හැම තිස්සෙම මම හිටියෙ අතුරු පාරක

කාංචනා අමිලානි
මෙඩලින් තීන්

මෙඩලින් තීන් කැනේඩියානු ජාතික කෙටිකතා සහ නවකතා රචිකාවියකි. ඇගේ පළමු කෘතිය කෙටි කතාවකි. 'සිම්පල් රෙසිපීස්' නමින් එය 2001 දී නිකුත් විය. ඇගේ පළමු නවකතාව ' සර්ටනිටි' නිකුත් වූයේ 2006 දී ය. දෙවැන්න 'ඩෝග්ස් ඇට් ද පරර්මිටර්' නිකුත් වූයේ 2011 දී ය. 2016 දී නිකුත් වූ නවකතාව 'ඩූ නොට් සේ වී හෑව් නතින්ග්' මේ වසරේ මෑන් බුකර් සාහිත්‍ය ත්‍යාගය සඳහා නිර්දේශ විය. මේ ඇය සමඟ කළ සාකච්ඡාවකි.

'ඩූ නොට් සේ වී හෑව් නතින්ග්' නමින් ඉතාම ආකර්ෂණීය නවකතාවක් ඔබ විසින් ලියා පළ කර තිබෙනවා. චීන සංස්කෘතික විප්ලවය පදනම් කරගෙනයි ඔබ මේ නවකතාව ලියා තිබෙන්නේ? ඔබේ නවකතාවට එවන් බරපතළ මාතෘකාවක් ‍තෝරා ගත්තේ ඇයි?

මම ලියන්න පටන් ගන්නකොට හිතුවෙ විශේෂිත එක කරුණක් වටා පමණක් මගේ නවකතාව ගොඩනඟන්නයි. ඒ කියන්නේ 1989 දී ටියානමන් චතුරස්‍රයේ ඇති වූ උද්ඝෝෂණයයි මේ සියල්ලටම මුල් වුණේ. රූපවාහිනියෙන් විකාශනය වූ මේ සිදුවීම රූපවාහිනියෙන් ම මම නැ‍රැඹුවා. එය ඉතා ම විචිත්‍ර ලෙස මගේ මතකයේ නිධන් ගතව තිබෙනවා. පැය 24 පුරා විකාශය වූ පුවත්පත් විකාශයක් අතරයි මම මෙය නැ‍රැඹුවේ. මම හිතන්නේ මේ සිදුවීම සදාකාලයටම මගේ මතකයේ ‍රැඳුණා කියලයි. සති 06ක් පුරා පැවතුණු මේ උද්ඝෝෂණය එරටේ බොහෝ දේ උඩු ය‍ටුකුරු කිරීමට සමත් වුණා කියලා මම විශ්වාස කරනවා. පොත ලියන්න අවුරුද්දකට වගේ කලින් මම මේ සිදුවීම නැවත ආවර්ජනය කළා. සිසුන් විතරක් නෙවෙයි, මිලියනයක් විතර බීජිං නගරේ සාමාන්‍ය මිනිස්සු වීදි බැස්සා. ඒ අතරේ මැදි වයසේ සහ මහලු වයසේ අයත් හිටියා. ඒ ආකාරයෙන් වීදි බැහැලා රජයට විරුද්ධව හිට ගන්න ඔවුන්ට ලැබුණු ධෛර්යය මොකක්ද කියලා මං කල්පනා කරන්න ගත්තා. ඒ වගේම වීදියට බැහැලා උද්ඝෝෂණය කරන්න ඕනා කියලා ඔවුන්ට ඒත්තු ගියේ ඇයි කියන එක මම තව දුරටත් කල්පනා කරන්න ගත්තා. සමහර විට ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය සහ ඉදිරි පරම්පරාවේ අනාගතය ඒකට ආසන්නම හේතුව වෙන්න ඇති කියලා මම හිතුවා. මේ ඔක්කොම හේතු නිසා වෙන්න ඕනා චීන සංස්කෘතික විප්ලවය තෙක් ආපස්සට ගමන් කරන්නට මට හිතුණේ. මම මීට කලින් ලියමින් උන්නේ කාම්බෝජියාව ගැනයි.

කම්බෝජියානු සමූල ඝාතනය මා බොහෝම කැලැඹුවා. ඒ හා සමගාමීවම මම තවත් දෙයක් කල්පනා කරන්න වුණා. ඒ සංගීතය ගැන. මෙවැනි කැ‍රැල්ලකට සංගීතයෙන් ලබා දෙන්න පුළුවන් උත්තරය මොකක්ද කියලා මම කල්පනා කළා.

ශාස්ත්‍රීය සංගීතය ගැන මට එතරම් දැනුමක් නෑ. ඔබේ නවකතාව කියවන විට සංගීතය ගැන මම නොදැන සිටි වෙනත් ඉසව් විවර වුණා වගෙයි. සංගීතය වෙනත් අයගේ ජීවිත ඇතුළේ වැඩ කරන විදිහ, සංගීතය ඇතුළේ සඟවා තියෙන හැඟීම් සහ තේරුම් ආදිය ගැන ඔබ කරන විස්තර ඉතාම ආකර්ෂණීයයි. මේවා ලිව්වේ කොහොමද?

