2021 ජනපතිවරණයට ජනපති මෛත්‍රීම ඉදිරිපත් කිරීමට අවධානය | දිනමිණ

2021 ජනපතිවරණයට ජනපති මෛත්‍රීම ඉදිරිපත් කිරීමට අවධානය

ස්වර්ණා විජේකෝන්

2021 වසරේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම ඉදිරිපත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු පවසති.

නැවත වතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට පවසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද පක්ෂයේ මධ්‍යම කාරක සභාව එවැනි තීරණයකට එළඹෙන්නේ නම් ඊට එකඟ වීමට ජනාධිපතිවරයාට සිදුවන බවත් ඇමැතිවරු පවසති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමනට සුදුසුම නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් දූෂණයෙන්, වංචාවෙන්, ඒකාධිපති බවින් තොර වත්මන් ජනාධිපතිවරයා සියලු ජනකොටස්වල ගෞරවයට හා ආදරයට පත් වූ නායකයෙක් බවත් ඔවුහු සඳහන් කළහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (11) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහි දී වැඩිදුරට‍ත් අදහස් දැක් වූ වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා‍ නිදහස් පක්ෂයට නායකත්වය දෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මතයට ඇහුම්කන් දීමට සිදුවන බවයි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා:-

2021 දී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ගේ නම යෝජනා කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා. ඊළඟ මහ මැතිවරණය පවත්වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ ජනාධිපතිවරණය සඳහා එක්වරක් ඉදිරිපත් වන බවට සඳහන් කළ එක ඇත්ත. නමුත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට එවැනි ඉල්ලීමක් කරන්නට අයිතිය තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනට සිටින සුදුසුම නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. එමෙන්ම පක්ෂයකට ඉතා ඉක්මනින් නායකයෙක් හදන්නට බැහැ. අපි දකින ආකාරයට පක්ෂයට පමණක් නෙවෙයි සමස්ත රට වැසියාට නායකත්වය දෙන්නෙ එතුමායි. ඒ නිසා මේ ධුරයට නැවත වතාවක් එතුමා ඉදිරිපත් විමේ කිසිඳු වරදක් නැහැ.

පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා-

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමනට සුදුසුම නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඒ වගේම එතුමා පක්ෂයට සුදුසුම නායකයා බවට සියලුම පාක්ෂිකයන් පවා පිළිගන්නවා. එතුමා කිසිඳු අවස්ථාවක ඒකාධිපති අයුරින් කටයුතු කර නැහැ. ඒ වගේම සියලු දෙනාටම එකසේ ඇහුම්කන් දෙන මනුස්සකම උතුරන නායකයෙක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හඳුන්වන්නට පුළුවන්.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා-

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු ජන කොටස්වල ඡන්දයෙන් පත් වූ බව ඇත්ත. නමුත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන්නෙ එතුමායි. දහනව වැනි සංශෝධනය ඔස්සේ ජනාධිපති ධුරය හා බලතල අහෝසි කිරීමට උත්සාහ කළ බව ඇත්ත. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා යම් යම් තීරණයන් දුන්නා. ඒ වගේම එවැන්නක් ක්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකක බහුතරයක් හිමිවිය යුතු අතර, ජනමත විචාරණයකට ද යා යුතුයි.

කොහොම වුණත් අද වන විට ශ්‍රීලනිපයට නායකත්වය දෙන්නෙ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. එතුමා දූෂිත නැහැ. ඒකාධිපතිත් නැහැ. වංචාවලට සම්බන්ධත් නැහැ. ඒ වගේම ඉදිරි ජනාධිපතිවරණයක් වෙනුවෙන් අපට පේන තෙක් මානයක නව නායකත්වයක් හදන්නටත් බැහැ. ඒ නිසා එතුමා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපගේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ අවධානය යොමුවී තිබෙනවා. 

නව අදහස දක්වන්න