ක්‍රීඩා උළෙලට ප්‍රමාදවී පැමිණී අගමැති බණ්ඩාරනායකට විදුහල්පතිගෙන් පාඩමක්

 වේයන්ගොඩ නගර මධ්‍යයේ සීමිත භූමි ප්‍රදේශයකින් යුක්තවු, එදා පැවැති වේයන්ගොඩ ස්වභාෂා පාසල එවකට සිටි අධ්‍යාපන ඇමැති ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ මධ්‍ය මහා විද්‍යාල සංකල්පයට අනුව 1941 ජනවාරි 6 දා ලංකාවේ ප්‍රථම මධ්‍ය මහා විද්‍යාලය ලෙස උසස් කරන ලදි. එම සංකල්පයට අනුව එවැනි පාසලකට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට එහි තිබු ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා නගරයෙන් කිලෝ මීටරයක් පමණ ඈතින් වු දුම්රිය මාර්ගය අසබඩ මාලිගාතැන්න නම්වු රජයට අයත් පොල්වත්තකින් අක්කර 27 ක් පවරාගෙන අලංකාර ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකරන ලදි. සෑහෙන පන්ති කාමර සංඛ්‍යාවක්, විද්‍යාගාර තුනක්, ප්‍රධාන රැස්වීම් ශාලාවක්, බාලක හා බාලිකා නේවාසිකාගාර දෙකක්, කෘෂිකර්ම හා ගෘහ විද්‍යා ඒකක දෙකක්, ප්‍රේක්‍ෂාගාරයක් සහිත ක්‍රීඩා පිටියක් සහ විදුහල්පති නිළ නිවාසයක් ඊට ඇතුළත්විය. මෙම ගොඩනැගිලි සංකීර්ණය 1951 වසරේ සැප්තැම්බර් 3 දින එවකට සිටි අගමැති මහාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා විසින් විවෘත කර පන්ති අරඹා ඇත.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වු සිසුන් මීරිගම, ගම්පහ වැනි තරමක් ඈත ප්‍රදේශවල සිට මෙහි පැමිණියහ. ලංකාවේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් දුම්රියෙන් පාසල් පැමිණෙන්නේ මේ පාසලට බව වාර්තාවීම නිසා 1975 වසරේ දී පමණ විදුහලට ආසන්නව ‘වදුරව‘ නමින් යුත් දුම්රිය ස්ථානයක් පිහිටුවන ලද්දේ සිසුන්ගේ ගමන් පහසුව සඳහාය.

1956 සැප්තැම්බර් මස මුල සිට 1963 අගෝස්තු මස අග දක්වා වසර 7ක් එහි විදුහල්පති ධූරය දැරුවේ ඞී.ජේ. එදිරිසිංහ මහතාය. මනාලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි එතුමා නිතරම ඇන්දේ ජාතික ඇඳුමය. තද නීතිකාරයකු වු එතුමා නොරිස්සු කාරණා දෙකක් විය. එයින් ප්‍රධාන කාරණය වුයේ සිසුන් හෝ ගුරුවරුන් ප්‍රමාද වී පාසලට පැමිණීමය. බොහෝවිට ඔවුහු ඔහුගේ උදහසට ලක්වුහ. ඔහු අප්‍රිය කළ දෙවන කාරණය නම් ඉහළ පන්තිවල ශිෂ්‍ය - ශිෂ්‍යාවන් අතර පෙම් සබඳතාවන් ඇතිවීමය. එය වැලැක්වීම සඳහා ඔහු විවිධ ක්‍රියාවන් අනුගමනය කළේය. මිශ්‍ර පාසලක් වුවත් පන්ති තුළ ශිෂ්‍යයෝ එක් පැත්තකත් ශිෂ්‍යාවෝ අනිත් පැත්තෙත් අසුන් ගත්හ. විවිධ අධ්‍යාපන කටයුතු සඳහා පන්තිවලින් බැහැරව යනවිට කොරිඩෝවල දෙපැත්තෙන් වෙන වෙනම පෝලිම්වල යායුතු විය. පාසල නිමවී පාරදිගේ නගරයට යනවිට ජෝඩු වශයෙන් කථා කරමින් යාම වැලැක්වීම සඳහා ඇතැම්විට ඔහු වේවැලක් රැගෙන පාර දිගේ ගොස් ඇත.

