දලු දමන මිතුදමක කතාවක්

සහාය මහාචාර්ය මා චූන් වූ ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ උප පීඨාධිපති,
ආසියා-අප්‍රිකා අධ්‍යයන පීඨය
බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය

ලෝකයේ විවිධ රටවල් අතර ද්වි පාර්ශ්වීය හෝ බහු පාර්ශ්වීය වශයෙන් අධ්‍යාපනික, සංස්කෘතික, තාක්ෂණික, ක්‍රීඩා, කාන්තා හා යෞවන යනාදී ක්ෂේත්‍රවල හුවමාරු සහයෝගිතා යන්ත්‍රණය අන්තර් මානවීය සම්බන්ධතා යාන්ත්‍රණය ලෙස හදුන්වනු ලැබේ. මෙකී යාන්ත්‍රණය රටේ රාජ්‍ය නායකයින්,රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන මඟින් මෙහෙයවනු ලබයි. මෙහි අරමුණ වන්නේ රටවල් අතර අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධ වීම,එකිනෙකාට ගරු කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් විශ්වාස කිරීම මත ගොඩනැගෙන මිත්‍රත්වය ශක්තිමත් කිරිමයි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර අන්තර් මානවීය සම්බන්ධතාවයන්ට දීර්ඝ ඉතිහාසයක් ඇත. මුල්ම කාලයේ දෙරට අතර මෙම අන්තර් මානවීය සම්බන්ධතා ගොඩ නැගී ඇත්තේ බෞද්ධ කටයුතු හුවමාරු කිරීමේ මාර්ගයෙනි. චීනයේ ජීන් රාජ්‍ය යුගයේ (ක්‍රි.ව.266-420) විසූ පාහියන් භික්ෂූන් වහන්සේ ක්‍රිස්තු වර්ෂ පස්වෙනි සියවසේදී ශ්‍රී ලංකාවට වැඩම කොට ඇත. පසුව බෞද්ධ රාජ්‍යධානිය නමින් ඓතිහාසික ව‍ටිනාකමෙන් යුත් මහාර්ඝ ග්‍රන්ථයක් රචනා කොට ඇත. එම ග්‍රන්ථය ඇතුළත් කරුණු විමසා බැලීමේදී එවක චීන - ශ්‍රී ලංකා අන්තර් මානවීය සම්බන්ධතා පිළිබඳ මනා අවබෝධයක් ලැබේ.

එසේ ම සුවේ (ක්‍රි.ව.581-618) සහ තං (ක්‍රි.ව.618-907) රාජ්‍ය යුගවලදී ඊලන්, මින් යුවන්, කුවේ චූන් යනාදී චීන භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කොට දළදා වහන්සේ සහ වෙනත් පූජනීය ස්ථාන වැද පුදා ගත් බව ද ථේරවාදී බුදුදහම පිළිබඳ ගවේෂණය කළ බව ද තං රාජ්‍ය යුගයේදී ඊචීන් භික්ෂූන් වහන්සේ විසින් රචිත ග්‍රන්ථයක සඳහන් වී ඇත. එයිනුත් පැහැදිලි වන්නේ අනුරාධපුර යුගයේ සිට දෙරට අතර පැවති ආගමික,සංස්කෘතික හා අධ්‍යාපනික සම්බන්ධතාවයයි.

එසේ ම චීනයේ මින් රාජ්‍ය යුගයේ (ක්‍රී.ව.1368-1644) මුල් කාලයේදී චීනය සහ මුහුදු සේද මාවත දිගේ රටවල් සමඟ වෙළෙඳ සහ සංස්කෘතික වශයෙන් සමීප සම්බන්ධතා ඇති කිරීම සඳහා චෙං හේ නමැති නාවික අද්මිරාල්වරයා චීනයේ සිට හත් වතාවක් බටහිර ප්‍රදේශයට සංචාරය කොට ඇත. දෙවෙනි සංචාරයේදී ඔහු දෙවිනුවර ශ්‍රී උපුල්වන් දේවාලයට පැමිණ පූජා පවත් වූ බව කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති චීන, පර්සියන් සහ දෙමළ භාෂා තුළින් නිර්මාණය කරන ලද ශිලා‍ ලේඛනයෙහි සදහන් වේ. මෙලෙස එවක දෙරට අතර සංස්කෘතික, ආගමික සහ වෙළෙඳ සම්බන්ධතා ඇති වූ බව පැහැදිලි ය.

ඓතිහාසික වශයෙන් පැවති මෙම චීන-ශ්‍රී ලංකා අන්තර් මානවීය සම්බන්ධතා වඩාත් ශක්තිමත් ලෙස වර්තමානයේ ද පවතින බව සදහන් කළ යුතු ය. එම සම්බන්ධතා පැවැත්වීමේදී සංස්කෘතික,අධ්‍යාපනික, වෛද්‍ය,සාමාජීය යන පුළුල් තේමාවන් ඔස්සේ විවිධත්වයකින් යුතු ව සිදු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු වී ඇත. මෙකී අන්තර් මානවීය ක්‍රියාකාරකම් දෙරටේ ම රාජ්‍යයන්, තානාපති කාර්යාලය, විශ්වවිද්‍යාල, රෝහල්,සංස්කෘතික කලා ක්ෂේත්‍ර යනාදී රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනයන්හි මැදිහත් වීමෙන් සිදු වේ.

