ජනපති සුරතින් මොරගහකන්ද ජලාශයට මංගල දියවර මුදා හැරේ | දිනමිණ

ජනපති සුරතින් මොරගහකන්ද ජලාශයට මංගල දියවර මුදා හැරේ

නිරුෂි විමලවීර

 

මෙරට වාරි ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ක්‍රියාත්මක වන විශාලතම බහු කාර්ය යෝජනා ක්‍රමය වන මොරගහකන්ද ජලාශයට මංගල දියවර මුදා හැරීම ඊයේ (11) පෙරවරුවේ යෙදුනු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුවිය.

මෙහිදී රජරට ගොවි ජනතාව විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගත් අතර ජලාශයට මංගල දියවර මුදා හැරීමෙන් පසුව ජනාධිපතිවරයා ව්‍යාපෘති පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

බෞද්ධ ආගමික වතාවත් වලින් සියලු දෙනාට ආරක්ෂාව සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරමින් භික්ෂූන් වහන්සේලා සෙත් පිරිත් සජ්ඣායනා කළ අතර ජනසම්ප්‍රදායට අනුව සතර වටින් සුබ නිමිති පහළ කරමින් මල් වැසි වැටී ආශීර්වාදය එක් කිරීමද බොහෝ දෙනාගේ සතුටට හේතු විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හතළිස් වසරක සිහිනය මල්ළුල ගැන්වූයේ රජරට ජනතාවගේ කඳුළු කතාව නිමා කරමිනි. චිරාගත සම්ප්‍රදානුකූලව නොයුදුල් ජල කළස් හයක් මොරගහ කන්ද ජලාශයෙන් ලබා ගැනීමද ගොවි ජනතාව විසින් සිදු කෙළේ සාධු නාද මධ්‍යයේය.

ඒ අයුරින් රජරට ජනතාවගේ දෙකපුල් වලට සතුටු කඳුළු වඟුරුවමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

“මා ජීවිතයේ වැඩියෙන්ම සතුටු වන දිනය අදයි මා ජනාධිපති ධූරයට පත්වූ දිනය ජීවිතයේ වඩාත් සතුටු වන දිනය නොවේදැයි කෙනෙකු මගෙන් විමසා සිටින්න පුළුවන්. නැහැ. මට ජනාධිපති ධූරය ලැබුණු දිනයේදී මා සතුටට වඩා මහා වගකීම හා භාරදූර කාර්යය මා වෙත පැවරී තිබුණා.ඒ වගකීම සහ අපේක්ෂාව මගේ මාතෘභූමිය පිළිබඳ හා ජනතාව පිළිබඳවයි. ජනතාව වෙනුවෙන් මගේ වගකීම නොපිරිහෙලා ඉටු කරනවා “යැයිද සඳහන් කෙළේය.

ඇමැති දුමින්ද දිසානායක, නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක යන මහත්වරුන් ද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උයද ආර්. සෙනෙවිරත්න මහතා ඇතුථ රාජ්‍ය නිලධාරිහු මේ අවස්ථාවට එක්ව සිටියහ. 

 

නව අදහස දක්වන්න