නොහික්මුණු තාරුණ්‍ය ගැන කියැවෙන මතක වස්ත්‍ර පූජා

අනුසාර මාහිංගොඩ
ජායාරූප - දුෂ්මන්ත මයාදුන්න
චරිත අනුරාධ

ආත්මතෘප්තිය වෙනුවෙන් නිර්මාණකරණයේ නියැළෙන ඔහුගේ ප්‍රථම නවකතාව 'මතක වස්ත්‍ර පූජා' නමින් පසුගියදා එළිදැක්විණි.මේ ලිපිය, ලේඛක චරිත අනුරාධ උදයරත්න හා කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කෙරිණි.

'අලුත් කාර් එක හින්දා මගේ දඩයම ලේසි වුණා. කාර් එකක් තියෙන කොල්ලෙකුට අකමැති කෙල්ල කවුද? මගේ ‘ලිස්ට්’ එක එන්න එන්නම දික්වුණා. ඒ වගේම මගේ බැංකු ගිණුමත් බලන් ඉද්දිම පිරුණා. විහඟ සංකල්ප බෝධිකොටුව සමාජයේ දැවැන්ත වෘක්ෂයක් වගේ වැඩෙන්න ගත්තා. සල්ලි වියදම් කළොත් අපිටත් විහඟව යාළු කර ගන්න පුළුවන්ය යන මතය සමාජයේ හැම කෙල්ලෙක්ගෙම මතය වුණා.'

ඉහත ඡේදය තරුණ ලේඛක චරිත අනුරාධ උදයරත්නගේ කුළුඳුල් නවකතාව වන 'මතක වස්ත්‍ර පූජා' 262 පිටුවෙන් උපුටාගත්තකි. එය, ශවේරු ප්‍රකාශනයකි‍‍.

මේ නවකතාවට අන්තර්ගත වන්නේ, පාසල් වියේ පසුවන තරුණ සිසුවකු මුහුණදෙන සාමාජීය ගැටලු ඉදිරියේ, ඔහු හැසිරෙන ආකාරය පිළිබඳ ව ය. දුක් දෝමනස්සය, ප්‍රීතිය, කළ කිරීම, ප්‍රේමය,රාගය වැනි හැඟීම් අතර දෝලනය වෙමින් විනාශය කරා ඇදෙන තරුණයකුගේ චරිතය, “මතක වස්ත්‍ර පූජා” කතාව මඟින් මවන්නට ලේඛකයා මෙහිදී උත්සාහ කර ඇත. නවකතාව යථාර්ථවාදී රීතිය ඔස්සේ පෙළගස්වා ඇත. තරුණ වියට උරුම හැසිරීම්, දඟකාරකම්, භාෂාව මෙහිදී භාවිත කරයි. මෙහි චරිත කිහිපයකි. සියලු චරිත තරුණ ය. මේ චරිත අතරින් විහඟ සංකල්ප බෝධිකොටුව යනු නවකතාවේ දැක්වෙන ප්‍රධාන චරිතයයි. එම චරිතය වටා අනෙකුත් චරිත ගොඩනැ‍ඟේ.

විහඟ සංකල්ප බෝධිකොටුව නමැති තරුණ චරිතය ගොඩනැංවෙන්නේ, එක්තරා දිනකදී මහනුවර වැව අසලදී තමාට හමුවන තරුණයකු ඇසුරෙන් බව කතුවරයා පවසයි.

ඔහු තම ලේඛන දිවියේ ආරම්භය සනිටුහන් කරන්නේ පාසල් වියේදී ය. තම ප්‍රථම සාහිත්‍යාංගය වන කාව්‍ය ප්‍රබන්ධය අරඹන්නේ එහිදී ය. ලේඛකයාගේ නව නිර්මාණ සහෝදර සිසුන් අතර කතාබහට ලක්විය. පාසල් බිත්ති පුවත්පත හරහා හේ කාව්‍ය නිර්මාණ මුදාහැරියේය. අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ.පෙළ) විභාගයෙන් පසු අගනුවරට සංක්‍රමණය වන ඔහු, ජීවත්වීමේ අරගලය පටන්ගන්නේ එහිදී ය. මේ අරගලයේදී තම නිර්මාණකරණය චරිත වෙතින් ගිලිහී ගියේය.

2008 වසරේදී ඔහු තම නිර්මාණ දිවිය නැවතත් පටන් ගත්තේය. ඒ නවකතාකරණයට පිවිසීමෙනි. ඔහු නවකතා ද්විත්වයක් නිර්මාණ කළේය. ඒවා තම යහළු යෙහෙළියන් අතර හුවමාරු විය. ඔවුහු එකී නවකතා අගේ කළ අතර, මේ තරුණ ලේඛකයා ධෛර්යවත් කළහ. මිත්‍ර සමාගමේ ධෛර්යයත්, තම ආත්ම තෘප්තියත් පෙරදැරි කරගෙන මොහු, නවකතාකරණයට ප්‍රවේශ විය. ඒ, මතක වස්ත්‍ර පූජා හරහා ය.

“මා කවියක් හෝ නවකතාවක් ලියන්නේ ආත්ම තෘප්තියට. ඒත් මට දැන් තියෙන්නේ ඊට එහා ගිය අදහසක්. මගේ නිර්මාණ දැන් ආත්ම ප්‍රකාශයක් වෙලා. විශේෂයෙන්ම තරුණයන් මගේ මේ නවකතාව බලලා යමක් උකහාගනියි කියලා මා විශ්වාස කරනවා.”

