නියඟයට මුහුණදීම | දිනමිණ

නියඟයට මුහුණදීම

 

දීර්ඝ නියං සමයක ලකුණු මේ ‍වනවිටත් පහළ වී තිබේ. එය වසර ගණනාවකට පසු ඇතිවන බලවත් ඉඩෝරයක් බවද පුරෝකථනය වී ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දක්වන අන්දමට ජනවාරියේ අගද පෙබරවාරියේ මැදද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකිය. එහෙත් එය නියඟයට පිළියමක් නොවනු ඇත. මේ වනවිටත් රජරට විශාල වැව්වල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසී. කුඩා වැව් හා මධ්‍යම ප්‍රමාණයේ වැව් විශාල ප්‍රමාණයක් මුළුමනින් සිඳී ගොස් ඇත. විදුලිය උත්පාදනයට යොදා ගනු ලබන ජලාශවල ජල ධාරිතාවද ශීඝ්‍රයෙන් පහළ බසින බව වාර්තා වී ඇත.

ඉහත සඳහන් සාධකවලින් පෙනී යන්නේ අප හමුවේ ඇති චිත්‍රය සුබදායක නොවන බවය. මෙබඳු පසුබිමක් තුළ ජීවන පැවැත්මට අදාළ ප්‍රධාන බාධක ගණනාවක් මතුවීම නොවැළැක්විය හැකි ය. එක පානීය ජලය පිළිබඳ ගැටලුවයි. දෙක ආහාර නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නයයි. තුන විදුලිය උත්පාදනය පිළිබඳ අර්බුදයයි. එක අතෙකින් නියඟය යනු අපට අලුත්ම දෙයක් නො වේ. සෑම වසරකම පාහේ කෙටි නියං කාලයක් පවතී. එය අපට ඔරොත්තු දෙන එකකි. මෙවර ගැටලුව වී ඇත්තේ නියං කාලය දීර්ඝ වීමය. අනෙක් අතට නියඟයට පෙර ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබී නොතිබීම ය.

ජලසම්පාදන මණ්ඩලය ඇතැම් ප්‍රදේශවලට ජලය සැපයීම සීමාකර ඇත. තවත් ප්‍රදේශවලට අනතුරු අඟවා ඇත. පානීය ජලය පවා සීමාකිරීමට සිදුවී තිබේ. සාමාන්‍ය තත්ත්වයට අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් හතරෙන් එකකට පමණ පිරිසුදු පානීය ජලය ලැබෙන්නේ නැත. වකුගඩු රෝග පැතිර යමින් පවතින ප්‍රදේශ ඊට නිදසුන් ය. මේ හැරෙන්නට වැඩි කතාබහකට ලක් නොවන ජල ගැටලුවක් ද පවතී. එනම්; පෞද්ගලික හා පොදු ළිං සිඳීයෑම ය. නියඟය තවත් මාසයක් පැවතුණහොත් බොහෝ ළිං සිඳී යනු ඇත. රටේ බොහෝ ප්‍රදේශවල භාවිතයට ගනු ලබන්නේ ළිං ජලයයි.

මේ අතර රටේ සිදුවන ජල නාස්තිය ඉතා බරපතළ ය. නාගරික ප්‍රදේශවලට ලබාදෙන නළ ජලයෙන් 35% ක් පමණ අපතේ යන බව සොයාගෙන තිබේ. ග්‍රාමීය ප්‍රදේශවල ජල සැපයුමෙන් ද 22% ක් පමණ අපතේ යන බව සොයාගෙන තිබේ. ඇතැම් නාගරික වතුවල පොදු පයිප්ප ඇරපු ගමන්ම ය. ඒවා වසා දමන්නට කෙනකු නැත. ඇතැම් තැනක ජලය අපතේ යන්නේ නළ මාර්ගවල කඩ‍තොළුවීම් නිසා ය. වාහන සේදීමට සතුන් නෑවීමට ජලය සැලකිය යුතු ප්‍රමාණයක් භාවිත වේ. නියඟය කඩා වැදී ඇතත්; ජලය පරෙස්සමෙන් පාවිච්චි වන බවක් පෙනෙන්නට නැත. ජනතාව නියඟය ගැන දන්නේ වුව; වතුර පාවිච්චියේ දී පුරුදු පීල්ලේම ගමන් කරති.

නියඟයත් සමඟ මතුවන තවත් බරපතළ ගැටලුවක් වන්නේ ආහාර සපයා ගැනීම ය. මේ වනවිටත් කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් නියඟය නිසා දැවී ගොස් ඇත. වගාව සදහා ජලය සැපයීම ද සීමා කර ඇත. වැසි දියෙන් වගා කටයුතු කරන සියලු ප්‍රදේශවල ගොවියන් පීඩාවට පත් වී ඇත. සහල්, එළවළු, පලතුරු යන කොයි‍ෙද්ත් හිඟවන්නට පුළුවන. මිල ශීඝ්‍රයෙන් ඉහළ යන්නටත් පුළුවන. හාල් මිල ඉහළ යෑම ගැන සංවාදයක් ද මේ දිනවල පවතී. පිටරටින් සහල් ගෙන්වීමට කටයුතු කළ අතර රජයේ වී සංචිත මුදාහැරීමටද පියවර ගෙන තිබේ. මේ අනුව සහල් හිඟයක් ඇතිවීමට හේතුවක් නැතැ’යි කිව හැකි ය. එහෙත් කුඹුරු පුරන්වීමේ පාඩුව ඉදිරියේ දී දැනෙනු ඇත.

