තික්ෂිලට ජාත්‍යන්තර තරග වරම් | දිනමිණ

තික්ෂිලට ජාත්‍යන්තර තරග වරම්

ෆවුස් මොහොමඩ්

හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ 23 හැවිරිදි තුන්ඉරියව් ක්‍රීඩක නිර්වන්ත තික්ෂිල ද සිල්වාට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දොරටු විවර කරදෙමින් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් දකුණු අප්‍රිකානු පිල සමග පැවැත්වෙන විස්සයි20 තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරනු ලැබීය.

ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි තික්ෂිල ජාතික කණ්ඩායමට කැඳවනු ලැබුවේ වමත් පිතිහරඹයෙන් ද, දකුණත් මඳවේග පන්දුවෙන් ද අන්තර් සමාජ ප්‍රිමියර් ලිග් තරගාවලියේ කැපි පෙනෙන දස්කම් දක්වමින් සිටින අතරතුරදීය.

එස්.එස්.සී.ක්‍රීඩා සමාජයට එරෙහිව පසුගියදා පැවැති අන්තර් සමාජ පළමුපෙළ ලීග් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 92ක් ලැබූ මේ පිතිකරුවා දකුණු අප්‍රිකාවේදී සිය මංගල ජාත්‍යන්තර තරග වරම් දිනාගනු ඇත.

මීට අමතරව ටෙස්ට් තරග 3කට හා එක් දින තරගයකට ක්‍රීඩා කොට ඇති දඟපන්දු යවන ක්‍රීඩක සී.සී.සී. කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන්ට ද විස්සයි20 තරග වරම් හිමිවී තිබේ. අවසන් වරට පසුගිය වසරේ ජනවාරියේදී නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ් හී දී ජාතික පිල නියෝජනය කළ හලාවත මේරියන්ස් පිලේ ඉසුරු උදානට ද මෙවර කණ්ඩායමේ ස්ථානයක් හිමිවී තිබේ.

දකුණු අප්‍රිකානු පිල සමග මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩා කරමින් සිටින නායක මැතිව්ස්, උපනායක චන්දිමාල්, ලක්මාල්, ධනංජය, නුවන් ප්‍රදීප් සහ කුසල් මෙන්ඩිස් විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත බැවින් සෙසු ක්‍රීඩකයන් ටෙස්ට් තරගමාලාවෙන් පසුව යළි ශ්‍රී ලංකාව බලා පැමිණෙනු ඇත.

තරග 3කින් සමන්විතව ලබන 20 වැනිදා සෙන්චූරියන් හී දී ආරම්භ වන විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කිරීමට ධනුෂ්ක ගුණතිලක, සීකුගේ ප්‍රසන්න, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, සචිත් පතිරණ, ලක්ෂාන් සඳකැන් සහ නුවන් කුලසේකර අද දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතය. සෙසු ක්‍රීඩකයන් ඉදිරියේදී කණ්ඩායමට එක්වනු ඇත. 

නව අදහස දක්වන්න