොටින් ආරම්භ කරන බවත් ඉදිරි වසර 3 තුළ ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම දැවැන්ත සංවර්ධනයක් අත්කර ගන්නා බවද අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම මේ සියලු සංවර්ධන ක්‍රියාවන්හි මූලික අරමුණ බව පැවසූ අගමැතිවරයා මෙය ආරම්භය පමණක් බවත් රජයේ ඉලක්කය වී තිබෙන්නේ නිරිතදිග තීරුව යනුවෙන් ආර්ථික තීරුවක් ඇති කිරීම බවද කියා‍ සිටියේය.

හම්බන්තොට වරාය ආයෝජන කලාපය සඳහා මහජන ඉඩම් හෝ පුදබිම් ලබා නොගන්නා බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, රුහුණු ආර්ථික කලාපයට 1235ක් අක්කර වෙන්කර ඇති අතර , කිසිවකුට හානියක් සිදු නොවන පරිදි අවශ්‍ය ඉඩම් ලබාගැනීමේ කාර්යය හිටපු කතානායක චමල් රාජපක්ෂ සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහත්වරුන්ට පවරා ඇති බවත් සඳහන් කළේය. හම්බන්තොට කර්මාන්තපුරයක් කිරීමේ පළමු එකඟතාව 2014 වසරේ ඇතිකර ගන්නා ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපතිවරයා අතර ගිවිසුමකින් යැයිද අගමැති වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අවස්ථාවට මහා සංඝරත්නය, ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ඉෂියැං ලියැන් මහතා ද මැති ඇමැතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු විශාල ජනකායක් එක්ව සිටියහ.

ඡායාරූප- රුක්මල් ගමගේ 

නව අදහස දක්වන්න