කෑගල්ල හොල්මන්

 අතිගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමනි වගකිව යුතු සියලු පාර්ශ්වයන් සහ සබරගමුව ආණ්ඩුකාරතුමනි, බොහෝ දෙ‍නාගේ ඉල්ලීම මත ජනතාව අවදි කිරීමට මෙය ලියමි.

දිනය 2017 ජනවාරි 06 වෙනිදාය. කෑගල්ල ආසනය පුරා පෝස්ටර් අලවා තිබේ. එයින් නොනැවතී විශාල ප්‍රමාණයේ බැනර්, කටවුට් ප්‍රදර්ශනය කර තිබේ. එයින් කියවෙන්නේ ජනවාරි 08 වෙනිදා ‍මහින්ද රාජපක්ෂ මැතිතුමා කෑගල්ල හෙට්ටිමුල්ල විහාරස්ථානයකට එන බවය. තවත් කැලෑ පෝස්ටරයකින් කියවෙන්නේ දූෂිත ආණ්ඩුව පෙරළා දැමීමට මහින්ද සමඟ නැගිටිමු යන්නය. ඒ අතර අපූර්ව සිදුවීමක් සිදු විය. මහින්ද මැතිතුමා පැමිණීමට නියමිත මාර්ගය අදාළ පළාත් පාලන ආයතනය විසින් කඩිමුඩියේ සැකසීමය. කම්කරුවන් සියල්ලම යොදා මෙම මාර්ගය සකසන ලෙස කෑගල්ල ප්‍රබල දේශපාලනඥයකු නියෝග කර ඇති බව දැන ගැනීමට හැකි විය.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ද “ඕන්න අපේ බලය” යැයි දෙපස ජනතාවට පවසා තිබේ.

සැබැවින්ම පන්සලකට යන මාර්ගයක් සැකසීම නරක නැත. හිටපු ජනාධිපතිවරයකු පැමිණෙන මාර්ගයක් සැකසීම ද හොඳය. ඒ සම්බන්ධව අහිතක් තබා ගැනීම නරකය. නමුදු ගැටලුවක් තිබේ. මෙම විහාරස්ථානයේ මීට පෙර වෙසක් කලාප, පොසොන් කලාප, දන්සල්, තොරණ ආදී පිංකම් රැසක් සිදු විය. ඒවාට විදුලි පහනක්වත් නොදැමූ අදාළ රාජ්‍ය ආයතනය බුදුන් වඩිනවා සේ පාර සැදුවේ මන්ද? වත්මන් ආණ්ඩුව ලබා දුන් ප්‍රතිපාදන වෙන්කළ නමුදු ප්‍රතිසංස්කරණය නොකළ පන්සල් කීයක් තිබේද? ප්‍රාදේශීය සභා යනු මහින්ද රාජපක්ෂගේ හෝ අදාළ දේශපාලන ප්‍රබලයාගේ බූදලයක්ද? විසුරුවා ඇති පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ගේ භූමිකාව සාධාරණද? ඇතැම් ලේකම්වරියන් තමන්ට සහ නිවසට ඇඳුම් ගැනීමට පවා කොළඹ යන්නේ සභාවේ කැබ් ර‍ථයෙන්ය. රජය අයහපත් නම්, එසේත් නොමැති නම් රජය යටතේ හොරකම් කිරීමට අපහසු නම්, පෙර මෙන් සභාපතිවරුන් සමඟ හොරකම් කිරීමට නොහැකි නම් ආණඩුව පෙරළා දැමීම ඔවුන් සතුය. එහෙත් “දවල් මිගෙල් - රෑ දනියෙල්’ ගේම් දී ආණ්ඩුව රැවටීම සාධාරණද?