චීන - ශ්‍රී ලංකා රාජ්‍යතන්ත්‍රික සම්බන්ධතා ඇති කර ගනු ලැබුවේ 1957 පෙබරවාරි මසදීය. එම වසරේ අත්සන් කරන ලද චීන මහජන සමූහාණ්ඩුවේ අග්‍රාමාත්‍ය චෞ එන් ලයි මහතා සහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා අතර ඒකාබද්ධ නිවේදනය තුළ ‍අන්තර්ගත දෙරට අතර විවිධ ක්ෂේත්‍රවල හුවමාරු කටයුතු සිදු කළ යුතු බව එවක දෙරටේ රාජ්‍ය නායකයින්ගේ පොදු එකඟතාවයකට එළඹ ඇති බව පහත සදහන් ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

‘ශත සංවත්සර ගණනකට පෙර පටන් අප දෙරට අතර මිත්‍ර සම්බන්ධයකින් බැදී පැවතිණ. අප දෙපක්ෂය අතර පැවතිය හැකි සිතුම් පැතුම් හා පැවතුම් පිළිගෙන ඒවාට ගරු සැලකිලි දක්වමින් ආර්ථික සහයෝගයනුත් සභ්‍යත්වය හුවමාරු කරගැනීමේනුත් පොදු යහපත සලසා ගනිමින්.....එම මිත්‍ර බන්ධනය ‍ව‍ඩාත් බලසම්පන්න කර ගැනීමට අපි අධිෂ්ඨාන කරගෙන සිටින්නෙමු’.

එසේ ම දෙරට අතර අන්තර් මානවීය සම්බන්ධතා යාන්ත්‍රණය වඩාත් විධිමත් ව සකස් වී ක්‍රියාවට නැංවූයේ 1979දී දෙරට අතර අත්සන් කරන ලද සංස්කෘතික සහයෝගිතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය සහ මහජන චීන සමූහාණ්ඩුවේ රජය අතර එළැඹීගත් ගිවිසුම මඟිනි. එහි වගන්ති හතක් යටතේ විවිධ හුවමාරු කටයුතු සාකච්ඡා කොට ඇත. ඒවාහි සාරංශය පහත සඳහන් පරිදි ය.

* දෙරටේ ම ලේඛකයන්ගේ හා කලාකරුවන්ගේ හුවමාරු කටයුතු සිදු කිරීම.

* දෙරටේ ම අධ්‍යාපන ක‍්ෂේතයට අදාළ ව ශිෂ්‍ය-ශිෂ්‍යාවන් හා ගුරුවරුන් අධ්‍යයන කටයුතු සඳහා හුවමාරු වීම.

* දෙරටේ ම සංස්කෘතික සහ කලා විෂයෙහි එකිනෙකාගේ විශිෂ්ඨ කෘති පරිවර්තනය කොට පළ කිරීමට කටයුතු කිරීම.

* දෙරටේ ම සුහද සහයෝගය, තරග කිරීම සහ දස්කම් විදහා පෑම සඳහා විවිධ ක්‍රීඩා කටයුතු සඳහා ක්‍රිඩික ක්‍රීඩිකාවන් හුවමාරු කරගැනීම.

* වෛද්‍ය විද්‍යාව සහ මහජන සෞඛ්‍ය විෂයයෙහි ලැබෙන අත්දැකී‍ම් තම තමන් අතර හුවමාරු කරගැනීම.

* පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය යන ජන සන්නිවේදන මාධ්‍යය විෂයයෙහි හුවමාරු කිරීම සහ සහයෝගිතා වැඩ සටහන් සංවිධානය කිරීම.

* විවිධ සංස්කෘතික හුවමාරු කටයුතු වඩාත් සාර්ථක කර ගැනීම උදෙසා වාර්ෂික වැඩසටහන් සංවිධානය කිරීම.

යථෝක්ත ගිවිසුම සදහන් පරිදි සංස්කෘතික,විවිධ කලා ක්ෂේත්‍ර, අධ්‍යාපනික,ක්‍රීඩා,සෞඛ්‍ය හා ජාමාධ්‍ය ආදී විවිධ ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි මෙම අන්තර් මානවීය සම්බන්ධතා යාන්ත්‍රණය දෙරටේ ම ක්‍රියාත්මක කළ යුතු බව අවධානය කොට ඇත.