කන්නන්ගර මහතාගේ අපේක්‍ෂා මුදුන්පත් කරමින් සිසු අධ්‍යාපනය ඉහළම මට්ටමක තිබු මෙම පාසල ක්‍රීඩා අතින් ද නම් දරා තිබිණ. මලල ක්‍රීඩා, ශිෂ්‍යභට පුහුණුව හා මල්ලවපොර තරග අතින් ද දිවයිනේ ඉහළ තැනක් ලබා තිබිණ. අත්තනගල්ල මැතිවරණ කොට්ඨාශයේ ප්‍රමුඛම රජයේ පාසල වු මෙහි වාර්ෂිකව පැවැත්වෙන නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල මේ ප්‍රදේශයේ පැවැත්වෙන ප්‍රධානතම ක්‍රීඩා උළෙල වු අතර, එය නැරඹීමට පාසලේ සිසුන්ගේ මවුපියන්ට අමතරව අවට පාසල්වල අය ද, මහජනයා ද පැමිණියහ.

මෙම සිද්ධිය වුයේ 1959 වසරේ පැවැති නිවාසාන්තර මලල ක්‍රීඩා තරඟය පැවැත්වු ජුලි මස 11 වන සෙනසුරාදාය. දැන් කාලයේ මෙන් නොව ඒ සමයේ නිවාසාන්තර මලල ක්‍රීඩා තරග පවත්වන ලද්දේ අගෝස්තු නිවාඩුවට පෙර ජුලි මස තුළදීය. ඊට හේතුව වුයේ වැස්ස නොමැති ජුලි මාසයේ දී බාධාවකින් තොරව තරග පැවැත්වීමට හැකිවීමය. මෙවර ක්‍රීඩා උළලේ ප්‍රධාන අමුත්තා වශයෙන් පැමිණෙන ලෙස විදුහල්පති එදිරිසිංහ මහතා පෞද්ගලිකවම හොරගොල්ල වලව්වට ගොස් අගමැති බණ්ඩාරනායක මහතාට කල් ඇතුවම ආරාධනා කළේය. තම ආසනයේ තිබෙන ප්‍රමුඛම පාසලේ ක්‍රීඩා උළෙලට නොවැරදීම පැමිණෙන බව පැවසු එතුමා තමා පැමිණිය යුතු වේලාව සවස 3.30 ට බව තම දින පොතේ ද සටහන්කර ගත්තේය. උත්සව දිනයට දින කිහිපයකට පෙර දිනය හා වේලාව යළිත් එතුමාට මතක් කර දෙන ලදි.

උත්සව දිනයේ සවස 1.30 ට ධජ එසවීමෙන් පසුව තරග ඇරඹිණ. සිසුන්ගේ දස්කම් නැරඹීමට මෙන්ම අගමැතිතුමා දැකබලා ගැනීමට පැමිණි පිරිසෙන් පිට්ටනිය අවට අතුරු සිදුරු නැතිව පිරී තිබිණ. විශේෂ අමුත්තන්ට තරග නැරඹීම සඳහා ස්ථිර ක්‍රීඩා ප්‍රේක්‍ෂාගාරය වෙන්කර තිබිණ. මවුපියන්ටත්, අන් අයටත් හිඳ ගැනීම සඳහා තාවකාලික දිග ප්‍රේක්‍ෂාගාරයක් පැත්තකින් ඉදිකර තිබිණ. සවස 3.15 ට පමණ තරග නතර කොට විවේක කාලය ඇරඹිණ. මේ වන විට විදුහල් ධජයේ වර්ණ වු තද කහ හා කොළ පාට හැට්ට හා රෙදිවලින් සැරසීගත් දේශීය තූර්ය වාදක භාණ්ඩ රැගත් බාලිකාවන් පිරිසක්ද, බුලත් අතක් රැගත් විදුහල්පතිතුමා ඇතුළු ගුරු භවතුන් කිහිපදෙනෙක් ද, පාරෙන් පිට්ටනිය පෙදෙසට ඇතුළුවන ගේට්ටුව අසල රැඳී සිටියේ අගමැතිතුමා පැමිණි පසු එතුමා පිළිගෙන පෙරහැරෙන් ක්‍රීඩා ප්‍රේක්‍ෂාගාරය වෙත කැඳවාගෙන යාමටය.