පොත ලියන කොට මට තිබුණ ලොකු ම අභියෝගය තමයි සංගීතය ගැන ගැඹුරින් සාකච්ඡා කරන්නේ කොහොමද කියන එක. මම සංගීතඥයෙක් නෙවෙයි. ඉදහිට ඉතා ම අමාරුවෙන් පියානෝව වාදනය කළාට, සංගීතය ගැන ගැඹුරු අවබෝධයක් ලබා ගන්න බැහැනේ. ඒකත් මම කුඩා කාලේ ඉගෙන ගත්ත සංගීත දැනුම විතරයි. නෝට් කියවගන්න මට පුළුවන්. ඒත් ඒක හරිම සීමිත දැනුමක්.

මේ පොතේ සංගීතමය ව්‍යාපාරයක් ගැන සහ කලාවේ හැඟීම් ප්‍රකාශනය ගැන මම කතා කරනවා. උදාහරණයක් විදිහට මා ගත්තොත් මම චීන සංක්‍රමණිකයෙක්. ඒ වගේම පුහුණු කරන ලද බැලේ නර්තන ශිල්පිනියක්. මේ කතන්දර දෙක එකිනෙකට නොගැළපෙනවා වගේ කාටහරි පේන්න පුළුවන්.

බැලේ නර්තනය කියන්නේ මට අදාළ ඉතා ම පෞද්ගලික හැඟීමක්. 1960 දී ෂැංහයි සංරක්ෂණාගාරයේ දී චීන සංගීතඥයන් ඊට මැදිහත් වුණේ දේශපාලනික අර්ථයකින්. එහි තිබුණේ දේශපාලනමය වාතාවරණයක්. මම උත්සාහ කළේ නූතන චීන ජාතිකයා සහ චීන විප්ලවය නියමාකාරයෙන් හඳුනා ගන්නයි.

මේ පොත පුරා දිව යන සංගීතමය තේමාව ඉතිහාසය විනිවිද යන්නක්. සංගීතය අයත් මිනිසුන්ගේ ජීවිත හරහා ද සියුම් කැපුමක් ඇති කරමිනුයි මේ කතාව ගලාගෙන යන්නේ.

අපි නැවතත් නූතන චීන ජාතිකයා කියන සංකල්පය දිහාට හැරෙමු. ඔබ කතා කරනවා ආදරය සහ ආශාව පසුපස ලුහුබැඳීම සෑම විටම විප්ලවයට දෙවැනි වන බව. ඒ නිසා ම මෙහි යටි පෙළින් ගලා යන ආදරය පිළිබඳ මම ගැඹුරින් සිතන්න පටන් ගත්තා. සියලු දුක් කම්කටොලු මැද ආදරය නොනසා පවත්වා ගැනීම ගැන ඔබ සිතන්නේ කුමක්ද?

ආදරය සහ ආශාව පසුපස ලුහුබැඳීම එක්තරා ලාලසාවක් හැටියටයි මම දකින්නේ. පවුල අතර පවතින අවියෝජනීය බැදීම ඉතාම විස්මයජනකයි. මොන තරම් අභාග්‍යසම්පන්න කාලයක වුවත් එහි යම් වෙනස්වීම් වෙනවා මිස නැතිව යන්නේ නැහැ. මගේ කාම්බෝජියානු කෘතියෙත් මේ ගැන වැඩි වශයෙන් කතා කරනවා. කාම්බෝජියාවේ කේමර් අනුගාමිකයන්, එනම් කාම්බෝජියාවේ කොමියුනිස්ට්වාදීන් සහ චීන සංස්කෘතික විප්ලවය කාලයේ මිනිසුන්ගේ පවුල්වල පැවැති සහයෝගීතාව එක සමානයි. ඔවුන් පරාජය කිරීමට පැවැති රජයන්ට දුෂ්කර වුණේ මේ පවුල් අතර තිබූ දැඩි බැම්මයි.

මේ නිසා සෑම විප්ලවයක්ම පරාජය කිරීමට පෙර කු‍ටුම්භ තුළ පැවැති බැඳීම් කඩා බිඳ දැමීමටයි රජය උත්සාහ කළේ. මෙය ඉතා ම බරපතළ කාර්යයක් විදිහටයි මම දැක්කේ. ඉතිහාසයේ කැත පැතිකඩක් පෙන්නුම් කරන මේ සිදුවීම ගැන වැඩිපුර කතා කරන්න ඕනා කියලයි මම හිතුවේ.

තමන්ගේ කු‍ටුම්භය කෙරෙහි තියෙන ආදරය වෙනත් කිසිවකට නොදෙවැනියි. ඒකෙන් කියවෙන්නෙ නෑ ඒ අය තමන්ගේ රටට ආදරේ නෑ කියලා. ඒත්, සෑම විප්ලවයකම කෙනකු හෙල්ලුම් කන දේ තියෙනවා. සසැලෙන දේ තියෙනවා. ඒවා ගැනත් සාකච්ඡා කරන්න මට වුවමනා වුණා.