ගම නැගුම, මග නැගුම, දැයට කිරුළ, එක් ගමකට එක් වැඩක් මේ සියල්ල තුළින් සිදු කළේ පාරවල් තැනීමය. කෑගල්ලේ බොහෝ පාරවල්වල නම් සඳහන් වන්නේ උපාලිගේ නිවසේ සිට පතිරණගේ නිවස දක්වා ආදී ලෙසය. උපාලි සහ පතිරණ යනු පසුගිය ආණ්ඩුවේ දේශපාලන පක්ෂයේ ශාඛා සමිතිවල ප්‍රධානීන්ය. නැතිනම් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන්ය. අඟල් හයකට ප්‍රමිතියට දැමිය යුතු කොන්ක්‍රීට් ඇත්තේ උපාලිගේ සහ පතිරණගේ නිවෙස්වල ඉදිරිපිට පැමිණී. අනිත් තැන්වල ඇත්තේ අඟල් දෙකකි. නැතිනම් අඟලක් මැදට යොදා ඇත්තේ කෙසෙල් කඳන්ය. කොන්ත්‍රාත්කරු, සභාපතිවරයා, ආයතන ප්‍රධානියා, දේශපාලන ප්‍රබලයා කොමිස් මුදල් බෙදාගත් අයුරු දනිමු. අදටත් සිදු වන්නේ එයම නම් ඔබලාගේ පාලනය කුමකටද?

ප්‍රාදේශීය සභා යනු රාජ්‍ය ආයතනයක්ය. රාජ්‍ය ආයතන යනු ජනතාවගේ දේපළකි. මෙම ප්‍රාදේශීය සභා ලේකම්වරිය කඩිමුඩියේ මෙම පාර සැකසුවේ ජනතාවගේ අවශ්‍යතාවයකටද? ජනතා මුදල් මෙසේ වියදම් කිරීමට ඇති බලය කුමක්ද? ජනතා මුදල් සමඟ යකා නටන සංස්කෘතිය නතර කළ යුතුය. මෙම ලිපිය පළ වෙද්දී හිටපු ජනාධිපතිවරයා පන්සල් දේශපාලනය සිදු කර නික්ම ගොස් අවසන්ය. එහෙත් කරුණක් සිහිපත් කරමි. ඔබේ අනුගාමිකයන් අදාළ මාර්ගය නිසියාකාරව සකසා තිබුණා නම්, කොමිස් නොගත්තා නම් ඔබ ගිය මඟ තවමත් ශක්තිමත්ය. ඔබ ශක්තිමත් යැයි සිතා නැවත යන්නේ ද පැලැස්තර යොදා සකසා ඇති මාර්ගයකමය. තාත්තලාට, පුතාලාට ඔබව රැවටිය හැකිය. තවත් ටික දෙනෙකුද රැවටිය හැකිය. එහෙත් සමස්ත ජනතාවම රැවටිය නොහැක. පසුගිය දේශපාලනය සුජාත නම් දැරිණියගල අතකොටාලා බිහි වූවේ කෙසේද? ඔවුන් පසුපස සිටිය දේශපාලන චරිත කවුරුන්ද? මේ සිටින තාත්තලා, පුතාලා සුජාත දේශපාලනඥයන් නම් ඔවුන්ට යකා නටන්නට දුන්නේ මන්ද? අනීතිකව මිනිසුන්ට පහර දී, මරා දමා සපයා ගත් මුදල් බෙදී ගියේ කා වෙතද?

ජනතාව ආණ්ඩුවට ඡන්දය දුන්නේ හොරුන්ට දඬුවම් කිරීමටය. එහෙත් තවමත් හොරු කඩු, කිණිසි, පිස්තෝල සඟවාගෙන “ඕන්න අපේ වැඩ” යැයි බලය පෙන්වන්නේ ජනතාවටමය. අප ඔබට දුන් ඡන්දයේ වටිනාකම ඔබ සොරා ගත්තේ මන්ද? හොරුන් සමඟ ආණ්ඩු කිරීම සාධාරණද? හොරුන්ටම සරිලන ආයතන ප්‍රධානීන්ගෙ භූමිකාව සාධාරණද? මේ රට රාජ්‍ය ආයතන හැදෙන්නේ කවදාද? හදන්නේ කවුරුන්ද? ඔබේ ජනාධිපතිකමට වඩා අගමැතිකමට වඩා අමාත්‍ය තනතුරුවලට වඩා, ආණ්ඩුකාර තනතුරුවලට එහා ගිය වටිනාකමක් අපගේ ඡන්දයට තිබේ. අවසන ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. අප දුන් ඡන්දයේ වටිනාකම අපට දෙන්නේ කවදාද?

මල්වානේ රණ්බණ්ඩා


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...