ඔහු පවසයි.

'කලිසම, ෂර්ට් එක රැලි සිටින්න මැදලා, ගෙදර තියෙන හැම සුවඳක්ම ඇ‍ඟේ ගාගෙන පාසල් බසයට නැග්ගහම, රටක් රාජ්‍යයක් දිනුවා වගේ හැඟීමක් නැතිව, වර්තමානයේ කෙසේ නම් සැරිසරන්නද? යහළුවන් පිරිවරා A/L ක්ලාස් ගිය හැටි, යන එන ගෑනු ළමයින්ට විහිළු කළ හැටි කෙතරම් සුන්දර අත්දැකීමක්ද? වැව රවුම, දළදා මාලිගාව, පේරාදෙණිය මල්වත්ත, හන්තාන කඳු ශිඛරය... මේ හැම තැනකම ඇත්තේ ජීවිතයෙන් ගැලවිය නොහැකි අතීත මතකයකි.' ලේඛකයා තම කෘතියෙහි කර්තෘ සටහනේ තැනෙක එසේ සටහනක් තබයි.

කවර ලේඛකයකු කුමන සාහිත්‍යාංගයක නිරතව සිටිය ද, ඔහු හෝ ඇය ඒ ඔස්සේ ප්‍රකාශ කර සිටින්නේ තම අත්දැකීම් හෝ සමාජයේ අත්දුටු දෑ වන්නට පිළිවන. එහිදී තම ජීවිතය ඒ ඔස්සේ එළි බැසීම කිසිවකුට වැළැක්විය නොහැකි ය. මතක වස්ත්‍ර පූජා හි හැම අකුරක් අකුරක් පාසාම ඇත්තේ තමාගේ අත්දැකීම් බව මෙහි කර්තෘවරයා ඉහත සටහනින් පාඨකයාට කියාපායි.

සමාජයේ වන වෙනස්වීම් කෙරෙහි ඇතැම්හු බොහෝ සංවේදි වෙති. මේ අතර ලේඛකයෝ පෙරමුණේ සිටිති. මේ වෙනස්වීම් සමාජයේ පරිහානියට හේතුවන විට, ඇතැම් ලේඛකයන් මේ සඳහා අරගල කරයි. මේ ලේඛකයා තම අරගලය කරන්නේ පෑන් තුඩිනි. ඒ, තම නිර්මාණය හරහා බව හේ ප්‍රකාශ කරයි. දුගතිය කරා යන තාරුණ්‍යය, සුගතිය කරා රැගෙනයාම තම ව්‍යායාමය බව ඔහු තව දුරටත් කියා සිටියි. එහෙත් නවකතාවකින් හෝ වෙනයම් සාහිත්‍යාංගයකින් සමාජය ඉක්මනින් වෙනස් කිරීමට නොහැකි බවත්, එය කළ හැකිවන්නේ හිමින් සීරුවේ බවත් ලේඛක අදහස ය. හේ හොඳ කෘති පරිශීලනය කරන්නෙකි. පරිවර්තන කෙරෙහි ආශක්ත වූවෙකි.

' අපි පාසල්වියේ ඉඳන්ම පොත පත ඇසුරු කළා.ඒත් අද තරුණයා කියැවීමෙන් ඈත්ව සිටින බවක් පෙනෙනවා. අද තරුණයාගේ සුරතේ පොත් වෙනුවට තියෙන්නේ ජංගම දුරකථනය. එහෙත්, ඇතැම් තරුණ තරුණියන් පොත් සාප්පුවල හෝ පොත් සල්පිල්වල ගැවසෙන්නේ විලාසිතාවට මිසක්, පොත පත කෙරෙහි ඇති කැමැත්තකින් නෙමෙයි.'

ප්‍රවීණ සිංහල හා ඉංග්‍රීසි දේශක නීල් ක්‍රිස්ටෝපර්, මේ නවකතාවට කෙටි පෙරවදනක් තබයි. එයින් මම මේ ලියැවිල්ල අවසන් කරමි.

“මෙය විශිෂ්ට නවකතාවකැයි කියන්නට මම හදිසි නොවෙමි. එහෙත් නවකතාව පුරාම දක්නට ඇති එක් සාධනීය ලක්ෂණයක් වෙයි. එනම් නව යෞවනයන්ගේ මුවඟින් ගිලිහෙන බසින් මේ කෘතිය අලංකාර වීම ය. ඒ බස ඉතා ම සජීවී ය. අව්‍යාජ ය. යෞවනයන්ගේ සිත් කෘතිය වෙත ඇද ගැනීමට සමත් ය.”

මේ ලේඛකයා විශ්ව සාහිත්‍යයේ සම්භාව්‍ය කෘති සමීපව පරිශීලනය කරන්නේ නම්, වඩාත් කාව්‍යාත්මක භාෂාවක් ගොඩනඟාගන්නට යත්න දරන්නේ නම් සහ සමාජ යථාර්ථය ස්වකීය අත්දැකීම් ඇසුරෙන් විනිවිද දකින්නට තැත් කරන්නේ නම්, ඔහුට දිගු ගමනක් යා හැකි බවට ඔහු ගේ මේ කෘතිය දෙස් දෙයි.”


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...