නවකතාවේ එක් තැනක ඔබ පවසනවා ඔබ ගැනම අදහස් දැක්වීමට තිබූ ඉඩ වසා දැමුවා කියා. භාෂාව සහ භාෂාව වටහා ගැනීමේ ඉඩකඩ පිළිබඳ ඔබ සාකච්ඡා කරනවා. මෙහි එක් තැනක මරියා කතා කරනවා තමන්ගේ මවුපියන් භාෂා කිහිපයකින් කතා කිරීම ගැන. එක්කෙනකු මැන්ඩරින් කතා කරන විට, අනිත් කෙනා කැන්ටෝනීස් කතා කරනවා. ඇය ඔවුන්ට ඉංග්‍රීසියෙන් පිළිතුරු දෙනවා. ඔබ ලොකු මහත් වන විට ඔබටත් මෙවැනි වාතාවරණයකට මුහුණ දුන්නාද?

මගේ ජීවිතය මීට වඩා ටිකක් වෙනස්. මගේ අම්මා කැන්ටෝනීස් කතා කරද්දි, මගේ තාත්තා කතා කළේ හක්කා. හක්කා කියන්නේ තවත් කුඩා උප භාෂාවක්. ඔවුන් දෙන්නට ඔවුනොවුන් තේරුම් ගන්න නම් එක්කො ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනා. එහෙමත් නැත්නම් වෙනත් පොදු භාෂාවකින් කතා කරන්න ඕනා. එහෙම නැත්නම් එක්කෙනකුට අනිත් කෙනා කියන දේ තේරෙන්නෙ නැතිව යනවා. ඒ වගේම ඒ අයගෙ දරුවන්ට මේ කියන කිසි ම දෙයක් නොතේරීත් තියෙනවා. මේ දේ හරි ම පැටලැවිල්ලක්. මම හැමතිස්සෙම හිටියෙ අතුරු පාරක. මට ඔවුන් කියන කිසි ම දෙයක් තේරුණේ නෑ. ඒ දෙන්නා හිටියේ විශාල ප්‍රධාන මාර්ග දෙකක. ඒත් මගේ මවු භාෂාව වුණේ ඉංග්‍රීසි.

මේ නිසා මම හිටියේ දීර්ඝ නිශ්ශබ්දතාවකයි. භාෂා කිහිපයක් විසින් මා ඒ නිශ්ශබ්දතාවට ඇදලා දැම්මා කියලා කිවවා නම් හරියටම හරි.

ඔබ කියනවා ඔබ ඉන්නේ එක තැනක නමුත්, ඔබේ හැඟීම් ඇත්තේ තවත් වෙන තැනකයි කියා. ඒක නිකං කාලය හරහා ගමන් කිරීමක් වගෙයි කියලයි මම හිතන්නේ. ඒ ගැන ඔබ හිතන්නේ කොහොමද?

ඉතිහාසය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කරන කොට, කාලය හරහා ගමන් කිරීමක් තමයි අපට කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඒක ඉතා ම අසීරු කාර්යයක්. කාලය කිසි ම තැනක නතර නොවී තිබෙනවා කියන උපකල්පනය මත වැඩ කරන්න අපට බැහැ. කාලය නොපෙනෙන සුළුයි. මම උත්සාහ කරන්නේ ඒ නොපෙනෙන කාල රේඛාව හරහා එහා මෙහා පහසුවෙන් ගමන් කරන්නයි. ඒ ගමන අතරතුර මට හමුවෙන දේ මට වුවමනා ආකාරයට නවා සකසා ගැනීමයි මම කරන්නේ.

මේ මොහොතේ ඔබ ලියමින් ඉන්නේ කුමක්ද කියලා කියන්න පුළුවන්ද?

මේ වෙලාවෙ මම වැඩ කරමින් ඉන්නේ අලුත් ම දිශාවක තිබෙන දෙයක් එක්කයි. ඒක කොයිතරම් අමුතුද කියනවා නම්, මම ම ඒ ගැන බය වෙනවා. කලින් පොත් දෙකත් එක්ක ඇති වුණ විශාල කලබලය නිසයි මම බය වෙලා ඉන්නේ. මගේ අලුත් පොත ඉතා ම පෞද්ගලිකයි. ඉතා ම රහස්‍ය සිදුවීම් සහ හැඟීම් ගැනයි මම මේ පොතෙන් කතා කරන්නේ.

කාන්තාවන්ගේ ජීවිත සහ ඔවුන්ගේ ජීවිත සාහිත්‍යයෙන් පෙන්වූ ආකාරය ගැන මම සෑහෙන්න කල්පනා කරමින් ඉන්නේ. මේ මොහොතේ කාන්තාව සාහිත්‍ය ඇතුළේ නියමාකාරයෙන් අර්ථ දැක්වෙනවාද කියලා අපි නැවත වාරයක් හිතා බලන්න ඕනා. කාන්තාව සම්බන්ධයෙන් ලිංගිකත්වය සහ හමේ වර්ණය හැසිරෙන ආකාරය ගැන මම මේ පොතේදී කතා කරනවා. ඒ නිසයි මමම මගේ පොත ගැන කලින් බය වෙලා ඉන්නේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...