දැන් වේලාව සවස 3.30 ද පසුවී ඇත. කොයි මොහොතේ හෝ අගමැතිතුමා පැමිණෙතැයි සිතමින් ගේට්ටුව අසල රැඳී සිටි අය වරින් වර පාර දෙස එබී බලමින් සිටියහ. හොරගොල්ල වලව්වේ සිට විදුහල දක්වා ඇති දුර සැතපුම් 10 කට ආසන්නය. මාර්ග බාධක වලක්වමින් ආරක්‍ෂාව සඳහා පොලිස් නිළ රථය පෙරටුකරගෙන එහි පැමිණීමට අගමැතිතුමාට වැඩි වේලාවක් යන්නේ නැත. තදින් ඉර අව්ව පායන මේ මාසයේ ගේට්ටුව අසල සියලූ දෙනාම රැඳී සිටියේ දහඩිය පෙරමින් අපහසුවෙනි. තූර්ය වාදක කණ්ඩායමේ බාලිකාවන්ගේ ඇඳුම් දහඩියෙන් පෙගී සිරුරට ඇලී තිබුණේ කාගේත් අනුකම්පාවට ලක්වෙමිනි. දැන් වේලාව 3.45 ද පසුවී ඇත. බුලත් අත අතැතිව සිටි විදුහල්පතිතුමා පාර දෙසත්, දහඩිය පෙරමින් සිටින බාලිකාවන් දෙසත් බලමින් නොඉවසිල්ලෙන් ගේට්ටුව අසල එහා මෙහා ගමන් කරන්නට වීය. නියෝජ්‍ය විදුහල්පතිගේ බලවත් ඉල්ලීම පරිදි තවත් වැඩිපුර විනාඩි 5 ක් බලාසිටි විදුහල්පතිතුමා තම අත් ඔරලෝසුව දෙස බලා තීරණයක් ගත්තේය. දැන් එතුමාට මළපැන ඇත. ඔහු අතේ දහඩියට තෙත්වී තිබුණ බුලත් අත ගේට්ටුව අසල කාණුවට වීසි කළේය. එහි කොළ අවට විසිරී ගියේය. බලවත් කේන්තියෙන් යුතුව ඔහු මෙසේ පැවසීය.

‘අපි බලාහිටියා හොඳටම ඇති. අගමැති වුණහම වෙලාවට වැඩ කරන්න දැනගන්න ඕනේ. ළමයිනේ අපි ආපහු යං.‘ යැයි බාලිකාවන්ට පැවසු එතුමා බාලිකාවන්ව ආපසු පිටත්කර යවා කේන්ති පිට ඉක්මන් ගමනින් ක්‍රීඩා ප්‍රේක්‍ෂාගාරයට ගොස් යළි තරග අරඹන ලෙස උපදෙස් දුන්නේය. යළි තරග ඇරඹිණ. විදුහල්පතිතුමාගේ බලවත් කෝපයට හේතු වුයේ අගමැතිතුමාගේ ප්‍රමාදය නිසා දේශීය තූර්ය වාදක භාණ්ඩ ඔසවාගෙන විනාඩි 45ක් පමණ ගිනි අව්වේ ඉතා අපහසුවෙන් හිටගෙන සිටීමට සිවුමැලි බාලිකාවන් 30දෙනකුට සිදුවීම නිසාය.