පහුගිය සියවසේ දෙරට අතර ක්‍රියාත්මක වුණ අන්තර් මානවීය සම්බන්ධතා විසිවෙනි සියවසේ මුල් අවධියේ ම කාලීන අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් වඩාත් අර්ථාන්විත ලෙස සංවිධනය කිරීම සඳහා නව චීන-ශ්‍රී ලංකා සංස්කෘතික සහයෝගිතා ගිවිසුමක් 2005 වර්ෂයේ අගෝස්තු මස අත්සන් කරන ලදී. මෙකී ගිවිසුමෙහි අන්තර්ගතය දෙස බැලීමේදී නූතන ලෝකයේ අවශ්‍යතා මත එය සකස් ඇති බව පෙනේ. සාහිත්‍යය, රංගන කලාව, සිනමාව, නාට්‍ය යනාදි කලා කටයුතු ද පුරාවිද්‍යා ආයතන, කෞතුකාගාර, පුස්තකාල ආදී අධ්‍යාපන ක්ෂේත්‍රවල ද ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය ආදි ජනමාධ්‍ය කටයුතු ද විවිධ ආගමික හා සංස්කෘතික, යෞවන, වැඩිහිටි අාදී සාමාජික කටයුතු ‍ද කෙරෙහි වූ අදාළ මානවීය සම්බන්ධතා හුවමාරු කර ගැනීමෙන් දෙරටේ ම මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම මෙම ගිවිසුමේ ප්‍රධානතම පරමාර්ථයයි. මෙම නව සංස්කෘතික සහයෝගිතා ගිවිසුම 1979දී අත්සන් කළ සංස්කෘතික සහයෝගිතා ගිවිසුමට වඩා පුළුල් පරාසයක් ආවරණය කොට ඇති බව පැහැදිලි ව පෙනෙන කරුණකි.

චීන ශ්‍රී ලංකා අන්තර් මානවීය සම්බන්ධතාවලදී ඉපැ‍රැණි කාලයේ සිට ම ආගමික කටයුතුවලට ඉතා වැදගත් තැනක් හිමි වේ. නව චීනය ආරම්භ වීමෙන් අනතුරු ව එය මැනවින් අවබෝධ කොට ගෙන දෙරට අතර ආගමික සම්බන්ධතා ශක්තිමත් කිරීමට කටයුතු කොට ඇත. ශ්‍රී ලංකා රජය ඉල්ලීම මත එරට පොදු ජනතාවට වන්දනාමාන කිරීම සඳහා චීන අග්‍රාමාත්‍ය චෞ එන් ලයි මහතාගේ උපදෙස් මත විශේෂ දූත පිරිසක් මඟින් 1961දී ජූනි මාසේදී චීනයේ වැඩ සිටින දළදා වහන්සේ විශේෂ ගුවන් යානයකින් ගෞවරවාන්විත ව ලංකාවට වැඩම කරවන ලදී. චීන ජාතික බෞද්ධ සංගමේ සභාපති ෂී රඕ ජියා චෝ මහා නායක ස්වාමින් වහන්සේ මෙකී චීන බෞද්ධ දූත පිරිසේ නායකත්වය දරා ඇත.

දළදා වහන්සේ පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ එකල රාජ්‍ය නායකයන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් ප්‍රධාන ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ගුවන් තොටුපොළට පැමිණි අතර මෙය ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසයේ අනුස්මරණීය දිනයක් ලෙස ඉතිහාසගත වී ඇත. ‍එසේ ම ලක්ෂ තිහකට අධික බැතිමතුන් පිරිසකට දළදා වහන්සේ වන්දානාමාන කිරීමට වටිනා අවස්ථාවක් සැලසී ඇත. මෙය නව චීනය ආරම්භ වීමෙන් පසුව චීන -ශ්‍රී ලංකා අන්තර් මානවීය සම්බන්ධතායන්හි සුවිශේෂ අවස්ථාව ලෙස සැලකීමට පුළුවන.

ශ්‍රී ලංකාවේ බහුතරයක් බුදු දහම පිළිපදින ජනතාවක් සිටින ලොව පිළිගත් බෞද්ධ රාජ්‍යයකි. චීනයෙන් දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමට බුදුන් වහන්සේ වැඩම කරවීම හා සමාන කොට ම සලකා ඇත. එම සිදුවීම මඟින් සම්ප්‍රදායික චීන බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ශ්‍රී ලංකිකයන් තුළ මනා අවබෝධයක් ඇති කිරීමට ද හේතු සාධක වී ඇත. ‍එ‍සේ ම මෙ මඟින් අනාගතයේ දෙරට අතර බෞද්ධ සංස්කෘතික කටයුතු හුවමාරු කර ගැනීමට පහසු මාවතක් විවර වූ බව පෙනේ.

චීන -ශ්‍රී ලංකා අන්තර් මානවීය සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී රාජ්‍ය නායකයින්ගේ සංචාරයන් ඉතා වැදගත් වේ. එවැනි සංචාරවලදී රාජ්‍ය නායකයින් සාමාන්‍ය පොදු මහා ජනතාව හමුවී සාකච්ඡා කරමින් දෙරට අතර ඇති මිත්‍රත්වය සහ ‍අන්‍යේන්‍ය අවබෝධයක් ඇති කරලීමට කටයුතු කොට ඇත.

මතු සම්බන්ධයි


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...