ශ්‍රී ලංකාව ජල විදුලිය උත්පාදනයට වැඩි බරක් තබා ඇති බැවින් නියඟයත් සමඟ විදුලිය සැපයීම අඩාලවීම සාමාන්‍ය සිරිත වී තිබිණි. විදුලි කප්පාදුව පැමිණියේ ද නියඟ සමඟ ය. එහෙත් රජය මෙවර කියා සිටින්නේ නියඟය පැවතුණද අඛණ්ඩව විදුලිය සැපයීමට ක්‍රියාකරන බව ය. එය යහපත් තත්ත්වයකි. රජය මේ සඳහා උපායමාර්ග කිහිපයක් ගෙන තිබේ. සූර්ය බලශක්තිය ව්‍යාප්ත කිරීම, පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීම, විවිධ ආයතනවලට තමන්ගේම යන්ත්‍ර යොදවා විදුලිය උත්පාදනයට අවස්ථාව ලබාදීම මේ උපාය මාර්ග අතර ප්‍රධාන වෙයි. කොයි හැටි වුව විදුලිය කපාහැරීමක් සිදුනොවනු ඇත.

නියඟය කියා වෙනසක් නැත. අදටත් විදුලිය අපතේ හැරීම බරපතළ ලෙස සිදුවේ. මහා මාර්ගවල පොදු විදුලිය ලාම්පු දල්වන්නේ ද නිවා දමන්නේ ද විධිමත් කාලසටහනකට අනුව යැයි කිව නො හැකි ය. පළාත් සභා හා ප්‍රාදේශීය සභා මඟින් නඩත්තු කරන පාරවල්වල වීදි ලාම්පු දවාලටත් දැල්වී තිබෙනු දැක ගත හැකි ය. කාර්යාලවල විදුලිපංකා, විදුලිය ලාම්පු කොයි තරමකින් විදුලිය නාස්ති කරන්නේදැයි ගණනය කර නැත. කුමක් වුව අරපරෙස්සමෙන් විදුලිය භාවිත කරන්නැ’යි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ ඉල්ලීම පවතින්නේ කාලයක සිට ය. එහෙත් එය ජනතාවගේ සැලැකිල්ලට ලක් වී නැත. ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක විය යුතු ව තිබේ.

නියඟයට අදාළ ප්‍රධාන ගැටලුවක් ලෙස සැලැකිය හැක්කේ අපේ ජල මූලාශ්‍ර සිඳී යෑම ය. 1960 ගණන් වනවිටත් ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍ර ඉතා හොඳින් පැවතිණි. එහෙත් මේ වනවිට විවිධ භේද නිසා ඒවා සිඳී ගොස් තිබේ. කැලෑ විනාශය එක හේතුවකි. ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා නොකිරීම, ඇතැම් ජල මූලාශ්‍ර විකෘති කොට ජලය ලබාගැනීම තවත් හේතුසාධකය. මේ අනුව රටේ ප්‍රධාන ගංගාවල පවා ජලධාරිතාව අඩුවී ඇත. ගංගාවල වැලිහෑරීම හා ඉවුරු විනාශ කිරීම නිසා ඒවාට බරපතළ හානි සිදුවී තිබේ. බොහෝ ගංගාවලට කරදිය මුසුවී ජල සම්පාදනයට බාධා ඇතිවන්නේ ද මේ හේතුව නිසා ය.

ඈත අතීතයේ දී ශ්‍රී ලංකාවේ වියළි කලාපය සශ්‍රික වූයේ වැව් පද්ධතියෙන් ලැබුණු ජලය නිසා ය. වැව් හා වාරිමාර්ග ප්‍රතිසංස්කරණය සෑම රජ කෙනෙකුගේ ම ප්‍රධාන වගකීමක් හැටියට පැවැතිණි. වැව් පද්ධතියට නැවත පණදීම අත්‍යවශ්‍ය සාධකයක් ලෙස පවතී. රජය වැව් ප්‍රතිසංස්කරණය සඳහා වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරයි. එය හොඳ තත්ත්වයකි. නියඟයට මුහුණදීම සඳහා සංවිධානාත්මක වැඩසටහන්වල අවශ්‍යතාවක් පවතී. එක අතෙකින් මොරගහකන්ද වැනි ව්‍යාපෘති තවදුරටත් ක්‍රියාත්මක විය යුතුය. තව අතෙකින් පරිසරය ආරක්ෂා කරන සංවිධාන සෑම ගම් පළාතකම පැවැතිය යුතු ය.

දේශපාලකයන් පමණක් නො ව ජනතාව ද නියඟයට මුහුණ දෙන ආකාරය ගැන සොයා බැලිය යුතු ය.

නව අදහස දක්වන්න