ශ්‍රී ලංකාව-දකුණු අප්‍රිකාව අද අවසන් ටෙස්ට් ගැටුමට | දිනමිණ

ශ්‍රී ලංකාව-දකුණු අප්‍රිකාව අද අවසන් ටෙස්ට් ගැටුමට

 තරග 2-0කින් දැනටමත් ටෙස්ට් තරගමාලාව පරාජයට පත්වී සිටින ශ්‍රි ලංකා කණ්ඩායම සැනසිලි සහගත ජයග්‍රහණයක් අත්කර ගැනීමේ අදිටනින් යුතුව අද (12) ජොහැනස්බර්ග් නුවර නිව් වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේ දී දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයට එක්වෙයි.

පෝර්ට් එලිසබෙත් නුවර පැවැති පළමු තරගයෙනුත්, කේප් ටවුන් හී පැවැති දෙවැනි තරගයෙනුත් අන්ත පරාජයකට පත්වීමෙන් සිය ක්‍රීඩකයන් ලද මානසික පීඩනය අද තරගයේදී දුරුකරලීමට හැකිවනු ඇතැයි ශ්‍රි ලංකා පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ බලාපොරොත්තුව වී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පිහිටා ඇති වේගවත්ම සහ පන්දුව වැඩිපුර ඉහළට ඉලිප්පෙන තණතීරුවක් ලෙස ප්‍රකට නිව් වොන්ඩර්ස් ක්‍රිකට් පිටියේ තණකොළ එතරම් දක්නට නොලැබෙන බැවින් එය සත්කාරක දකුණු අප්‍රිකානුවන්ට මෙන්ම සංචාරක ශ්‍රී ලංකා පිලටත් එක සමානව වාසි අවාසි ගෙන දෙනු ඇතැයි විචාරකයෝ අනාවැකි පළ කරති.

එසේ වුවත් පසුගිය තරග 2දී වැරැදි පහරවල් කරා යාමෙන් නිකරුණේ කඩුල්ල පූජා කිරීමේ ප්‍රතිඵල පරාජයෙන් අවසන් වූ බැව් හොඳින්ම දන්නා ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් අද තරගයේදී සිය අඩුපාඩු මගහරවාලමින් සාර්ථක පිතිහරඹයක නිරතවනු ඇත. වේග පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණදෙන යොවුන් පිතිකරුවන් වන කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා කෙරෙහි අද තරගයේ දී වැඩි අවධානයක් යොමු වනු ඇත. ඒ අතරින් අංක 7 ස්ථානයෙන් අංක 4 ස්ථානයට උසස්වීමක් ලැබූ ධනංජය සිල්වා කෙරෙහි ශ්‍රි ලංකා පිල වැඩි බලාපොරොත්තු රඳවා තබා සිටී.කේප් ටවුන් හි පැවැති තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ශ්‍රී ලංකා පිලේ යොවුන් වේගපන්දු යවන්නා වන ළහිරු කුමාරට නිව් වොන්ඩර්ස් තණතීරුවේ දස්කම් දැක්වීමට කදිම අවස්ථාවක් ලැබී ඇති අතර දකුණු අප්‍රිකානු පිතිකරුවන් මෙල්ල කිරීමට මෙවර තරගාවලියේ දී ශ්‍රි ලංකා පිලේ සාර්ථකම පන්දු යවන්නා වන සුරංග ලක්මාල්ට කදිම සහයෝගයක් ද ලබා දෙනු ඇත.

අද තරගය දකුණු අප්‍රිකානුවන්ට අතිශය වැදගත් එකක් වී ඇත්තේ එය කණ්ඩායමේ ප්‍රවීණ පිතිකරු හෂීම් අම්ලා තරග වදින සිය වැනි ටෙස්ට් තරගය වීම නිසාය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග සියයකට ක්‍රීඩා කිරීමේ ගෞරවය අත්කරගන්නා 8 වැනි ක්‍රීඩකයා ලෙස අම්ලා අද තරගයට එක්වෙයි.

මීට අමතරව දකුණු අප්‍රිකානුවන් අද තරගයට එක්වන්නේ ටෙස්ට් තරගමාලාවෙන් 3-0ක පූර්ණ ජයක් අත්කර ගැනීමේ බලාපොරොත්තුවත් කරපින්නාගෙනය. කණ්ඩායමේ නව නායක ෆෆ් ඩුප්ලෙසිස් යටතේ එවැනි සාර්ථකත්වයක් අත් කරගැනිම ඉදිරි තරගවලට වැඩි වාසියක් ගෙන දෙනු ඇතැයි දකුණු අප්‍රිකානු පිලේ ක්‍රීඩකයෝ විශ්වාස කරති. මෙතෙක් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කොට නොමැති වේගපන්දු යවන ඩුආන් ඔලිවර් අද තරගයට එක් කරනු ඇතැයි මීට පෙර අනාවැකි පළවී තිබුණත් එම ස්ථානය වමතින් වේග පන්දු යවන වේන් පානෙල්ට හිමිවනු ඇතැයි වාර්තාවෙයි.

ශ්‍රී ලංකා සංචිතය - ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා. දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, රංගන හේරත්, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, කුසල් පෙරේරා, දිල්රුවන් පෙරේරා, දුෂ්මන්ත චමීර, විකුම් සංජය

දකුණු අප්‍රිකානු පිල - ෆෆ් ඩු ප්ලෙසිස් (නායක), ස්ටීවන් කුක්, ඩින් එල්ගාර්, හෂීම් අම්ලා, ජේ.පී.දුමිනි, ටෙම්බා බවුමා, කුවින්ටන් ඩි කොක්, වර්නන් ෆිලෙන්ඩර්, වේන් පානෙල්. කේෂාව් මහරාජ්, කගීසෝ රබාඩා.

නව අදහස දක්වන්න