සවස 4.00 පසුවී මඳ වේලාවකට පසු පොලිස් නිළ රථය පෙරටු කරගෙන අගමැතිතුමා සම්ප්‍රාප්ත වීය. වෙනදා මෙන් එතුමා පිළි ගැනීමට ගේට්ටුව අසල කිසිවෙක් සිටියේ නැත. එහෙත් ඒ අවට විසිරී තිබුණ බුලත් කොළ දුටු එතුමා සිදුවී ඇති දේ ඉවෙන් මෙන් වටහා ගත්තේය. පළපුරුදු දේශපාලඥයකු වු එතුමා කළබල නොවී ප්‍රධාන ප්‍රේක්‍ෂකාගාරයට නොගොස් මවුපියන් සඳහා පසෙකින් ඉදිකර තිබු තාවකාලික දිග ප්‍රේක්‍ෂකාගාරයට ඇතුල්වී මවුපියන් අතර අසුන් ගත්තේය. මෙය දුටු මවුපියෝ කිහිපදෙනෙක් වහා ගොස් අගමැතිතුමා පැමිණ මවුපියන් සඳහා වු ක්‍රීඩා ප්‍රේක්‍ෂකාගාරයේ රැඳී සිටින බව විදුහල්පතිතුමාට දැන්වූහ. තවමත් කේන්තිය පහව නොගොස් තිබුණ විදුහල්පතිතුමා පැවසුවේ ‘පරක්කුවෙලා ආවානම් තව ටිකක් ඔහේ හිටපුදෙන්.‘කියාය. එය ඇසු විදුහලේ ගුරුවරු කීපදෙනෙක් කරුණු කියා විදුහල්පති අස්වසා කේන්තිය සංසිඳුවා අගමැතිතුමා ළඟට කැඳවාගෙන ගියෝය. පසුව එතුමාව පිළිගෙන ප්‍රධාන ප්‍රේක්‍ෂාගාරයට කැඳවාගෙන එන ලදි. එතුමාගේ ප්‍රමාදවීම ගැන යමක් පැවසීමෙන් වැළකී සිටීමට දෙදෙනාම පියවර ගෙන තිබිණ.

එහි දී එතුමාට ජාතික ජ්‍යෙෂ්ඨ මල්ලවපොර ශූරතාව දිනාගත් නිමල් ජයසිංහ නමැති ශීෂ්‍යයා හඳුන්වා දුන් විට එතුමා ඔහුට සුබපතා ඔහුගේ කරේ අත දමාගෙන ඡායාරූපවලට පෙනී සිටියේය. ක්‍රීඩා උළලේ දී එතුමා කළ කථාවත්, ගන්නා ලද ඡායාරූපත් පසුදින පුවත්පත්වල පළකොට තිබිණි.

මේ සිද්ධියෙන් දෙමසකට පමණ පසු අගමැතිතුමා සහසිකයකුගේ වෙඩි පහරින් ඝාතනයට ලක්වීය. පසු කළෙක ඒ මහතාගේ නමින් විදුහලේ නම වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය ලෙස වෙනස්වු අතර, වේයන්ගොඩ නගරයේ සිට විදුහලට යන අතුරු මාර්ගය බණ්ඩාරනායක මාවත ලෙස ද නම් කරන ලදි. මේ විස්තර විදුහලේ ලොග් පොතෙන් ද, ත්‍යාග ප්‍රධාන උත්සව සඳහා මුද්‍රණය කරන ලද විදුහල්පති වාර්තා වලින්ද, විදුහලේ පැරණි ගුරුවරුන්ගෙන් හා ආදි ශිෂ්‍යයන්ගෙන් ද ලබාගෙන ඇත.

ඩොනල්ඩ් මුණසිංහ
විශ්‍රාමික විදුහල්පති 
වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...